රාජකීය පිල සිවුවැනි ජය ලබද්දී ඉසිපතන කණ්ඩායම ශාන්ත පීතරට පරදී

  👤  3566 readers have read this article !
By mawbima 2017-03-21

විචිත්‍ර වීරසිංහ

සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළමු කාණ්ඩයේ පළමු කොටසේ රග්බි තරගාවලියේ සිවුවන ජය සටහන් කරගැනීමට කොළඹ රාජකීය විදුහල් කණ්ඩායම සමත් වෙද්දී වඩාත් කැපී පෙනෙන කණ්ඩායමක් ලෙස සැලකෙන කොළඹ ඉසිපතන කණ්ඩායම ශා. පීතර කණ්ඩායම වෙතින් පරාජය ලැබීම කැපී පෙනිණි.

ශා.පීතර හා ඉසිපතන තරගය තියුණු මුහුණුවරක් ගනිමින් පළමු භාගය කණ්ඩායම් දෙකම ලකුණු 15 බැගින් සම ලකුණු තත්ත්වයේ පැවැතුණද අවසානයේදී ශා. පීතර කණ්ඩායම ලකුණු 32-15ක් ලෙස ජයගැනීමට තීක්‍ෂණ දසනායකගේ විශිෂ්ට දක්‍ෂතා හේතු විය.

ශා. පීතර කණ්ඩායම ගෝල දිනුම් 3ක්, එක් උත්සාහක දිනුමක් හා දඬුවම් පහර දෙකක් වාර්තා කරගත් අතර, ඉසිපතන කණ්ඩායම උත්සාහක දිනුම් 3ක් ලබා ගත්තේය.

කොළඹ රාජකීය හා ඩී.එස්.සේනානායක තරගයේ පළමු භාගය 28-07ක් ලෙස ඉදිරියෙන් සිටි රාජකීය විදුහල් කණ්ඩායම අවසානයේදී ලකුණු 47-07ක් ලෙස පහසුවෙන් ජයගැනීමට සමත් විය. ඒ අනුව රාජකීය විදුහල් කණ්ඩායම ගෝල දිනුම් 6ක් හා එක් උත්සාහක දිනුමක් සාර්ථක කරගනිද්දී ඩී. එස්. විදුහල් කණ්ඩායම එක් ගෝල දිනුමක් ලබාගෙන තිබිණි. එහිදී රාජකීය කණ්ඩායමේ හම්සා රීසා උත්සාහක දිනුම් 2ක්ද, පසිඳු පෙරේරා, ලෙහාන් ද සොයිසා, ජනිඳු දිල්ෂාන්, මලීෂ පෙරේරා හා දෙහාන් පෙරේරා එක් උත්සාහක දිනුමක් බැගින් ලබා තිබූ අතර, එම උත්සාහක දිනුම් හයේම ප්‍රවර්ථනයන් සාර්ථක කරගැනීමට ජෝර්ජ් ගුණවර්ධන සමත් විය.

මේ අතර පසුගිය සති අන්තයේදී පැවැති අනෙක් තරගවලදී ශා.ජෝෂප් කණ්ඩායම විසින් ලකුණු 44-10ක් ලෙස මහනුවර ධර්මරාජ විදුහල් කණ්ඩායම පරාජය කරද්දී වෙස්ලි කණ්ඩායම ලකුණු 36-10ක් ලෙස ගල්කිස්ස විද්‍යා විදුහල් කණ්ඩායම පරාජය කිරීමට සමත් වී තිබිණි. එහිදී වෙස්ලි කණ්ඩායම ගෝල දිනුම් 3ක් හා උත්සාහක දිනුම් 3ක් සාර්ථක ගනිද්දී විද්‍යා විදුහල් කණ්ඩායම එක් ගෝල දිනුමක් සාර්ථක කරගත්තේය.

ඡායාරූපය _කැළුම් චාමර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon