පල්ලෙකැලේ බිග්මැච් නරඹා එද්දී මහවැලි ගඟේ නාන්න ගිය පාසල් සිසුවා ගිලී මරුට

  👤  2844 readers have read this article !
By mawbima 2017-03-20

මහනුවර - කමල් සුරවීර, හාරිස්පත්තුව - විජයරුවන් හල්ඔළුව

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ පැවැති මහනුවර ධර්මරාජ - කිංග්ස්වුඩ් මහ ක්‍රිකට් තරගය නැරැඹීමට යන බව පවසමින් මිතුරන් පිරිසක් සමඟ හල්ඔළුව වරාතැන්න සීමා මාලකය අසලින් මහවැලි ගඟේ දිය නෑමට ගිය මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දාහත් හැවිරිදි සිසුවකු පසුගිය 17දා දියේ ගිලී මියගොස් ඇත.
මියගොස් ඇත්තේ මහනුවර කීර්ති ශ්‍රී රාජසිංහ මාවතේ පදිංචි මුදලිගේ ඩිලන්ග නමැති සිසුවෙකි.
මියගිය සිසුවා ධර්මරාජ - කිංස්වුඩ් මහ ක්‍රිකට් තරගය නරඹා පසුව පාසල් මිතුරන් සිවුදෙනකු සමඟ මහවලි ගඟේ දියනෑමට ගොස් සිටියදී දියේ ගිලී ඇති අතර තලාතුඔය නාවික හමුදා කඳවුරේ නිලධාරීන් පිරිසක් විසින් මළ සිරුර පෙරේදා (18දා) සොයාගනු ලැබීය.
මෙකී සිසුවා මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට ප්‍රතිඵල අපේක්‍ෂාවෙන් සිටින අයකු බවත් ඔහු ධර්මරාජ විද්‍යාලයීය පාපන්දු කණ්ඩායමේද සාමාජිකයකු බවත් පොලිසිය පවසයි.

හල්ඔළුව වරාතැන්න සීමා මාලකය අසල දිය නෑමට ගොස් පසුගිය කාලය තුළ මරණ 50කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවී තිබීම නිසා අදාළ ස්ථානයේ දිය නෑමෙන් වළකින ලෙස දැන්වීම් පවා දමා තිබියදී මෙම සිසුන් එම ස්ථානයේ දිය නෑමට ගොස් ඇත.
සිසුවාගේ පියා විදේශ ගතව ඇති බවත් ඔහුට සහෝදරියක හා සහෝදරයකු සිටින බවත් දැන ගන්නට තිබේ.
කටුගස්තොට පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon