වතු පාසල්වල ගුරු පුරප්පාඩු පිරවීමට විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමට කැඳවීම ගුරු සංගමය හෙළා දකී

  👤  2860 readers have read this article !
By mawbima 2017-03-20

හර්ෂනී අර්සකුලරත්න

උතුරු නැඟෙනහිර ඇතුළු විවිධ ප්‍රදේශවල දෙමළ මාධ්‍ය උපාධිධාරීන් තමන්ට රැකියා ලබා දෙන ලෙස අඛණ්ඩව අරගලවල යෙදී සිටිද්දී, වතු පාසල්වල පවතින ගුරු පුරප්පාඩු සඳහා විශ්‍රාමික ගුරුවරුන් කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීමට කැබිනට් පත්‍රිකාවක් යොමු කිරීම දැඩිව හෙළා දකින බව ලංකා ගුරු සංගමය පවසයි.
වතු පාසල්වල අධ්‍යාපනය මේ වන විටද දැඩි පරිහානියකට පත්ව ඇති තත්ත්වයක, එහි පවතින ගුරු හිඟයට පිළියමක් ලෙස රජය මෙවැනි තීරණ ගැනීම වෙනුවට කළ යුත්තේ නව ගුරු පත්වීම් ලබාදීම බවද එම සංගමය අවධාරණය කරයි.

මේ වන විට වතුකරයේ මෙන්ම උතුරු - නැඟෙනහිර ප්‍රදේශවලද දෙමළ මාධ්‍ය උපාධිධාරීන් රැකියා විරහිතව සිටින අතර වතුකරයේ පුරප්පාඩු ඇති පාසල් පදනම් කර ගනිමින් එම පාසල්වලට අදාළව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව තරග විභාගයක් පවත්වා ගුරුවරු බඳවා ගැනීමට කටයුතු කළ හැකි බවද එම සංගමය පෙන්වා දෙයි.

එසේම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලට දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවා ගැනීමේ ප්‍රමාණය වැඩි කිරීමෙන්ද වතුකරයේ ගුරු හිඟයට පිළියම් යෙදිය හැකිව තිබියදී විශ්‍රාමික ගුරුවරු කොන්ත්‍රාත් පදනමින් බඳවා ගැනීම ඵලදායී නොවන බවද ඔවුහු පවසති.

දේශපාලන වාසි තකා වතුකරයේ පාසල්වල ගුරු හිඟයට පැලැස්තර විසඳුම් ලබාදීම වෙනුවට, විධිමත් ආකාරයෙන් දෙමළ මාධ්‍ය ගුරුවරු බඳවාගෙන වතු පාසල්වල දරුවන්ගේ අධ්‍යාපන තත්ත්වය නඟාසිටුවීමට කටයුතු කරන ලෙසද ලංකා ගුරු සංගමය අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon