අධිකාරියට අයත් කැබ් රථයක් තංගල්ලේ මැතිවරණ වැඩට යොදාගෙන

  👤  2760 readers have read this article !
By mawbima 2017-03-20

පහන් විජේසේකර

පසුගිය රජය සමයේදී පාරිභෝගික කටයුතු අධිකාරියේ සිදු වී තිබෙන මූල්‍යමය අවභාවිතයන් සම්බන්ධයෙන් සිදු කෙරෙන මූලික විමර්ශන කටයුතු බරපතළ වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම මඟින් පසුගියදා ආරම්භ කළේය.
එම විමර්ශනයට අදාළව එවකට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන, පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්සුක්, එහි අධ්‍යක්ෂ ජනරාල් රෝන් මාර්කින්ස්ටයින්, විධායක අධ්‍යක්ෂ සුනිල් ජයවීර, තොරතුරු විමර්ශන නිලධාරි එන්. හෙට්ටිආරච්චි හා නිපුන් බණ්ඩාර ඒකනායක යන අය නොතීසිලත් පාර්ශ්වකරුවෝ ලෙස පෙනී සිටියහ.

එවකට සමුපකාර හා අභ්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් කටයුතු කළ අනුර සිරිවර්ධන යන අය ලේක්හවුස් ආයතනයේ සේවය කරමින් සිටි නිපුන් බණ්ඩාර ඒකනායක නමැත්තා අමාත්‍යාංශ තනතුරු නාමාවලියේ නොමැති තනතුරක් සඳහා අනුයුක්ත කර ගැනීමට කටයුතු කිරීම හේතුවෙන් රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කොට ඇති බව එහිදී අනාවරණය විය.

මෙම විමර්ශනයට අදාළව ජනාධිපති කොමිසම වෙනුවෙන් කරුණු දක්වන රජයේ ජේ‍යෂ්ඨ නීතිඥ උදාර කරුණාතිලක මහතා පැවැසුවේ අනුර සිරිවර්ධන විසින් නිකුත් කරන ලද 2010.05.18 දිනැති ලිපිය මඟින් නිපුන් ඒකානයක යන අයව පාරිභෝගික කටයුතු අධිකාරියේ ජේ‍යෂ්ඨ මාධ්‍ය නිලධාරි තනතුරට බඳවා ගන්නා ලෙසට දැනුම් දී තිබෙන බවයි.

අධ්‍යක්ෂ මණ්ඩලයද දැනුවත් නොකර එලෙස මාධ්‍ය නිලධාරි තනතුරට අනුයුක්ත කර ගැනීම එවකට පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා වූ රූමි මර්සුක් යන අය විසින් අනුමත කර තිබෙන බවත් රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා කොමිසම ඉදිරියේ පෙන්වා දුන්නේය.
ඒ අනුව 2010 ජුනි 01දා සිට 2013 මාර්තු 15දා දක්වා නිපුන් ඒකානයක යන අයට වැටුප් හා දීමනා වශයෙන් පාරිභෝගික කටයුතු අධිකාරිය රුපියල් 1161465ක මුදලක් ගෙවා ඇති බව කොමිසම හමුවේ තහවුරු විය.

මෙම සිද්ධියට අදාළ දෙවැනි නොතීසිලත් පාර්ශ්වකරු වන පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති රූමි මර්සුක් යන අයගේ උපදෙස් මත පාරිභෝගික කටයුතු අධිකාරියට කිසිදු සම්බන්ධතාවක් නොමැති උදයජීව ඒකනායක යන තැනැත්තකුට මෝටර් රථයක් ලබා දෙන ලෙස අධිකාරියේ අධ්‍යක්ෂ මානව සම්පත් විසින් 2011.12.15 දින ලිපියක් ඉදිරිපත් කර තිබෙන අතර එර්ථී ම්ර් 1154 අංකය දරන එම මෝටර් රථය උදයජීව ඒකනායක යන අය වෙත එදිනම භාර දුන් බවට ප්‍රවාහන නිලධාරි සමන්ත විජේසිංහ යන අයගේ කට උත්තරයේ සඳහන් වන බව රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා කොමිසමට දන්වා සිටියේය.
ඒ අනුව පාරිභෝගික කටයුතු අධිකාරියට කිසිදු සම්බන්ධතාවක් නොමැති තැනැත්තකු වන උදයජීව ඒකනායක යන අයට 2011.12.15දා සිට 2013.08.30 දක්වා මෙම වාහනය ලබාදී තිබෙන බවත් එම කාලය තුළ අලුත්වැඩියා කිරීම්, ඉන්ධන හා වෙනත් සේවා සඳහා රුපියල් 1854645ක මුදලක් වියදම් කර තිබෙන බවත් රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා පැවැසීය.

කෙසේ නමුත් උදයජීව ඒකනායක යන අය ජනාධිපති කොමිසම වෙත කට උත්තරයක් ලබාදෙමින් කියා තිබෙන්නේ තමා ගිහින් රැගෙන ආ මෝටර් රථය තමාට නොව නිපුන් ඒකනායක යන අයට භාරදීමට ගෙන ආ එකක් බවයි.

මේ අතර විමර්ශනයට අදාළ සිවුවැනි නොතීසිලත් පාර්ශ්වය වන පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ සුනිල් ජයවීර යන අය නිල කටයුත්තක් සඳහා කුරුණෑගල ප්‍රදේශයට යෑමට තිබෙන බව පවසමින් ප්‍රවාහන පහසුකමක් වශයෙන් ලබා ගත් පාරිභෝගික අධිකාරිය සතු කැබ් රථයක් තංගල්ල ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සඳහා යොදා ගෙන තිබෙන බවද කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය කර ගෙන ඇත.

නිල කටයුත්තකට කුරුණෑගල ප්‍රදේශයට යෑම සඳහා 2014.03.24 දින එසේ ලබාගත් කැබ් රථය 2014.03.27 දින තංගල්ල තිස්ස පාරේදී අනතුරකට භාජන වී ඇති අතර පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනයට අනුව බීමත්ව හා අධික වේගයෙන් ධාවනය කිරීම හේතුවෙන් එම අනතුර සිදු වී තිබෙන බව සොයා ගෙන ඇතැයි රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා පැවැසීය.

පාරිභෝගික අධිකාරිය සතු එම කැබ් රථයේ නිල රියැදුරා වශයෙන් කටයුතු කළ ස්වාමි තම්බි රාජේන්ද්‍ර යන අය කොමිසමේ නිලධාරීන් හට ලබාදුන් සාක්ෂි අනුව ඩී. වී. උපුල් යන අයගේ මැතිවරණ කටයුතුවලදී ඔහුගේ මැතිවරණ ආධාරකරුවන් විසින් භාවිත කරමින් සිටින අතරතුර මෙම අනතුර සිදුවී ඇති බවද රජයේ ජේ‍යෂ්ඨ නීතිඥවරයා පෙන්වා දුන්නේය.

2014.01.16 දින දකුණු පළාත් මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ රාජ්‍ය ආයතන, ව්‍යවස්ථාපිත මණ්ඩල, සංස්ථාවල වාහන මැතිවරණ කටයුතු සඳහා යොදා ගැනීම තහනම් බවට මැතිවරණ කාර්යාලය චක්‍ර ලේඛයක් නිකුත් කර තිබියදී මෙම වාහනය තංගල්ල ප්‍රදේශයේ මැතිවරණ කටයුතු සඳහා භාවිත කර තිබෙන බව කොමිසම හමුවේ තහවුරු විය.

සිද්ධියට අදාළ නොතීසිලත් පාර්ශ්වකරුවන්ගේ විමර්ශන කාරණා විමසීම එතැනින් නිමාවූ අතර නොතීසිලත් පාර්ශ්වකරුවන්ගේ නීතිඥවරුන්ට කරුණු දැක්වීම සඳහා අප්‍රේල් 6දා නැවත කොමිසම රැස්වීමට තීරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon