112 වැනි ආදරවන්තයින්ගේ සටනේදී රිච්මන්ඩ් පිලට වැඩි ගෞරව

  👤  2814 readers have read this article !
By mawbima 2017-03-20

ඉෂාන් රශ්මිත

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති ගාල්ල රිච්මන්ඩ් හා මහින්ද විද්‍යාලාන්තර 112 වැනි "ආදරවන්තයින්ගේ සටන" වාර්ෂික මහා ක්‍රිකට් තරගය පෙරේදා (18දා) ජය පැරදුමෙන් තොරව අවසන් විය.
තරගය ජය පැරදුමෙන් තොරව අවසන් වුවද, එම මහා ක්‍රිකට් තරගයේ වැඩි ගෞරව හිමිකර ගැනීමට රිච්මන්ඩ් පිල සමත් විය.
මෙම තරගයේදී පිත්තෙන් දස්කම් දැක්වූ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ වමත් ආරම්භක පිතිකරු තම දෙවැනි ඉනිමේදී නොදැවී ලකුණු 101ක් රැස් කිරීමට සමත් වීම කැපී පෙනිණි.

තරගයේ කාසියේ වාසිය දිනාගත් මහින්ද පිලේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් රිච්මන්ඩ් පිල වේගවත් පිතිහරඹයක් දියත් කරමින් විශාල ඉනිමක් ගොඩනැංවීමට උත්සාහ කළ නමුත් එම උත්සාහය අසාර්ථක වීමෙන් රිච්මන්ඩ්
පළමු ඉනිම ලකුණු 184කට සීමා විය.

මහින්ද පිල ආරක්ෂාකාරී පිතිකරණ රටාවක නිරතවෙමින් රිච්මන්ඩ් පළමු ඉනිම අභිභවා යෑමට ගත් උත්සාහයට රිච්මන්ඩ් පන්දු යවන්නන්ගෙන් කිසිදු ඉඩක් නොලැබිණි. ඒ අනුව මහින්ද පළමු ඉනිම ලකුණු 180කට සීමා විය.
තරගයේ අවසන් භාගයේදී තම දෙවැනි ඉනිම ඇරඹූ රිච්මන්ඩ් වමත් ආරම්භක පිතිකරුවන් යුගල දියත් කළ ඉනිම විශේෂයෙන් කැපී පෙනිණි. තරගය නිමා වන විට පන්දුවාර 32.5කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 201ක් රැස් කිරීමට රිච්මන්ඩ් පිල සමත් විය.
තරග ඉතිහාසයේ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පළමු කඩුල්ල වෙනුවෙන් නව සම්බන්ධතා වාර්තාවක් පිහිටුවීමට ධනංජය ලක්ෂාන් (නොදැවී 101) සහ නායක කමිඳු මෙන්ඩිස් (92) සමත් වූ අතර, ධනංජය ලක්ෂාන් මෙවර තරගවාරයේ රැස් කළ පළමු ශතකය වීම කැපී පෙනිණි.
රිච්මන්ඩ් පළමු ඉනිම වෙනුවෙන් අවිඳු තීක්ෂණ (38) සහ තවීෂ අභිෂේක් (37) තම පළමු ඉනිමේ සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 67ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත් වූ අතර, නායක කමිඳු මෙන්ඩිස් (32) සහ ධනංජය ලක්ෂාන් (30) පළමු කඩුල්ලට ලකුණු 55ක සම්බන්ධතාවක් ගොඩනැංවූහ. කළිඳු ශ්‍රී සර, කවිඳු එදිරිවීර සහ නිපුන් මාලිංග කඩුලු 2ක් බැගින් දවාලූහ.

මහින්ද පළමු ඉනිම වෙනුවෙන් විනුර හිරංජිත් ලකුණු 57ක් රැස් කළ අතර, අවිඳු තීක්ෂණ ලකුණු 59කට කඩුලු 4ක් දවාලීය. සඳුන් මෙන්ඩිස් ලකුණු 47කට කඩුලු 3ක් දවාලීය.

රිච්මන්ඩ්: පළමු ඉනිම _ 184 (පන්දුවාර 47.1) අවිඳු තීක්ෂණ 38, තවීෂ අභිෂේක් 37, කමිඳු මෙන්ඩිස් 32, ධනංජය ලක්ෂාන් 30, ආදිත්‍ය සිරිවර්ධන 26, කළිඳු ශ්‍රීසර 2/19, කවිඳු එදිරිවීර 2/24, නිපුන් මාලිංග 2/50
මහින්ද: පළමු ඉනිම _ 180
(පන්දුවාර 105.5) විනුර හිරංජිත් 57, කවිඳු එදිරිවීර 27, නවෝද් පරණවිතාන 20, අවිඳු තීක්ෂණ 4/59, සඳුන් මෙන්ඩිස් 3/47
රිච්මන්ඩ්: දෙවැනි ඉනිම _ 205/1 (පන්දුවාර 32.5) ධනංජය ලක්ෂාන් නොදැවී 101, කමිඳු මෙන්ඩිස් 92

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon