හතුරුගේ බංග්ලාදේශ මිතුරන්ගෙන් රංගනගේ උපන් දිනයට අමිහිරි තෑග්ගක්

  👤  3032 readers have read this article !
By mawbima 2017-03-20

සිරිනාම රාජපක්ෂ

බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම තම ඓතිහාසික 100 වැනි ටෙස්ට් තරගය සඳහා කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී සහභාගි වෙමින් ශ්‍රී ලංකාව පරාජය කිරීමට සමත් වූ අතර ඊයේ දෙවැනි ඉනිමේදී ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු 191ක ජයග්‍රාහී ඉලක්කය කඩුලු 6ක් පමණක් වැය කරමින් පසුකළේ ශ්‍රී ලංකාවට එරෙහිව ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයද වාර්තා කරමිනි.

දෙවැනි ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී මෙන්ම දෙවැනි ඉනිමේදීද ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ මැදපෙළ අසාර්ථකත්වය නිසාම මුෂ්ෆිකර් රහීම්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ කණ්ඩායමට තම 100 වැනි ටෙස්ට් තරගයෙන් ජයග්‍රහණය කිරීමට නම් දෙවැනි ඉනිමේදී පන්දුවාර 74ක් තුළ ලකුණු 191ක ඉලක්කයක් ලැබුණද ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් හා අංක 3 පිතිකරු සබීර් රහ්මාන්ගේ 3 වැනි කඩුල්ලේ ලකුණු 109ක සබඳතාව නිසා ජයග්‍රහණයට මඟ පෑදුණි. පන්දු 125කදී ලකුණු 82ක් ලබා ගනිමින් බංග්ලාදේශ පිතිකරණයේ නියමුවා වූ තමීම් 22 වැනි ටෙස්ට් අර්ධ ශතකයද පසු කරමින් දැක්වූ දක්ෂතා නිසාම ඔහු තරගයේ වීරයා සම්මානයද ලැබීය.

පස්වැනි හා අවසන් දිනය වූ ඊයේ දිවා භෝජනයට පැයකට පමණ පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ලකුණු 319කට අවසන් කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නන් සමත් වූ අතර බංග්ලාදේශය පළමු ඉනිමේදී ලකුණු 129ක් ඉදිරියෙන් සිටීම හේතුවෙන් තරගය ජය ගැනීම සඳහා දෙවැනි ඉනිමේදී ලකුණු 191ක් හඹා යෑමට සිදුවිය.

ඊයේ තම 39 වැනි උපන් දිනයද යෙදී තිබූ නායක රංගන හේරත් යැවූ දෙවැනි ඉනිමේ 8 වැනි පන්දුවාරයේ 5 වැනි හා 6 වැනි පන්දුවලදී එතෙක් ටෙස්ට් ඉනිම තුනේදීම අර්ධ ශතක රැස්කර ගෙන සිටි සවුමියා සර්කාර් ලකුණු 10කටත්, ඉම්රුල් කයිස් බිංදුවකටත් පිළිවෙළින් දවා ගැනීමට සමත් වීමෙන් ශ්‍රී ලංකාව යළි තරගයේ වාසිය අතට ගත්තද තමීම් හා සබීර් එම වාසිය උදුරා ගත්තේය.

සබීර් රහ්මන් ලකුණු 41කට ඩිල්රුවන් ඉදිරියේ දැවී යෑමෙන් පසුව පළමු ඉනිමේ ශතකයක් රැස් කළ ෂකීබ් දවා ගන්නටද ඩිල්රුවන් සමත් විය. 3 වැනි කඩුල්ල ලෙස තමීම් දැවී ගියද නායක මුෂ්ෆිකර් නොදැවී සෙමෙන් තම පිල ජයග්‍රහණය කරා මෙහෙයැවීය. කෙසේ වෙතත් එවන් ලකුණු 191ක ඉලක්කයක් හෝ ප්‍රතිවාදීන්ට ලබා දෙන්නට තරම් ලකුණු සංඛ්‍යාවක් එක් රැස්කිරීමට ප්‍රධාන දායකත්වය දැක්වූයේ ශතකයක් රැස්කළ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න මෙන්ම 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සබඳතාවක් ගොඩනැඟූ ඩිල්රුවන් පෙරේරා හා සුරංග ලක්මාල්ය. ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේදී එකම ශතකය වාර්තා කළ දිමුත් තම 5 වැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කිරීමෙන් පසුව පෙරේදා දිනයේ සවස ඉනිමේ 82 වැනි පන්දුවාරයේ 3 වැනි පන්දුවේදී දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව කියැවුණේ 217ට 7ක් ලෙසිනි. පෙරේදා ලකුණු 25ක් ලබා සිටි තරංග තවත් පන්දු 5කට මුහුණ දීමෙන් පසුව ලකුණු 26කට දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව 57ක් වූ අතර ඉන්පසුව කුසල් මෙන්ඩිස් හා දිමුත්ගේ 2වැනි කඩුල්ලේ සබඳතාවද ලකුණු 86ක් විය.

එහෙත් මුෂ්ටාෆිෂුර් හා ෂකීබ් අල් හසාන් හමුවේ මෙන්ඩිස්, චන්දිමාල්, අසේල, ධනංජය, දික්වැල්ලට එක පෙළට ක්‍රීඩාගාරයට යෑමට සිදුවූ අතර විටෙක ශ්‍රී ලංකා දෙවැනි ඉනිමේ ලකුණු පුවරුව කඩුලු 6ට 190ක් විය. ලකුණු 126ක් ලබා සිටි දිමුත්ගේ ඉනිමෙන් පසුව නායක රංගන හේරත්ද මුළු ලකුණු 238දී 8 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.

එහිදී ඩිල්රුවන් පෙරේරා තම 4 වැනි ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කර සිටියදී ප්‍රතිවාදීන්ට ඔවුන් දෙදෙනාගෙන් කෙනෙක් දවා ගැනීමට තිබූ එකම ක්‍රමය වූ දුවද්දී දැවීයෑමකට හසුවූ අතර ලක්මාල් ඉන් පසු පන්දුවාරයේදීම ෂකීබ්ගේ පන්දුවකට දැවී යන විට තම ඉහළම ටෙස්ට් ලකුණු (42) වාර්තා කර සිටියේය.
හේරත් හා ඩිල්රුවන් ප්‍රතිවාදී කඩුලු 6ක් ඔවුන් දෙදෙනා අතරේ බෙදී යෑම හැර වෙන කිසිදු පන්දු යවන්නකු සාර්ථක නොවීය. දෙවැනි ටෙස්ට් තරගයේදීද දැක්වූ දුර්වල පන්දු රැකීම ශ්‍රී ලංකා පරාජයට බෙහෙවින් බලපෑ අතර තම 9 වැනි ටෙස්ට් ජයග්‍රහණය ඊයේ වාර්තා කළ බංග්ලාදේශ කණ්ඩායම ක්‍රිකට් ලොව තම 100 වැනි ටෙස්ට් තරගය ජයගත් 4 වැනි කණ්ඩායම බවට පත්විය. මීට පෙර මෙම දස්කම කර ඇත්තේ ඕස්ට්‍රේලියාව, පාකිස්තානය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් පමණි. කෙසේ වෙතත් ටෙස්ට් තරගාවලිය 1-1ක් ලෙස සම කර කර ගැනීමට බංග්ලාදේශය සමත් වූ අතර තරගාවලියේ වීරයා සම්මානය දිනාගන්නා ලද්දේ බංග්ලාදේශ පිලේ ෂකීබ් අල් හසන්ය.

ශ්‍රී ලංකාව _ පළමු ඉනිම 338
බංග්ලාදේශය _ පළමු ඉනිම 467
ශ්‍රී ලංකාව - දෙවැනි ඉනිම
දිමුත් කරුණාරත්න ඇ. සාර්කාර් ප. ෂකීබ් 126
උපුල් තරංග ප. මෙහෙදි හසන් 26
කුසල් මෙන්ඩිස් ඇ. මුෂ්ෆිකර් ප.මුස්ටාෆිෂූර් 36
දිනේෂ් චන්දිමාල් ඇ. මුෂ්ෆිකර් ප.මුස්ටාෆිෂූර් 05
අසේල ගුණරත්න ක.මු.ක. ප. ෂකීබ් අල් හසන් 7
ධනංජය ද සිල්වා ඇ. මුෂ්ෆිකර් ප.මුස්ටාෆිෂූර් 0
නිරෝෂන් දික්වැල්ල ඇ. මුෂ්ෆිකර් ප.ෂකීබ් 5
ඩිල්රුවන් පෙරේරා දුවද්දී දැවී ගියා 50
රංගන හේරත් ක.මු.ක. ප. ටයිජුල් ඉස්ලාම් 9
සුරංග ලක්මාල් ඇ. මොසැඩික් ප. ෂකීබ් 42
ලක්‍ෂාන් සඳකැන් නොදැවී 0
අතිරේක 13
එකතුව (පන්දුවාර 113.2කදී සියලු දෙනා දැවී) ලකුණු 319
කඩුලු වැටීම 1-57, 2-143 ,3-165, 4-176, 5-177, 6-190, 7-217, 8-238,
9-308, 10-319
පන්දු යැවීම _ මුස්ටාෆිෂූර් රහ්මාන් 23-3-78-3, මෙහෙදි හසන් 24-0-71-1,
ෂකීබ් අල් හසන් 36.2-9-74-4, ටයිජුල් ඉස්ලාම් 11-1-38-1
බංග්ලාදේශය _ දෙවැනි ඉනිම
තමීම් ඉක්බාල් ඇ.චන්දිමාල් ප. ඩිල්රුවන් 82
සවුම්යා සාර්කර් ඇ. තරංග ප. හේරත් 10
ඉම්රුල් කයිස් ඇ.ගුණරත්න ප. හේරත්් 0
ෂබීර් රහ්මන් ක.මු.ක. ඩිල්රුවන් 41
ෂකීබ් අල්-හසන් ප. ඩිල්රුවන් 15
මුෂ්ෆිකර් රහීම් නොදැවී 22
මොසුඩික් හොසේන් ඇ දික්වැල්ල ප. හේරත් 13
මෙහෙදි හසන් නොදැවී 2
අතිරේක 6
එකතුව (පන්දුවාර 57.5දී කඩුලු 6කට ) ලකුණු 191
කඩුලු වැටීම - 1-22, 2-22, 3-131, 4-149, 5-162, 6-189,
ඩිල්රුවන් පෙරේරා 22-1-59-3, රංගන හේරත් 24.5-2-75-3

ඡායාරූප _ නුවන් අමරවංශ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon