යුද්ධය නිමා වී අවුරුදු 8ක් ගත වුවත් ජාතීන් අතර සමඟිය ඇති වී නැහැ

  👤  2729 readers have read this article !
By mawbima 2017-03-20

යුද්ධය නිමා වෙලා අවුරුදු අටක් වෙනවා. නමුත් අද වනතෙක් ජාතික සමඟිය ඇති කිරීමට හැකිවෙලා නැහැ. මේ සම්බන්ධයෙන් ධනාත්මක දේවල් සමාජයට ගෙන යන්න මාධ්‍ය ආයතන සුළු ප්‍රමාණයක් විතරයි කටයුතු කරන්නේ යැයි යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ජාතික සමඟිය සඳහා වන බාකීර් මාකාර් මධ්‍යස්ථානය විසින් සංවිධානය කළ වැලිගම ප්‍රකාශනය දෙස නැවත හැරී බැලීමක් යන කතිකාවතට එක් වෙමින් ඒ මහතා මේ බව ඊයේ (19දා) පැවැසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.

අවුරුදු 10කට කලින් බාකීර් මාකාර් මධ්‍යස්ථානය සහ රටේ විද්වතුන් එකකු වෙලා වැලිගම ප්‍රකාශනය හදලා ජාතික සමඟිය ඇති කිරීමේ කාර්යය ආරම්භ කළා. උග්‍ර යුද්ධයක් පැවැති කාලයේ තමයි මේ ප්‍රකාශනය හැදුවේ. දැන් යුද්ධය අවසන්. නමුත් යුද්ධය අවසන් වෙලා අවුරුදු 08ක් ගත වෙලා තිබුණත් ජාතික සමඟිය ඇති කරන්න අද වනතෙක් හැකිවෙලා නැහැ. ජාතික සමඟිය පිළිබඳව ධනාත්මක දේවල් සමාජය වෙත ගෙනයන්න කටයුතු කරන්නේ මාධ්‍ය ආයතන සුළු ප්‍රමාණයක් විතරයි. බහුතරය එවැනි කාර්යයක් කරන්නේ නැහැ. මම සිංහල මාධ්‍යට වැඩිය අවධානය යොමු කර නැහැ. නමුත් දෙමළ මාධ්‍ය ගත්තොත් ජාතික සමඟිය ගැන ධනාත්මකව කතා කරන්නේ හරිම අඩුවෙන්. ඉරිදා පුවත්පත් අරගෙන බැලුවොත් ඒ පළවෙන ලිපිවලින් 90%ක් පමණ රට බෙදන්න අවශ්‍ය දේවල් තමයි තිබෙන්නේ. මේවා දක්වන්නේ දෙමළ ජනතාවගේ සිතුවිලි හැටියටයි. නමුත් එය නෙවෙයි ඇත්ත. ඇත්ත තත්ත්වය වසන් කරලා තමයි මේවා ලියන්නේ. මේ පාරේ ගියොත් රටේ ජාතික සමඟිය ඇති කරන්න අපහසුයි.

ඒ වගේම තමයි රටේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ක්‍රියාදාමය දැන් අවුරුද්දක් තිස්සේ සිදුවෙනවා. ජාතික සමඟිය ඇති කිරීමට මෙය හොඳ සාධකයක්. මේ සම්බන්ධයෙන් රටේ දේශපාලනඥයෝ සහ පක්ෂ විවිධ අදහස් පළ කරනවා. සමහර අය මර උගුලක් කියනවා. සමහර අය ජනමත විචාරණයකට ගියොත් පරාජය වෙයි කියලා. එහෙත් මගේ ප්‍රශ්නය තිබෙන්නේ මාධ්‍ය සමඟයි. මම තාමත් දැකලා නැහැ කිසිම මාධ්‍යක් මේ දේශපාලනඥයන්ව ප්‍රශ්න කරනවා මේකට අදාළව. මොකද 2016-03-09 මුළු පාර්ලිමේන්තුව ඒකමතිකව සම්මත කළා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සෑදීමේ ක්‍රියාවලිය පිළිබඳව. මේ දේශපාලනඥයෝම එය සම්මත කරලා දැන් ඍණාත්මක අදහස් දැක්වීම පිළිබඳව මාධ්‍ය ප්‍රශ්න නොකිරීම ගැන මම පුදුම වෙනවා.

මෙම වැලිගම ප්‍රකාශනය ඉතාම වැදගත් ප්‍රකාශයක්. ජාතික සමඟිය ගොඩනැඟීමට වටිනා පදනමක්. මෙය දියත් කිරීමට මාධ්‍යටත් කාර්ය භාරයක් තිබෙනවා.
ඉම්තියාස් බාකීර් මාකර් මහතා
රටක් හැටියට ඔළුව උස්සන්න නම් රට ඇතුළේ තියෙන ප්‍රශ්න විස¼දාගත යුතුයි. බාහිර ලෝකයක් සමඟ තිබෙන සම්බන්ධතා යහපත් කරගත යුතුයි. අපි නිදහස දින්නේ හැම ජාතියකම ජනතාව එකට එකතු වුණ නිසයි.
වෙන්වෙලා හිටපු ජාතියක් එකතු කරන්න අපේ නායකයන්ට ඒ වෙලාවේ හැකි වුණා. සුළු කොටසක් තමයි හැම වෙලාවෙම අන්තවාදී අදහස් දරන්නේ. බහුතරය එහෙම නැහැ.

අපි ලෝකය දිනන්න නම් අපි අතරේ තිබෙන ප්‍රශ්න අවම කරගන්න ඕන. ජාත්‍යන්තර දේශපාලනයේත් අපේ රටේ දේශපාලනයේත් අපි දකින්නේ එකම දෙයයි. පත්තර ටික විකුණගන්න හැඟීම්වලට කතා කරනවා. දේශපාලනයේ ඉලක්ක ජයගන්න අපි යන්නෙ. තුවාලවලට එන නිලමැස්සෝ වගේ දරුවන්ගේ රටේ අනාගතය ගැන හිතන්නේ නැහැ.

පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා
ආණ්ඩුවක් හැටියට මාධ්‍යට තර්ජනයක් වෙන කිසිම දෙයක් අපි කරලා නැහැ. කරන්න අදහසකුත් නැහැ.
ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් ඇති කිරීම පිළිබඳව අපි මේ දිනවල කතා කරමින් යනවා.
ජනමාධ්‍යවේදීන්ගේ නිදහස ආරක්ෂා කරගත යුතුයි. මාධ්‍ය සංවිධානවල අදහසුත් අපි මේ සඳහා යොදා ගන්නවා.

කතානායක කරු ජයසූරිය මහතා
මහජනතාව දැනුවත් කිරීමේදී මාධ්‍යට විශාල කාර්යයක් ඉටු කරන්න තිබෙනවා. ජාතික සමඟිය ඇති කිරීමට කැපවිය යුතුයි. මාධ්‍යට පුළුවන් හොරෙක් දෙවියෙක් කරන්නත් දෙවියෙක් හොරෙක් කරන්නක්.

ඉෂාරා සිල්වා
ඡායා - අකිල ජයවර්ධන

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්