සියලු බැඳුම්කර නිකුත් කළේ නීති රීතිවලට අනුව පාරදෘෂ්‍යභාවයකින්

  👤  2977 readers have read this article !
By mawbima 2017-03-20

මහ බැංකුවේ අධිපතිවරයා වශයෙන් තමා සේවය කළ කාලය තුළදී අපේ රටේ රාජ්‍ය ණය ප්‍රෝඩාකාරී ලෙස අවකළමනාකරණය කරමින් රජයේ සුරැකුම් පත් නිකුත් කර ඇතැයි කිසිදු සාක්කියක් ඉදිරිපත් නොකරමින් මුදල් අමාත්‍යාංශය මෑතකදී එල්ල කොට ඇති චෝදනා පදනම් රහිත අසත්‍ය සහ ලාමක ඒවා වශයෙන් තමා තරයේ ප්‍රතික්ෂේප කරන බව මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කරයි.
ඔහු පවසන්නේ සියලු බැඳුම්කර නිකුතු කර ඇත්තේ සියලු නීතිරීතිවලට අනුකූලව පාරදෘශ්‍ය භාවයකින් බවයි. ඒ බව මහ බැංකුව 2017 මාර්තු 2දා ප්‍රකාශ කොට ඇතැයිද ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යාංශය කරන ලද චෝදනාවලට පිළිතුරු දෙමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.
ඔහු සිය නිවේදනයේ මෙසේද ප්‍රකාශ කරයි.

වසර 9කට ආසන්න මාගේ නිලකාලය සමයේදී මහ බැංකුව එසේ කරද්දී එම නිකුතු සිදුවූයේ රජයේ ණය ගැනීමේ පිරිවැය අවම කරගන්නා පදනම මත බවද මේ අවස්ථාවේදී මා පැහැදිලිවම ප්‍රකාශ කරමි. සෑම අවුරුද්දක් පාසාම විගණකාධිපතිවරයා විසින් ලබාදී ඇති වාර්ෂික විගණන වාර්තාවලින්ද 2017.01.16 දින විගණකාධිකාරිවරයා විසින් නිකුත් කරන ලද විශේෂ වාර්තාවෙන්ද මගේ සහ මහ බැංකුවේ ප්‍රකාශයන් මනා ලෙස තහවුරු වී ඇත.

මගේ මතය අනුව යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයාගේ මඟ පෙන්වීම පරිදි මුදල් අමාත්‍යාංශය විසින් මෙවැනි අවලාදයක් නඟා ඇත්තේ පසුගිය ආණ්ඩුවේ ආර්ථිකය හැසුරූ මුදල් ඇමැති, මහ බැංකු අධිපති සහ භාණ්ඩාගාර ලේකම් විසින් දිනාගෙන තිබූ ආර්ථික ජයග්‍රහණවලට යන්තමින් හෝ ළඟා වීමටවත් වර්තමාන පාලකයන්ට නොහැකි වීම නිසා. ඔවුන් තුළ පැන නැඟී ඇති දැඩි ආතතිය සහ ඊර්ෂ්‍යාව විය හැකි වන අතර එම නිගමනයට පිවිසෙන්නට පහත දක්වා ඇති කරුණු ඉදිරිපත් කළ හැකිය.

2015දී නිකුත් කරන ලද සංඛ්‍යා ලේඛනවලට අනුව පසුගිය ආර්ථික පාලනාධිකාරිය විසින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2005දී තිබූ ඇ.ඩො. බිලියන 24 සිට 2014 වන විට ඇ.ඩො. බිලියන 80 දක්වා දැවැන්ත වර්ධනයකට ගෙන යන ලද අතර එම කාල පරාසය තුළදී ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 1.242 සිට ඇ.ඩො. 3.853 දක්වා ඉහළ නංවන ලදී. 2009 සිට 2014 දක්වා වසර 5 තුළදී ලංකා ඉතිහාසයේ වැඩිම ආර්ථික වර්ධන වේගය වාර්තා කරමින් වසරකට 6.5%ක සාමාන්‍ය වර්ධනයක් අත්පත් කරගන්නා ලදී.

1977දී ආර්ථිකය විවෘත කළායින් පසු, රුපියලේ අවප්‍රමාණය වාර්තා කරමින් 2006 සිට 2014 දක්වා, රුපියලේ අගය ස්ථායි ලෙස පවත්වාගෙන ගියේය. සමස්තයක් වශයෙන් මුළු ලෝකයම කම්පාවට පත කළ ආර්ථික, මූල්‍ය, තෙල් සහ ආහාර අර්බුදවලට සාර්ථකව මුහුණ දෙමින්ද ජාතික වශයෙන් ත්‍රස්තාවදී යුද්ධයද බැංකු කඩා වැටීමේ අවදානමද සමනය කරමින් සූක්ෂ්ම හා ප්‍රායෝගික ලෙස ආර්ථිකය හැසිරවීමය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ආර්ථිකයට එල්ල වූ සියලු අභියෝග ජනතාවකට කාන්දු නොවන ලෙසට ආර්ථිකය පාලනය කළේය.

එහෙත් ඉහත කී තත්ත්වයට හාත්පසින්ම වෙනස් ආර්ථික තත්ත්වයක් අද අපට පෙනී යයි. යහපාලන ආණ්ඩුව යටතේ ආර්ථිකයේ වර්ධනය දැවැන්ත ලෙස කඩා වැටී ඇත. උද්ධමනය දිනපතාම ඉහළ යමින් පවතී. දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය ප්‍රමාණය 2015 අග වනවිට 76% දක්වා නැවත වැඩි වී ඇති අතර 2016 අග වන විට එම ප්‍රතිශතය 82%ක් දක්වා තවදුරටත් වැඩිවෙතැයි විශ්ලේෂකයෝ පවසති. යටිතල පහසුකම් සංවර්ධනය අතිශයින් මන්දගාමී මට්ටමකට වැටී ඇත. විදේශ සංචිත 2017 ජනවාරි මස අග වනවිට ඇ.ඩො. මිලියන 5,453 දක්වා දැඩි ලෙස කඩා වැටී ඇත. 2015දී විදේශ ගෙවුම් ශේෂය අප රට ඉතිහාසයේ විශාලතම හිඟය වන ඇ.ඩො. මිලියන 1,489 වාර්තා කොට ඇත. රුපියලේ අගය දිනපතාම පාහේ අවප්‍රමාණය වෙමින් පවතී. පසුගිය වසර 2ක කාලය තුලදී රජයට විශාල බරක් පටවමින් සියලු භාණ්ඩාගාර පොලී අනුපාතයන් දෙගුණ වීමට ආසන්න වී ඇත. රජයේ සුරැකුම්පත්වලින් ඇ.ඩො. බිලියන 2.5ක පමණ මුදලක් මේ වනවිටත් විදේශීය ආයෝජකයන් ඉවත් කරගෙන ඇත. කොටස් වෙළෙඳපොළ දැවැන්ත පරිහානියකට පත්වී ඇති අතර කොටස් වෙළෙඳපොළ ප්‍රාග්ධනය රුපියල් බිලියන සිය ගණනින් අඩුවී තිබේ. 2016 වසරේදී විදේශීය සෘජු ආයෝජනය ඇ.ඩො. මිලියන 400ක් පමණ අගයකට නොසිතූ ආකායට කඩා වැටී ඇත. ඒ අතරම ජනතාවට පෞද්ගලික අංශය සහ ආර්ථිකය මත නව බදු සහ අනිකුත් දුෂ්කරතා පැටවීමෙන්ද විවිධ මහා පරිමාණයේ ප්‍රෝඩා සහ වංචා හෙළිවීම තුළින්ද රටේ ආර්ථිකය තව තවත් අස්ථායී භාවයට පත් වෙමින් පවතී.

යථාර්ථය මෙසේ තිබියදීත් පසුගිය ආණ්ඩුවට අසත්‍ය සහ ද්වේශසහගත චෝදනා එල්ල කරනවා මිස යහපාලන ආර්ථික කණ්ඩායම රටේ දැවෙන ආර්ථික ප්‍රශ්නවලට පිළිතුරු සොයා ආර්ථිකය නංවාලීමට කිසිදු උත්සාහයක් ගන්නවා නොපෙනේ. ඒ හේතුකොටගෙන ශ්‍රී ලංකා ආර්ථිකය මීට පෙර ඉතිහාසයේ කිසිවිටකත් මුහුණ නොදුන් දැවැන්ත අර්බුදයකට නොබෝ කලකින් පිවිසෙනු නොඅනුමානය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon