2015ට පෙර මදන් මේ කතුවැකි ලිව්වා නම් ඔහු අද ජීවතුන් අතර නැහැ

  👤  2899 readers have read this article !
By mawbima 2017-03-20

විපක්ෂයේ වුවද ආණ්ඩු පක්ෂයේ වුවද, කුමන පක්ෂයක වුවද පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම කෙනෙක්ම පවසන්නේ පාර්ලිමේන්තුවේ බලය ආරක්ෂා කරමින් බලය බෙදා හැරිය යුතු බවත් අද බෙදීම ඇතිව තිබෙන්නේ දකුණේ පළාත් සභා 7 සහ උතුරු පළාත් සභාව අතර නොව පළාත් සභා සහ පාර්ලිමේන්තුව අතර බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

පළාත් සභාවේ මෙන්ම පාර්ලිමේන්තුවේද විවිධ ජනවර්ගයන්ට අයත් පුද්ගලයන් සිටින බවත් කිසිදු පාර්ශ්වයකට හානියක් සිදුනොවන අයුරින් විසඳුමකට ඒම සඳහා අප අද සාකච්ඡා කරමින් සිටින්නේ යැයිද අග්‍රාමාත්‍යවරයා සඳහන් කරයි.
තමිල් මිරර් පුවත්පත් කතුවරයාගේ කතුවැකි එකතුවෙන් රචිත ග්‍රන්ථය එළිදැක්වීම නිමිත්තෙන් කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ පිහිටි තැපැල් ශ්‍රවණාගාරයේදී ඉකුත් සිකුරාදා පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් හෙතෙම මෙම අදහස් පළ කළේය.
අග්‍රාමාත්‍යවරයා එහිදී මෙසේද සඳහන් කළේය.

තමිල් මිරර් පුවත්පතේ කර්තෘවරයා වන මදන් මහතා 2015 සිට තමාගේ කතුවැකි එකතුවෙන් රචිත පොත අද එළිදැක්වූවා. 2015 පෙර මේ කතුවැකි ලිව්වා නම් ඔබ අද ජීවතුන් අතර නැහැ. අප සියලු දෙනා එක්වී පොදු අපේක්ෂකයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා තෝරා ගෙන ජනාධිපතිවරයා වශයෙන් පත්කළ නිසා ඔබට මේ ආකාරයට ලියන්නට නිදහස ලැබී තිබෙනවා.

එදා මහින්ද රාජපක්ෂ මහතා ආරක්ෂා කළ පිරිස අද රට කැඩෙනවා, රට බෙදනවා, සිංහල ජාතිය නැතිවෙනවා යැයි පවසන්නේ නිදහස තිබෙන නිසයි. මෙම නිදහස නොතිබුණා නම් ඔවුන්ටද මෙසේ පැවැසීමට හැකියාවක් නැහැ.

මාධ්‍ය නිදහස ආරක්ෂා කිරීමට ගොස් සිංහල මාධ්‍යවේදීන් ඇතුළු දෙමළ මාධ්‍යවේදීන් ගණනාවකගේ ජීවිත එදා නැතිවුණා. වැඩියෙන්ම නැති වුණේ දෙමළ මාධ්‍යවේදීන්ගේ ජීවිතයයි. එදා මාධ්‍යවේදීන්ට විශාල වශයෙන් තර්ජන එල්ල වුණා. ඇතැම් මාධ්‍යවේදීන් රට හැර ගියා. එදා දෙමළ මාධ්‍යවේදීන් සටන් කළේ වෙනම රාජ්‍යයක් ඇති කිරීමට නොවෙයි. ඔවුන් සටන් කළේ දෙමළ ජාතිකයන්ගේ අයිතිවාසිකම් වෙනුවෙනුයි. එම අයිතිවාසිකම් පිළිබඳව සිංහල ජනතාව එකඟවීමට හෝ නොවීමට පුළුවන්. එමෙන්ම ඔවුන් මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළා.

මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ සිංහල, දෙමළ, මුස්ලිම් මාධ්‍යවේදීන් පිළිබඳව අප සිහිපත් කළ යුතුයි. එම ජීවිත පූජාවෙන් සිදුකළ මෙහෙවර නිසා අද අපට මාධ්‍ය නිදහසක් තිබෙනවා. මෙම ජීවිත පූජාවෙන් නිදහස භුක්ති විඳින්නට සමහර දෙමළ ජනතාවට තවමත් අවස්ථාව නැහැ.
දෙමළ සිංහල මාධ්‍යවේදීන් ඝාතනය වූයේ ඇයි..? රතුපස්වල සිංහල ජනතාව ඝාතනයට ලක්වූයේ ඇයි..? ඒ වගේම අනෙකුත් ස්ථානවල ද ඝාතන සිදුවූයේ ඇයි...? තමන්ගේ බලය තහවුරු කර ගැනීමට ගොස් ජාතිවාදය වපුරවා ඝාතනය සිදුකළා. සමහරුන් ඒකාධිපතිවාදය අනුගමනය කළා. සමහරුන් පුද්ගලවාදය අනුගමනය කළේ ජාතිවාදය හා ආගම්වාදය වපුරමිනුයි. එම තත්ත්වයන් පදනම් වූ ක්‍රමයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ අය අදටත් ක්‍රියා කරන්නේ එම ජාතිවාදය හා ආගම්වාදය පදනම් කර ගනිමිනුයි.

නමුත් අපි ජාතික ආණ්ඩුවක් වශයෙන් සෑම විටම උත්සාහ කරන්නේ මේ ප්‍රශ්න විසඳන්නයි. ජාතික වශයෙන් එකඟතාවක් ඇති කරගෙන ඉදිරියට යන්නේ කෙසේද කියා අපි කල්පනා කරනවා. මෙය ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. අවුරුදු 30 _ 40 ක් බෙදී සිටි ජනතාව, යුද්ධයෙන් වෙන් වූ සිත්, ක්‍රමානුකූලව ඒකරාශී කර ගනිමින් ඉදිරියට යා යුතුයි. එහිදී විවිධ පාර්ශ්වයන්ගේ විවිධ අදහස් හා ඉල්ලීම් පිළිබඳවද අපේ අවධානය යොමු කළ යුතුයි.
රට ඒකරාශී කරන විට එක් අන්තවාදී කොටසක් මෙය රට පාවා දීමක් ලෙස හඳුන්වනවා. අවශ්‍ය වන්නේ මානව හිමිකම් පමණක් බව මානව හිමිකම් ක්‍රියාකාරිකයන් පවසනවා. මෙම අන්ත දෙක අතරින් මැදි මාවතක ගමන් කරන්නේ කෙසේද..?

අපේ ප්‍රයත්නය සිංහල ජනතාවට හානිදායක බවට සමහර සිංහල අයගේ මතයක් තිබෙනවා. එමෙන්ම දෙමළ ජනතාව තමන්ගේ අයිතීන් දිනාගෙන ඔවුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි යන අදහසේ සිටිනවා. තමන්ට හිමි අයිතීන් දිනාගෙන අප සියලුදෙනාම එකට ජීවත් වන්නේ කෙසේද..? කියා මුස්ලිම් ජනතාව සිතනවා. මේ අතර රට ඒකරාශී කිරීමේ ක්‍රියාදාමය කඩා බිඳ දමා රට ආපස්සට හැරවීමට උත්සාහ කරන පිරිසක්ද සිටිනවා. ඇතැම් දෙමළ ජාතීන් තමන්ට කිසිදු සාධාරණයක් ඉටු නොවූ බව පවසනවා. ඔවුන්ට හිමි ඉඩම් නොදෙන බවට හඬ නඟනවා. මේ පිළිබඳව අවධානය යොමු කරන විට හමුදාව බිල්ලට දෙන බවට අනෙක් පැත්තෙන් එක් කොටසක් කෑ ගසනවා.

කිසිදු විටෙක හමුදාව බිල්ලට නොදෙන බව මා මෙහිදී කියන්න කැමැතියි. අපි සෑම විටම හමුදාව ආරක්ෂා කරමින් ඉදිරියට යනවා. දහස් ගණන් හමුදා සොල්දාදුවන් අල්ලා නඩු පවරන බවට සමහර අය කෑ ගසනවා. කිසිදු පුද්ගලයකුට හානියක් සිදුනොවන අයුරින් ක්‍රියා කර සෑම පුද්ගලයකුට යුක්තිය ඉටුකිරීම අපේ අරමුණයි. දෙපැත්තේම ප්‍රශ්න තිබිය හැකියි. එහෙත් එම ප්‍රශ්න දෙස ගැඹුරින් අවධානය යොමුකර සාධාරණත්වය හා යුක්තිය ඉටු කිරීමට අප සූදානම්.

අද රට දෙකට කැඩෙන බවට කෑ ගසන පිරිස එදා සුදුකොඩි සිද්ධියට එරෙහිව නඩු පවරන බවට හෝ ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන බවට පැවසුවේ නැතිනම් අද මේ තත්ත්වය උද්ගත වන්නේ නැහැ. අද කෑ ගසන්නේ ඔය සිද්ධියට මුල් වූ අය බව මා මෙහිදී කියන්න කැමැතියි. සුදු කොඩි සිද්ධියට සම්බන්ධ පිරිස මරා දැමුවේ යැයි කියමින් එදා හමුදාපතිවරයා වශයෙන් කටයුතු කළ සරත් ෆොන්සේකා මහතා ඇදගෙන ගොස් හිරේට දැමුවේ කවුද..? එමෙන්ම එදා නිව්යෝර්ක් නගරයට ගොස් මානව හිමිකම් කඩවී ඇති බව පවසමින් අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නඩු පවරන බවට පැවසූයේ කුමන ආණ්ඩුවේ පුද්ගලයන්ද යන්න අසන්න මා කැමැතියි. මෙසේ ක්‍රියා කළේ කාගේ නීතිපතිවරයාද..? කාගේ විදේශ ලේකම්වරයාද..? එවකට සිටි ජනාධිපති කවුරුන්ද..? ප්‍රශ්නය නිර්මාණය කළේ අන්න ඒ අයයි. අප මේ උත්සාහ කරන්නේ ප්‍රශ්නය විසඳීමටයි.

නව ව්‍යවස්ථාවක් ගෙනැවිත් බුද්ධාගමට ලබාදී තිබෙන ප්‍රමුඛස්ථානය හා බුද්ධාගම විනාශ කරන බවට අන්තාවාදී කණ්ඩායම් දැන් පවසනවා. නව ව්‍යවස්ථාවෙන් එවැන්නක් සිදුවන්නේ නෑ. අද සෑම පාර්ශ්වයක්ම පවසන්නේ ඔවුන්ට තම ආගම ඇදහීමට නිසි අවස්ථාව ලබාදෙන ලෙසයි. මහානායක නාහිමිවරුන් පවා පවසන්නේ එයයි. නමුත් එයටත් විරුද්ධ වීමට කොටසක් අද පෙලඹී සිටිනවා. ඔවුන්ට අවශ්‍ය ජාතිවාදය, ආගම්වාදය අවුළුවා බලය ලබාගැනීමටයි.
ඒකීය රාමුවක් තුළ බලය බෙදා හරින්නේ කෙසේද යන්න අප සිතා බැලිය යුතුයි. සමගාමී ලැයිස්තුව අහෝසි කරන මෙන් උතුරු පළත් සභාව පමණක් නොව දකුණේ පළාත් සභා 5ක්ම පවසනවා. පළාත් සභාවේ සිටින සිංහල. මුස්ලිම්, දෙමළ, ක්‍රිස්තියානි ඇතුළු සියලු දෙනාම පවසන්නේ පළාත් සභාවට මීට වඩා බලතල අවශ්‍ය බවයි.

පාර්ලිමේන්තුවේ සිටින අපි සමගාමී ලැයිස්තුවෙන් සම්පූර්ණයෙන්ම අහෝසි කළ යුතු යැයි පවසන්නේ නැහැ.
එදා සෙනට් සභාව ඇති කළේ ඒකීය ආණ්ඩුවෙනුයි. ඒකීය ආණ්ඩුව තුළත් බලය බෙදාහැර තිබෙනවා. සෝල්බරි වාර්තාව අනුව සෙනට් සභා ක්‍රමය ඇති කර තිබෙනවා. නමුත් එම ක්‍රමය නැති කළේ බණ්ඩාරනායක මැතිනියයි. ඊට පසුව සෙනට් සභාව ගෙන ආ යුතු බව පැවැසුයේ වෙන කවුරුවත් නොව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතායි. මේ තත්ත්වය හමුවේ අපට රටට ගැළපෙන ද්වීතිය මණ්ඩලයක් ඇතිකර උද්ගත වී තිබෙන ප්‍රශ්න විසඳන්නේ කෙසේද යන්න අවධානය යොමු කරමින් සිටිනවා.

මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රමුඛ ආණ්ඩුව අද රටේ ප්‍රශ්න විසඳීම් සඳහා වැදගත් සංධිස්ථානයකට පැමිණ සිටින මේ මොහොතේ දේශපාලන විසඳුමකට යන්න තිබෙන ගමනට ඔබේ සම්පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් මාධ්‍යවේදීන් ඇතුළු ඔබ සැමගෙන් මා ඉල්ලා සිටිනවා.
උපතිස්ස පෙරේරා

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon