මම දේශපාලනයේ ‘අ’ යන්න ඉගෙන ගත්තේ මාක්ස් - ලෙනින්වාදී දර්ශනය හැදෑරීමෙන්

  👤  3003 readers have read this article !
By mawbima 2017-03-20

තමා දේශපාලනයේ 'අ' යන්න ඉගෙන ගත්තේ මාක්ස් ලෙනින්වාදී දර්ශනය හැදෑරීමෙන් බවත් ඊට ගරු කිරීමත් වශයෙන් ජනපති නිල නිවෙසේ රැස්වීම් ශාලාවේ කාල් මාක්ස්ගේ හා වී.අයි. ලෙනින්ගේ පින්තුර එල්ලා ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලනිප දේශපාලන අධ්‍යාපන ඇකඩමිය විවෘත කරමින් ප්‍රකාශය කළේය.

පහළොස් හැවිරිදි වියේදී එන්. ෂන්මුගදාසන් මහතාගේ ලංකා කොමියුනිස්ට් පක්ෂයේ චීන පිලට බැඳී ගිරිතලේ වැව් තාවුල්ලේ සම්බෝලයි මඤ්‍ෙඤාක්කායි කමින් දේශපාලන පන්තිවලට සහභාගි වූ සැටිද ජනපති සිහිපත් කළේය.
දේශපාලනයේ කට්ට නොකා සැබෑ ජනතා නායකයන් වන්නට බැහැ. වසර 20කට ආසන්න කාලයක් එක දිගට බලයේ සිටීම නිසා අද සිටින තරුණ නායකයන්ට කට්ට කෑම නුපුරුදු බවද ජනපති පෙනවා දුන්නේය.

දේශපාලන නායකයන් කියන දේට එසේය කියන තරුණයන් පක්ෂයකට වැඩක් නැහැ. එසේද ඇසුවොත් නැත මෙසේය කියන මිනිස්සු හදන්න මේ ශාස්ත්‍රාලය යොදා ගන්නැයිද ජනපති ඉල්ලා සිටියේය.
1978 ව්‍යවස්ථාවෙන් එතෙක් පැවැති දේශපාලන ක්‍රමය උඩුකුරු යටිකුරු වුණා. පක්ෂ ප්‍රතිපත්ති දර්ශනය වෙනුවට මනාප ඡන්ද ක්‍රමය තුළ පුද්ගලයා ඉස්මතු වී යැයිද ජනපති පෙන්වා දුන්නේය.

මුදල් බලය තිබේ නම් ඕනෑම දූෂිත, අශීලාචාර, සමාජ ද්‍රෝහී පුද්ගලයකුට සුදු රෙදි ඇඳ රත්තරන් චේන් දමා ඇවිත් මැතිවරණ දිනන්නට හැකි අයුරු දේශපාලන සංස්කෘතිය පිරිහුණු බවද ජනපති පැවැසීය.
උගත්කම ශාස්ත්‍ර ඥන්‍ය වැඩි වෙන්න වෙන්න රට හොඳ පැත්තට හැරෙනවා. දැනුම නැතිව ක්‍රමය වෙනස් කරන්නට කිසි විටෙක නොහැකි බව මතක තබා ගන්නැයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණ සංවිධානය කළ දේශපාලන අධ්‍යාපන ඇකඩමියේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හැඳුනුම්පත් ලබා දීමේ උත්සවය ඊයේ (19දා) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලනිප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
ශ්‍රී ලනිප ලේකම් දුමින්ද දිසානායක, තරුණ පෙරුමුණේ සභාපති ශාන්ත බණ්ඩාර සහ ලේකම් එරික් ප්‍රසන්න වීරවර්ධන මහත්වරුද සභාව ඇමැතූහ.
මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස, මහාචාර්ය සම්පත් අමරතුංග විද්වතුන්, මැති ඇමැතිවරුන් ප්‍රමුඛ විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මෙම උත්සව වේදිකාවේ තිරය මත නෙල්සන් මැන්ඩෙලා, මාටින් ලුතර් කිං, මහත්මා ගාන්ධි, ලීක්වාන්යු, පිදෙල් කැස්තේ‍රා්, ඒබ්‍රහම් ලින්කන් ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක, මාඕ සේතුං යන නායකයන්ගේ සහ ජනපතිගේ ඡායාරූප විය.

ජනාධිපතිවරයා මෙසේද කීය.
පක්ෂයේ දේශපාලන ශාස්ත්‍රාලයක් පිළිබඳ පසුගිය දශක කිහිපයකදීම කතා කළත්, ආණ්ඩු බලය ඉතා ශක්තිමත්ව තිබූ අවස්ථාවන් වලදීත් ආණ්ඩු බලයක් නොමැතිව විපක්ෂය විදියට ශක්තිමත්ව සිටි අවස්ථාවන්වලදීත් පක්ෂයේ ඉතිහාසයේ මෙතෙක් කර ගැනීමට නොහැකි වූ දෙයක් වන දේශපාලන ශාස්ත්‍රාලයක් ආරම්භ කිරීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. මේ සඳහා ශාන්ත බණ්ඩාර මහතාත් එරික් වීරවර්ධන මහතා ඇතුළු අපේ තරුණ සංවිධානයේ තරුණ නියමුවන් ගත් උත්සාහය, කැපවීම මා ඉතාමත් අගය කරනවා.

දේශපාලන ශාස්ත්‍රාලයක් පිළිබඳව මා දන්නා පරිදි අපේ රටේ දේශාපාලන පක්ෂ විසින් ඇතැම් අවස්ථාවල ගනු ලබන උත්සාහයන් අසාර්ථක වූ ඉතිහාසයක් තිබෙන්නේ. විශ්වවිද්‍යාල දේශපාලන විද්‍යා පාඨමාලා හැරෙන්නට බාහිර සමාජයේ මෙවැනි ආයතනයක් දේශපාලන පක්ෂයක් විසින් ආරම්භ කර නැහැ.
1951දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වන විට ශ්‍රී නිශ්ශංක මැතිතුමාලා ටී.බී. ඉලංගරත්න මැතිතුමාලා බණ්ඩාරනායක මැතිතුමාගේ සමකාලීන නායකයන් විදියට යුග මෙහෙවර ඉටු කිරීමේ කාර්යයේදී පක්ෂයේ දර්ශනය සහ පක්ෂයේ වැඩපිළිවෙළ පක්ෂයේ ප්‍රතිපත්ති සඳහා ප්‍රමුඛත්වයක් ලබා දී ජාතික දේශපාලන ව්‍යාපාරය ආරම්භ කළා. ප්‍රතිපත්තියක්, දර්ශනයක්, වැඩපිළිවෙළක් ජනතාවාදී ලෙස ප්‍රජාතන්¼ත්‍රවාදී ලෙස තිබූ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ 1951 දී ආරම්භ කොට අවුරුදු පහකටත් වඩා අඩු කාලයකින් 1956 වන විට ආණ්ඩුවක් පිහිටුවාලීමට හැකියාව ලැබුණා. ජනතාවගේ දේශපාලන නාඩිවලට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැනුණේ 50 දශකයේ මුල් කාලයේදී. අපේ සංස්කෘතික, කර්මාන්ත පිළිබඳ අපේ ඉතිහාසය පිළිබඳව එහි ශේ‍ර්ෂ්ඨත්වය පිළිබඳව එහි අහිමානය පිළිබඳව වසර දහස් ගණනක රණකාමී ඉතිහාසයක වසර අපි ගොඩනැඟුණු මහා ජාතියක් විදියට ඒ ජාතිය වසර හාරසිය ගණනක් යටත් වී සිට නිදහස ලබා ගැනීමත් සමඟ වසර දහස් ගාණක කතාවක් සමඟ අපේ උතුම් ජාතියට නැවත හිස ඔසවන්න අවශ්‍යතාවක් ඇති වුණා. එම අවශ්‍යතාව තුළයි සංස්කෘතික බලවේග ඇති වී එහි වේදිකාවක්, කේන්ද්‍රස්ථානයක් වශයෙන් දේශපාලන පක්ෂයක් බවට පත්වුණේ.

1974 සිට මේ රටේ ආණ්ඩු හැදුණා. ආණ්ඩු වැටුණා. ආණ්ඩු පෙරළුවා. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මනාප ඡන්ද ක්‍රමය හඳුන්වාදීමත් සමඟ දේශපාලන පක්ෂ, ප්‍රතිපත්ති, දර්ශන කතා කිරීම අනවශ්‍ය වුණා. ඡන්ද ලබා ගන්න පුද්ගලාභිවන්දනය පුද්ගලයන් ඔසවා තැබීම ප්‍රමුඛ කාර්යය බවට පත්වුණා. ඕනෑම අශීලාචාර, අවිචාර කටයුත්තක් කරන සමාජයේ පිළිගැනීමක් නොමැති පුද්ගලයකුට සුදු රෙදි අන්දවන්න මනාප ඡන්ද ක්‍රමය තුළ වුවමනාවක් ඇති වුණා. කුමන හෝ දුරාචාරයක, අශීලාචාරකම, දූෂණයක, වංචාවක, නීති විරෝධී දෙයක් කළත් ඔහුට සල්ලි තිබෙනවා නම් සුදු ඇඳුමක් ඇඳගෙන රත්තරන් මාලයක් දමාගෙන දේශපාලනයට ඇවිත් සල්ලි වියදම් කරලා දේශපාලන පක්ෂයක් හදන්න හැකියාව තිබෙනවා. මනාප ඡන්ද ක්‍රමය සමඟ මේ රටේ දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම පිරිහුණා. මනාප ඡන්ද ක්‍රමය සමඟයි දේශපාලන පක්ෂවල ඇදවැටීමත් පුද්ගල වන්දනාවක් මේ රටේ ඇත වුණේ. මෙයින් අපි කෙසේද මිදෙන්නේ? මෙම ක්‍රමය වෙනස් කිරීමට නම් දැනුම අවශ්‍ය වෙනවා. ලෝකයේ සියල්ල දැනුම සමඟ වෙසන් වෙනවා. දැනුම උගත්කම, බුද්ධිය, පරිණතභාව. බහුශ්‍රැතභාව තුළින් මිනිසකුගේ වෙනස්වීම වෙනවා. දැනුම මුල් කරගත් සමාජයක් තුළයි උගත්කම මුල් කරගත් සමාජයක් තුළයි ශාස්ත්‍රීය ඥානය මුල් කරගත් සමාජයක් තුළයි අද අපි ඉන්නේ. දැනුම, උගත්මකම සහ ශාස්ත්‍රීය ඥානය දේශපාලන ව්‍යාපාරයක සිටින පිරිස්වලට වැඩි වෙන්න වැඩි වෙන්න රට හොඳ පැත්තකට යනවා. රටේ දේශපාලන අමනුෂ්‍යයෝ බිහිකරන්න අවශ්‍යයි නම් පුද්ගලාභි වන්දනාව හොඳයි.

රජ කාලයේ රජතුමා හොඳ වුණත් නරක කෙනෙක් වුවත් රජතුමා ළඟට ගොස් ප්‍රශස්ති කියා 'එසේය මහරජ ඔබ වහන්සේ කියන දේ අප විසින් එසේම කරන්නේය. ඔබ වහන්සේ මහා රණකාමීයෙක්ද බලවතෙක්ද ඔබ වහන්සේට වඩා කෙනෙක් නොමැත්තේය. ඔබ වහන්සේ විසින් කියන්නාවූ ඕනෑම දෙයක් අපි කරන්නේය' ඒ එදා. නමුත් අද එසේ නොවේ. අද එසේය කියන මිනිසුන් ලෝකයේ බිහි වෙන්නේ නැහැ. එසේද කියා ඇසූවිට නෑ එය මෙසේ කියා කියන්න අද සමාජය සූදානමින් සිටිනවා. ඒ නිසා දේශපාලන නායකයන්ට එසේය කියන්න නොව එසේ නොවේ මෙසේය කියන්නන් හදන්නයි මේ ශාස්ත්‍රාලය ආරම්භ කළේ කියා තමුන්නාසේලාට කිව යුතුයි.
මගේ නිල නිවෙස පිහිටා තිබෙන ස්ථානය ඉස්සර හැඳින්වූයේ පැජට් පාර යනුවෙන්. අපි එය මහගම සේකර මාවත ලෙස වෙනස් කළා. එහි ඇති රැස්වීම් ශාලාව හැම කෙනෙක්ම දන්නවා. එම පුංචි රැස්වීම් ශාලාවේ බිත්තියේ දකුණු පස ගසා තිබෙනවා. ඡායාරූප තුනක්. එම ඡායාරූප ලෙනින්, කාල් මාක්ස්, මහත්මා ගාන්ධිතුමාගේ. මගේ නිවෙසට රාජ්‍ය නායකයෝ එනවා. එම ශාලාවේදී සාකච්ඡා පවත්වනවා. සමහර නායකයන් අහනවා ඇයි ජනාධිපතිතුමා ලෙනින් කාල් මාක්ස්ගේ ඡායාරූප ගසා තිබෙන්නේ කියා. මොවුන්ව පිළිගන්නේ නැහැ නේද? මොවුන්ට දර්ශනයක් නැහැ නේද කියා අසනවා. මම ඒ සෑම කෙනෙක්ටම දුන් පිළිතුර වන්නේ මම දේශපාලනයේ 'අ' කිව්වේ ඒ දෙදෙනාගේ දර්ශනයෙන් බවයි. මගේ ගුරුවරුන් ලෙස මම ඔවුන්ව සලකන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කළ ශාස්ත්‍රාලය තුළ අපි අධ්‍යයනය කරන්නේ සාකච්ඡා කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලනය පමණක් නොවේ. එය පැහැදිලිව අපි තේරුම් ගත යුතුයි. මේ ආයතනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ලංකාවේ සියලු දේශපාලන පක්ෂ ඒ ඒ පක්ෂවල ප්‍රතිපත්ති සහ දර්ශන ලෝකයේ දේශපාලන දර්ශන සහ ප්‍රතිපත්ති රාජාණ්ඩු ක්‍රම, නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මූලික අයිතිවාසිකම්, මානව හිමිකම් අන්තර්ජාතික වශයෙන් වැදගත් වන්නා වූ සියලු දේ මෙහිදී හැදෑරීම අත්‍යවශ්‍ය වෙනවා. සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටුණු ආකාරය ඔබ දන්නවා. ගොර්බචොප් පෙරස්තේ‍රායිකාව ප්‍රතිව්‍යුහකරණය තුළ සෝවියට් සමූහාණ්ඩුව සම්පූර්ණයෙන්ම වෙන්වුණා. ඒ කාලයේ ධනවාදී රටවල් නේටෝ සංවිධානය අනෙක් පැත්තෙන් සමාජවාදී කොමියුනිස්ට් රටවල් වෝසෝ සංවිධානය යුදමය වශයෙන් අන්තර්ජාතික වශයෙනුත් ශක්තිමත් වෙන්න ජාත්‍යන්තර සංවිධාන සාදාගෙන තිබුණා.

මාස කිහිපයකට පෙර සෝවියට් සමාජවාදී සමූහාණ්ඩුවේ කොටසක්ව තිබුණු ටජිකිස්තානයේ ජනාධිපති ලංකාවට ආවා. අගමැතිතුමාගේ ආරාධනයකට ආවේ එතුමා ටජිකිස්තාන් ජනාධිපතිතුමා සමඟ පැවැති රාත්‍රි භෝජනයේදී මම එතුමාගෙන් ඇහුවා සෝවියට් සමූහාණ්ඩුව කඩා වැටුණේ ඇයි කියා. එතුමා කිව්වා එයට මූලිකම හේතුව වුණේ සෝවියට් සහූහාණ්ඩුවේ නායකත්වය ගෙන තිබූ රුසියාවේ නායකයන් වැඩිපුර සැලකුවේ සම්පත් දුන්නේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් රටවල්වලින් රුසියානු භාෂාව කතා කරන රටවල්වලට පමණක් කියා 91 සිට මේ දක්වාම එතුමායි ටජිකිස්තානයේ ජනාධිපති.

පසුගිය අවුරුද්දේ බි්‍රතානයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් සඳහන් කළා. ඉරාකයට පහරදීම පිළිබඳව මම දැන් කනගාටු වෙනවා. මම සමාව ඉල්ලනවා කියා කිව්වා. ටෝනි බ්ලෙයාර් සහ ජෝජ් බුෂ් දෙදෙනා එකතුව ඉරාකයට ගැහුවා.

මම මේ කියන්නේ මම කියවපු පොතක තියෙන දේ. නැත්නම් මේකත් මාධ්‍ය වැරැදියට භාවිත කරයි. මට ඕනි නම් ඒ පොත ඉදිරිපත් කරන්න පුළුවන්. මංගාව දැනුත් ඒ පොත තියෙනවා. ටෝනි බ්ලෙයාර්, ජෝර්ජ් බුෂ් බි්‍රතාන්‍ය හමුදාව ඉරාකයට යවලා ඉරාකය යටත් කරගත්තාට පසුව මේ පොත ලියපු කෙනායි කියන්නේ එහෙම යටත් කරගත්තාට පසුව රාජ්‍ය ලේඛන, පුස්තකාල සේරම ගිනිතිබ්බා. ඒ වගේම උගතුන්, වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෙඩි තියලා මැරුවා. ඉරාක ශිෂ්ටාචාරය පිළිබඳ මට වඩා දන්න අය ඇති මෙතැන. ඒ ශිෂ්ටාචාරය තුළ තිබුණ පෞරාණික දේවල් හොරකම් කරලා ඒ රටවල්වලට අරන් ගියා. මේ වන විට ඉරාකයේ ලක්ෂ ගණනක මිනිසුන් මැරිලා තියෙනවා යුද්ධය නිසා.

78 ව්‍යවස්ථාව හදපු හැටි ඔබ දන්නවා. මම නම් වශයෙන් කියන්නේ නැහැ. ඒ අය අද ජීවතුන් අතරත් නැහැ. සමහරු මගේ හිතවතුන්. 78 ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවේ සම්මත කරලා ඒ නායකයන් කිව්වා ශ්‍රී ලනිප ආයිත් බලයට එන්න අපි ව්‍යවස්ථාව හැදුවේ නැහැ කියලා. ඒ විදියට ශ්‍රී ලනිපය ගැන මනෝ විකාර කියවපු අය එදත් හිටියා. අදත් ඉන්නවා. මෙවැනි අභියෝග පක්ෂයට අද ඊයේ දේවල් නෙවේ. බණ්ඩාරනායක මැතිතුමා තරම් දුක්විඳි නායකයෙක් තවමත් බිහිවෙලා නැහැ මේ රටේ. එතුමාට දීපු වධ. වර්ජන, උද්ඝෝෂණ ඒ ඔක්කොම කරලා අන්තිමට මරලත් දැම්මා.

මේ පක්ෂය බණ්ඩාරනායක මැතිතුමාගේ ලේ වලින් ගොඩනැඟුණු පක්ෂයක් මේ පක්ෂය. වාම ප්‍රගතිශීලී දේශපාලන පක්ෂයක නායකයකුගේ රුධිරයෙන් බිහිවුණ පක්ෂයක්. බණ්ඩාරනායක මැතිතුමා වසර තුනහමාරයි බලයේ සිටියේ. ඒ කෙටි කාලයට කළ දේවල් මේ රටේ ජනතාවගේ හෘදස්පන්දනයටම දැනුණා. දේශපාලන නාඩිවලට දැනුණා. ඒක තමයි යථාර්ථවාදී වූ සත්‍ය කතාව. මම මාක්ස්වාදයේ පොතපත කියෙව්වේ වයස අවුරුදු 14-15 කාලයේදී. ඒ කාලයේ පොළොන්නරුව නගරයේ තියෙන ඉස්කෝලෝ ඇරිලා ගේට්ටුවෙන් එළියට එනකොට ඒ කාලයේ අර කම්කරුවෝ පත්තරය තියාගෙන ළමයින්ට නිකන් දෙනවා මේක අරන් යන්න කියලා. ඉතින් අපි අරගෙන ගිහින් කියවනවා මාස තුන හතරක් දීලා දැන් පත්තර දුන්න එක්කෙනාට මතකයි පත්තර අරන් යන ළමයි. ඊට පස්සේ හිමින් පස්සෙන් ඇවිල්ලා කියනවා පත්තරේ කියෙව්වද. ඔව් අයියේ පත්තරේ කියෙව්වා. මේ පොඩි සාකච්ඡාවක් තියෙනවා අහවල් තැන කියලා කියනවා. ඒ විදියට තමයි මගේ පළමුවැනි දේශපාලන නායකයා ෂන්මුගදාසන් නායකතුමා මට හමු වුණේ. ඉතින් එස්.ඩී. බණ්ඩාරනායක මහත්තයාත් පොළොන්නරුවේ එනවා ඒ කාලේ.

මම අවුරුදු 15 කාලේ ඇස්.ඩී. බණ්ඩාරනායක මහත්තයා බයිසිකලේ පොල්ලේ තියාගෙන ගම්වල පදිනවා රැස්වීම්වලට. එහෙමයි අපි දේශපාලන කළේ. එහෙමයි අපි කට්ට කෑවේ. එහෙමයි අපි හැදුණේ. අද පක්ෂයේ සංවිධායකකම දුන්නහමත් කියනවා තනතුරකුයි, වාහනෙකුයි ඕනේ කියලා ඇවිල්ලා කියනවා. මම ලක්ෂ උයනේ ගෙදර ඉඳල්ලා හැතැම්ම 40ක් පයින් ගිහිල්ලා තියෙනවා එක තරුණ සමිතියක් හදන්න. 70,77 ආණ්ඩුව තියෙන කාලයේ.

1967 අගෝස්තු මාසයේ පළමුවැනිදා ලීලාරත්න විජේසිංහ මහතාගේ ගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ සංවිධානය හැදුවා.
ඒ කාලයේ පක්ෂ ව්‍යවස්ථාවේ හැටියට තරුණ සංවිධානයෙත්, කාන්තා සංවිධානයෙත් සභාපති ආසනයේ සංවිධායක. තමුන්නාන්සේලා 2001 මාව පක්ෂයේ ලේකම් විදියට පත්කරගත්තට පස්සේ තමයි මම ව්‍යවස්ථාව වෙනස් කෙරුවේ. තරුණ සංවිධානයේ සභාපති තරුණයෙක් විය යුතුයි. කාන්තා සංවිධානයේ සභාපති කාන්තාවක් විය යුතුයි කියලා. ඒ වෙනස කළේ මම කියලා අමතක කරන්න එපා.

ඒ අවුරුද්දේ දෙසැම්බර් මාසයේ තමයි ඕලෙවල් මට ලියන්න තිබුණේ. මම කිව්වා දෙසැම්බර් මාසයේ විභාගය කියලා. එවිට මට කිව්වා ඒක ඔයාට ප්‍රශ්නයක් නැහැ. මම දන්නවනේ ඔයාගේ හැටි කියලා. අපි ඊට පසුව සාකච්ඡා කරලා අපි සතිපතා එහෙනම් කතා කරමු රැස්වෙලා කියලා. එන්න හදනවිට මන්ත්‍රිතුමා මගේ කරට අත දාලා කිව්වා පුතා ඔයා හොඳට ඉගෙන ගන්න. මම ඔයාට හොඳ රස්සාවක් හදලා දෙන්නම් කියලා. ඒ තරුණ සංවිධානය හදලා පළමුවැනි රැස්වීම.

ලංකාවේ දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති එක්ක ගොඩනැඟුණ නායකයන් තමාගේ දේශපාලන පක්ෂයේ අනාගතය හා රටේ අනාගතය දෙකම එකක් ලෙසයි සැලකුවේ. රට ගොඩනැඟීමයි අංක එක වුණේ. දේශපාලන පක්ෂය නොසලකා වැඩකරනවා නම් ඒ තුළ ගොඩනැඟෙන්නේ පක්ෂය නෙමේ පුද්ගලයන්. ඒ නිසා බොහොම පැහැදිලිවම මේ අලුත් තරුණ පිරිස ඔබ සියලු දෙනාටම මම ස්තුති වන්ත වෙනවා. ඔබේ මෙන්ම රටේ අනාගතය වෙනුවෙන් මෙම ශාස්ත්‍රාලය වැදගත් වෙනාව. සැමවිටම දැනුමට වටිනාකම ලැබෙනවා මෙන්ම වැඩි සහයෝගයක් ලැබෙනවා. අද මේ වැදගත් කාර්ය සඳහා කැපවුණ සියලු දෙනාටම පක්ෂයේ සභාපතිවරයා විදියට සුබපතමින් ආශීර්වාද කරනවා. අපේ උතුම් මාතෘභූමිය ගොඩනඟන්න එක අරමුණකින් කටයුතු කරමු.

උදේනි සමන් කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon