අපි කට පියාගෙන හිටියොත් ඡන්දදායකයා ‍ෙදාස් කියයි

  👤  2815 readers have read this article !
By mawbima 2017-03-20

ළඟකදී ඉඳලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ හැසිරීම එච්චර හොඳ නැහැ නේද?

රටේ දෙකෝටියක් ජනතාව නියෝජනය කරන මන්ත්‍රිවරුන් 225ක් පමණ දෙනා ජනතා කැමැත්තෙන් පත්කරන්නේ ඡන්දදායකයා විසින් ඉතාමත්ම සුපරීක්ෂාකාරීව ඒ ගැන කරුණු විමසා බැලීමෙන් පසුවයි. ඒ පත්වෙන මහජන නියෝජිතයාගේ වගකීම තමන් එවපු ජනතාවට සාධාරණයක් ඉටුවෙන ආකාරයට කටයුතු කිරීමයි. ඒ වගේම හැසිරීම කතා බහ පමණක් නෙවෙයි පෞද්ගලික ජීවිතය පවා ජනතාව වෙනුවෙන් කැප කළ යුතුයි කියන එක මහජන නියෝජිතයකු ලෙස මගේ නම් පෞද්ගලික මතයයි. ඒ වගේ උත්තරීතර පාර්ලිමේන්තුවට පත්වෙන මන්ත්‍රිවරයාගේ ගෞරවය ආරක්ෂා වෙන විදියට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා හැටියට කතානායකවරයා කටයුතු කරන්න ඕන.

මේ පාර්ලිමේන්තුව තුළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් හැටියට අපේ අයිතිය කිහිපවතාවක්ම සාහසික විදියට කතානායකවරයා විසින් අවස්ථා ගණනාවකදී උල්ලංඝනය කරලා තිබෙනවා.

ඔබ කියන අවස්ථා මොනවාද?
පාර්ලිමේන්තුවට කතානායකවරයකු පත් කරගැනීමේදී පාර්ලිමේන්තුවේ 50 දෙනකු නියෝජනය කරන අපට අවස්ථාව නොදී එය මන්ත්‍රිවරුන් 22ක් සිටින දෙමළ ජාතික සන්ධානයට හා ජනතා විමුක්ති පෙරමුණට ලබාදීමෙන් පාර්ලිමේන්තුවේ මහා කලබැගෑනියකට ආණ්ඩු පක්ෂය මාර්ගයක් තැනුවා.

ඔබ චෝදනා කරන්නේ කතානායකවරයාටද?
මම කතානායකවරයාට පමණක් චෝදනා කරන්නේ නැහැ. මෙය ශ්‍රී ලනිපයේ ආණ්ඩුවට සම්බන්ධ පාර්ශ්වය සහ ඒ වගේම එක්සත් ජාතික පක්ෂය හිතාමතාම සැලසුම් කළ දෙයක්. ජනාධිපතිතුමා හිතාමතාම දැනුවත්වම කළ දෙයක් කියලා චෝදනා කරනවා.

තවත් එවැනි චෝදනා තිබෙනවා කියලයි ඔබ කියන්නේ?
පාර්ලිමේන්තුවේ 50 දෙනකු සිටින අපේ කණ්ඩායමට පාර්ලිමේන්තුව පැවැත්වෙන වේලාවෙන් 15%ක වෙලාවක් පමණයි අදහස් දක්වන්න ලබා දීලා තිබෙන්නේ. අපේ කණ්ඩායම හරියට 1/4කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා.

ඊළඟට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා කතානායකවරයා වෙනවා සේම රටේ දෙවැනි පුරවැසියා වෙන්නේ අග්‍රාමාත්‍යවරයා. අග්‍රාමාත්‍යතුමාගේ හැසිරීම සම්බන්ධව රටේ සාමාන්‍ය ජනතාවගේ ආකල්පය මොකක්ද?

අග්‍රාමාත්‍යතුමාගේ හැසිරීම හොඳයි අලියට ඡන්දෙ දීපු අයට. ඒ අය හිතනවා ඇති ඒකාබද්ධ පිලට කතා කරන්න දෙන්නේ නැහැ. මහින්ද රාපජක්ෂට බනිනවා ඒක හොඳයි කියලා. නමුත් අග්‍රාමාත්‍යතුමන්ගෙන් අපි බලාපොරොත්තු වුණේ ඒක නෙවෙයි. මේ රටේ ඩී.එස්. සේනානායකගෙන් පටන් ගත් විට පසුගිය රජයේ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනකම් ඉතාමත් ගෞරවනීය විදියට ඒ තනතුර හෙබෙව්වා. මේ අගමැතිවරයාගේ හැසිරීම ඉතාමත් පිළිකුල් සහගත ලෙස හෙළා දකිනවා. ඔහුගේ හැසිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ අපට මුඛවාඩම් දාගෙන සිටීමට කටයුතු කිරීමත් එක්ක පාර්ලිමේන්තුවේ කලබැගෑනිය ඇති වෙන්නේ. එහෙම නැතිව ගෞරවනීය ආකාරයට කටයුතු කරනවා නම් අපි සූදානම් ඕනෑම වේලාවක පාර්ලිමේන්තු කටයුතුවලට සහයෝගය දෙන්න.

අපේ අයිතිවාසිකම් අමු අමුවේ උල්ලංඝනය කරනකොට අපට ඡන්දය දුන් හතළිස් හත්ලක්ෂයක් ජනතාව අපට ‍ෙදාස් කියයි අපි කට පියාගෙන ඉන්නවා කියලා. එහෙම නම් අපි ආණ්ඩුවට එකතු වෙන්න ඕන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කඩාගත් පිරිස වගේ අපිත් කටයුතු කරන්න ඕන. ඒ නිසා පාර්ලිමේන්තුවේ මහජන නියෝජිතයන්ගේ හැසිරීම සම්බන්ධව ජනතාව චෝදනා කරනවා නම් එහි පළමුවැනි විත්තිකරුවා වියයුත්තේ කතානායකවරයා සහ අග්‍රාමාත්‍යවරයා.

ඒකාබද්ධ විපක්ෂ සංවිධානය රත්නපුරෙන් අරඹපු සටනට මොකද වුණේ?
අපි විපක්ෂයක් හැටියට අපට පැවැරුණු වගකීම තමයි ආණ්ඩුව ගන්නා වූ තීන්දු තීරණ ක්‍රියාමාර්ගවලින් අපහසුවට ලක්වන ජනතාවට නායකත්වය ලබාදීලා ඊළඟට ආණ්ඩු බලය ලබා ගැනීමට ක්‍රියාමාර්ග ගැනීම. ඒක අපේ යුතුකම. ඒ සඳහා අපි ජනතාව පෙළගස්වනවා. ජනතාව පොලඹවන්න ජනතා මතය උද්දීපනය කරන්න සටන් ක්‍රියාමාර්ගවලට එළැඹෙනවා. පළමුවෙන්ම මහින්ද සුළඟ නමින් වැඩපිළිවෙළක් ආරම්භ කෙරුවා. ඒක ඉතාම සාර්ථකයි.

එහෙත් බහුතර ජනතාව එකතු වෙලා මහින්ද රාජපක්ෂ පරාජය කළා නේද?
ජනතාව විසින් අපි පැරැද්දුවා නෙවෙයි. මෛත්‍රිපාල සිරිසේන ශ්‍රී ලනිප නායකතුමා විසින් අපව හිතාමතා පැරැද්දුවා. මේක කීවේ ජනාධිපතිතුමාමයි අපේ මූණට. එක්සත් ජාතික පක්ෂය ආසන 106ක් ගන්නකොට අපි ආසන 95ක් ගත්තා. ජනාධිපතිවරයාගේ තිබෙන අනිසි මැදිහත් වීමත් එක්ක ආණ්ඩුව පිහිටුවන්න අපිට ඒ වෙලාවේ බැරි වුණා. නමුත් අද වෙනකොට නගරයකට ගිහින් සිය දෙනකු තෝරාගෙන ආණ්ඩුව ගැන හොඳක් කතා කරන්නේ කවුද කියලා බලන්න කීයෙන් කී දෙනාද කියලා. ඒ නිසා අපි හිතනවා අපේ වැඩපිළිවෙළ සාර්ථකයි කියලා.

එහෙත් ආණ්ඩු පක්ෂය කියන්නේ අද ජනතාව නිදහසේ ඉන්නවා සුදු වෑන් සංස්කෘතියක් නැහැ කියලයි?

ඒ අය සුදු වෑන් සංස්කෘතිය ගැන කතා කරනවා. වංචා, දූෂණ, කොමිස්, පගා ගැන කතා කරනවා. හැබැයි ඉතාම පැහැදිලිව කියන්න ඕන. දැන් මේ වෙනකොට රට තුළ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩු සමයේ රටින් පැනලා ගිය පාතාල නායකයන් සියලු දෙනා මේ වන විට රට තුළට ඇවිල්ලා. අද පාතාලය හිස ඔසවලා නැද්ද? මේ පාතාලය කිරිපොවලා ඇති දැඩි කරන්නේ රජයේ ප්‍රබල ඇමැතිවරුන් නෙවෙයිද? විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මහින්ද රාජපක්ෂ පාලන කාලයේ වගේ පහර දුන්නේ නැහැ කිව්වා. නමුත් එදා ඔවුන්ට අමානුෂික ලෙස පහර දෙන අයුරු දැක්කා. කඳුළු ගෑස් ගහලා බස් ඇතුළේ හැංගිලා හිටපු ශිෂ්‍යයන්ට ඔළු පැළෙන්න ගැහුවේ.
මහින්ද රාජපක්ෂ සමයේදී මෙවැනිම ප්‍රහාර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට එල්ල කළා අපි දැක්කා.

ඇත්ත. යම් යම් අවස්ථාවල අනිසි විදියට බලය පාවිච්චි වීම් සිදුවෙලා තිබෙනවා. රාජපක්ෂ පාලනය පරාජය කර යහපාලනයක් ඇති නීතිය රජයන, යුක්තිය රජයන රටක් හදන්න තමයි මෛත්‍රි යුගයක් ප්‍රාර්ථනා කළේ. මෛත්‍රි යුගයේදී රාජපක්ෂ යුගයේදී සිදුවූ දෙයම සිදුවෙනවා. එහෙම නම් තිබුණු එකම හොඳයිනේ. සිදුවෙන්නේ නැහැ. අද බලනකොට මහින්ද රාජපක්ෂ පාලනයටත් එහා ගිහින්නේ මේ ගොල්ලෝ.

උනුත් එකයි මුනුත් එකයි කියලා වටපිටාවෙන් ඇහෙන්නේ මේක නේද මන්ත්‍රිතුමා?

එක අතකින් ඔබ ඒ කරන චෝදනාවේ යම් සාධාරණයක් තිබෙනවා. රටට ගේනවා කීවේ මෛත්‍රි යුගයක්. ස්ථාවර රටක්, යහපාලනයක්. දින සීයෙන් විප්ලවයක්. ඒක තමයි ඒ දවස්වල කියපු පාඨය. හැබැයි අද වෙනකොට එදා කුඩු සම්බන්ධ, එතනෝල් සම්බන්ධ චෝදනා එල්ල කරපු, කාන්තාවන් සීයයක් දූෂණය කළා කියලා ඒකේ උත්සවය සමරපු මහජන නියෝජිතයෝ ආදී වංචා දූෂණ අපරාධ එල්ල වුණු කණ්ඩායමට අද යහපාලන ආණ්ඩුව අම්බලමක් වෙලා. එහෙම නම් යම් ආකාරයකට ජනතාව චෝදනා කළොත් ඒකේ වෙනසකුත් නැහැ, මේකේ වෙනසකුත් නැහැ කියලා ඒ කතාවේ ඇති අසාධාරණයක් නැහැ කියලා මටත් හිතෙනවා. එහෙම නම් එදා වැරැදිකාරයෝ කියලා හඳුනාගත් උදවිය, වැරැදිකාරයෝ කියලා අපි නෙවෙයි කීවේ. අද ආණ්ඩුව පැත්තට අරගෙන ඒ අයට අවශ්‍ය සැප සම්පත් නිලතල දීලා ඒගොල්ලෝ පෝෂණය කරනවා වෙනුවට ඔවුන්ට දඬුවම් දිය යුතුයි. අද යහපාලනය තුළ දඬුවම් ලබන වින්දිතයෝ බවට පත්වෙලා තියෙන්නේ ආණ්ඩුවට එරෙහිව හඬ නඟන මහජන නියෝජිතයන්.

ඔබ මොන චෝදනා කළත් මේ ආණ්ඩුව ජනතාවට සේවයක් කරන බව ඔවුන් නම් කියනවා?

මම නියෝජනය කරන සබරගමුව පළාත අපි ආණ්ඩු පාලනය කළ 2005 -2014 කාලය තුළ දැවැන්ත සංවර්ධන යෝජනා ක්‍රම හා පුද්ගල සංවර්ධනය සඳහා කටයුතු කළා. අද එවැනි දෙයක් පේන්නේ නැහැ. අපි නෙවෙයි කියන්නේ. ආණ්ඩුවේ ප්‍රබල කොටස්කාරයෙක් වුණු අතුරලියේ රතන හිමි කියනවා, ආණ්ඩුවේ පිළිවෙත වැරැදියි දැන්වත් මේක හදාගන්න ඕන කියලා. රතන හාමුදුරුවන්ගේ දෘෂ්ටිකෝණයෙන් බැලුවත් ආණ්ඩුව වැරැදියි. ඒ නිසා මේ ආණ්ඩුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් වැඩි පිරිසක් නැති බැරිකම්වලින් පීඩා වින්ද ජනතාවක් නෙවෙයි. මැණික් සම්පත රත්නපුර ප්‍රදේශයට පමණක් සීමාවුණු සම්පතක්.
අද රත්නපුර දිස්ත්‍රික්කය අන්ත දිළින්දන්ගේ පාරාදීසයක් බවට වත්මන් ආණ්ඩුව පත් කරලා තිබෙනවා.

මේ ආණ්ඩුවෙ නව ව්‍යාපෘති සඳහා රත්නපුර ප්‍රදේශයේ ඉඩම් වෙන් කරන්න යන බව ආරංචියි. ඒ ගැන ඔබ දරන්නේ කුමන මතයක්ද?
එවැනි විවිධාකාර කතන්දර ඇහෙනවා. ව්‍යාපෘති සඳහා ඉඩම් වෙන් කරනවා නම් නව රැකියා අවස්ථා ලැබෙනවා නම් යූඇන්පී වුණත් ශ්‍රී ලංකා වුණත් ඒ ගැන සතුටු වෙනවා. එහෙම දේශපාලන කෝණයකින් බලන තරමටම අපි අසාධාරණ වෙන්නේ නැහැ. නමුත් ආණ්ඩුව කියනවා ඇරෙන්න කරන දෙයක් නැහැ. විසිල් මිසක් බල්ටි නැහැ මේ ආණ්ඩුවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon