‘ප්‍රමුඛතා මංතීරු’ හා මගී ප්‍රවාහනයේ ප්‍රමුඛතා

  👤  2948 readers have read this article !
By mawbima 2017-03-20

කොළඹ නගරයේ පවතින අධික වාහන තදබදයට පිළියම් සෙවීමේ අරමුණින් ක්‍රියාත්මක කළ අත්හදා බැලීමක් ඉකුත් (12දා) ඉරිදා සිට රාජගිරිය ආයුර්වේද මංසන්ධිය කේන්ද්‍ර කරගනිමින් සතියක කාලයක් ක්‍රියාවට නැගිණි. පොදු මගී ප්‍රවාහන බස්රථ සඳහා ප්‍රමුඛතා මංතීරුවක් ලබාදීමේ මේ නියමු වැඩසටහන යම් සාර්ථකත්වයක් අත්කරගෙන ඇති බව පෙනේ.

බස්නාහිර සහ මහ නගර සංවර්ධන අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වූ මේ නියමු වැඩසටහනේ ආරම්භක දිනයේදී නම් අදාළ ප්‍රදේශයේ විශාල මාර්ග තදබදයක් ඇති වී තිබිණි. ඊට එක් හේතුවක් වී තිබුණේ මගී බස් රථ රියැදුරන් හැරුණුකොට යතුරුපැදි, ත්‍රිරෝද රථ ඇතුළු සෙසු වාහනවල රියැදුරන්ව මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කර නොතිබීම බවට ඇතැම්හු චෝදනා කළහ. අදාළ චෝදනාවේ යම් කිසි සත්‍යතාවක් තිබිණි. කොහොම නමුත් අලුත් යමක් කිරීමට යෑමේදී මල්වලට වඩා එල්ල වන්නේ ගල්ය. ඊට හේතුව හොඳට වඩා නරක සෙවීමේ ජාතික සිරිත නිසාය. දෙවැනි තුන්වැනි දිනය වනවිට පළමුවැනි දින ඇතිවූ වාහන තදබදය තිබුණේ නැත. මගීන් පළමුවැනි දිනයේදී මෙන් දැඩි දුෂ්කරතාවකට පත්වූයේ ද නැත.

මගී බස් රථ ස¼දහා මෙවැනි මංතීරුවක් භාවිත කිරීම ලෝකයේ ප්‍රධාන නගර රැසක දැනටමත් ක්‍රියාත්මක වන්නකි. අත්හදා බැලීම ඵලදායක නම් කොළඹ නගරයේ සෙසු ප්‍රධාන මාර්ගවලට මේ මංතීරු හඳුන්වා දිය යුතුය. ඊට හේතුව ප්‍රවාහන ප්‍රශ්නය නිසා දිනකට අපතේ යන මිනිස් පැය ගණන විශාල වන නිසාය. වාහන තදබදයෙන් ජාතික ආර්ථිකයට පමණක් නොව මෙරට පරිසරයට සිදුවන හානියද අති මහත්ය. ඉන්ධන දහනය, වාහන ක්ෂය වීම, වායු විමෝචනය වාහන තදබදයේ අතුරු ප්‍රතිඵලය.

කිසිදු වගවිභාගයකින් තොරව මෙරටට වාහන ආනයනය කිරීමට ඉඩදී තිබේ. සාමාන්‍යයෙන් වසරකට වාහන ලක්ෂ 5කට අධික සංඛ්‍යාවක් ධාවනයට එක්වන බව ගණන් බලා ඇත. දෛනිකව මහ මඟ ධාවනය වන වාහන අති බහුතරය පෞද්ගලික වාහන ලෙස සැලකිය හැකිය. විශේෂයෙන් කොළඹ නගරයට ඇතුළු වන වාහන බහුතරය පොදු ප්‍රවාහනයට අයත් නොවේ. මීට අවුරුදු දහයකට පමණ පෙර මෙරට සමස්ත ජනගහනයෙන් 65%ක්ම පොදු ප්‍රවාහන සේවය භාවිත කළද මේ වන විට ඒ ගණන 40% දක්වා අඩුවී ඇත. පොදු ප්‍රවාහනයේ බිඳ වැටීම මේ තත්ත්වයට ප්‍රධාන හේතුව වී තිබේ.

දුම්රිය හා ලංගම නැංවීම සිදු කළ යුතු වුවද දිනෙන් දිනම එහි අපගමනයක් මිස ප්‍රගමනයක් දක්නට නොලැබේ. 1994 බලයට පැමිණි පොදුජන එක්සත් පෙරමුණ කියා සිටියේ ලංගම නැවත ස්ථාපනය කර අලුයම සිට මධ්‍යම රාත්‍රිය දක්වා බස් ධාවනය ආරම්භ කරන බවය. එහෙත් ඒ පොරොන්දු බොල් වී උඩු සුළඟට හසුවී ගියේය. දුම්රියේ සුළු ප්‍රගමනයක් තිබුණද කිසිසේත් පොදු ප්‍රවාහනය ප්‍රවර්ධනයෙහිලා ඉන් සැලකිය යුතු දායකත්වයක් ලැබී නැත. ලංගම හා දුම්රිය කාර්යක්ෂම සේවා කළ නොහැකි වී ඇත්තේ රාජ්‍ය ආයතන ලෙස ඒ ඒ ආයතනවල සේවයේ නියුතු වූවන්ගේ ක්‍රියාකාරීත්වය හා යල්පැන ගිය ඊනියා ප්‍රතිපත්ති හේතුවෙනි.

'මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්' නමින් වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ රටේ දැවෙන ප්‍රශ්නයක් ලෙස ප්‍රවාහන ප්‍රශ්නය සඳහන් කර තිබුණද තවමත් සැලකිය යුතු විසඳුමක් ලබාදීමට ආණ්ඩුවට හැකි වී නැත. 'මංතීරු වෙන් කිරීම' හොඳ අත්හදා බැලීමකි. එවැනි කෙටිකාලීන විසඳුම් සොයන අතරේ දිගුකාලීන විසඳුම් සෙවීමට උත්සුක විය යුතුය. මීට පෙර මහනුවර කේන්ද්‍ර කරගනිමින් 'සහසර' නමින් නියමු ව්‍යාපෘතියක් 2016දී ආරම්භ කළේය. එය බස් රථ අතර දෛනික ආදායම් සමව බෙදාදීමේ වැඩපිළිවෙළකි. එය සාර්ථක නම් සෙසු දිස්ත්‍රික්කවලටද හඳුන්වාදීමෙන් බස් රථ අතර ඇති අනවශ්‍ය තරගකාරීත්වය අවම කළ හැකිය. ඉන් මගී ජනතාවට සැලසෙන සෙත ඉමහත්ය.

ලංගමය වූ කලී කාලයක් ලාභ ලබන ඉතා විශිෂ්ට සේවයක් මගී ජනතාවට ලබාදුන් ආයතනයකි. 80 දශකයේ මුල පවා ලංගම කාර්යක්ෂමව ක්‍රියාත්මක වූ අතර පොදු ප්‍රවාහන සේවයක් ලෙස මගී ජනතාව ලංගම සමඟ බැඳී සිටියේය. ඉන් පැහැදිලි වන්නේ අවශ්‍ය නම් මේ පොදු ප්‍රවාහන සේවය යළි ශක්තිමත් කළ හැකි බවය. දුම්රිය සේවය පුළුල් කළ හැකි නම් ඉන් මගී ජනතාවට සැලසෙන සෙත ඉමහත්ය. මහා මාර්ග පුළුල් කිරීම, දුම්රිය මාර්ග අලුතෙන් එළීම, ගුවන් හා උමං මාර්ග ඉදිකිරීම, ගුවන් පාලම් හා උමං මගී ප්‍රවේශ ඉදිකිරීම වාහන තදබදය අවම කිරීමට ගත හැකි විකල්ප ක්‍රියාමාර්ගවේ. ඒ අතර පැලැස්තර නොඅලවා මෙරට මගී ප්‍රවාහන ප්‍රශ්නයට විසඳුම් සොයා ගත යුතුය. ගහට පොත්ත මෙන් මේ සියලු දේ එකිනෙකට සම්බන්ධය. එනිසා සියලු ක්‍රියාමාර්ග අන්තර් සම්බන්ධයක් ඇතිව ගත යුතුය. එහෙත් අවාසනාවට මෙන් මෙරට නොවන්නේද එයමය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon