දරුවන් තිදෙනකුගේ මවක් නඟන සංවේගජනක අඳෝනාවක්

  👤  2808 readers have read this article !
By mawbima 2017-03-20

ගොනාගොල්ල -
ප්‍රේමදාස අරඹේගෙදර

දෛවයේ සරදමට ලක්ව ඇති තිදරු මවක් තම දරුවන් ජීවත් කිරීමට ගන්නා වැර වීරිය පිළිබඳ අම්පාර උහන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බණ්ඩාරදූව ගම්මානයෙන් වාර්තා වේ. ඇය බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වීම සඳහා කරනා සටන පිළිබඳව අපට අදහස් දක්වන ලදී. එය ශෝචනීය කතාවකි. තිදරු මවක් වූ ටී.බී. අනුලාවතී මහත්මිය මේ පිළිබඳ මෙසේ පැවැසුවාය.

මගේ ලොකු දුව ප්‍රියන්ති ශිරෝමිට දැන් අවුරුදු 24ක් වෙනවා. ඇය උපතින්ම මන්ද මානසික තත්ත්වයේ තමයි හිටියේ. ලොකු පුතා කවිඳු ලක්මාල් එයාට අවුරුදු 14ක් වෙනවා. උපතින්ම තැලිසීමියා හා පූර්ණ ආබාධිත තත්ත්වයේ තමයි සිටියේ. දෙවැනි පුතා අසිත ලක්මාල්. එයාට අවුරුදු 13යි. එයත් තැලිසීමියා රෝගියෙක්. ඒ පුතාට මාසකට වරක් අලුත් ලේ ලබා දෙන්න ඕන. වසරකට වරක් පූර්ණ වෛද්‍ය පරීක්ෂාවක් සිදු කරන්න ඕනෑ. මෙවැනි පරීක්ෂණ හා ලේ ලබා දීම අම්පාර රෝහලේදී තමයි වැඩි වශයෙන් සිදු කරන්නේ. වෙනත් විශේෂ වෛද්‍ය පරීක්ෂණ සිදු කරන්න පේරාදෙණිය රෝහලට හරි, මඩකළපුව රෝහලට හරි යන්න සිද්ධවෙනවා. කවිඳු පුතාට සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් රුපියල් 3,000ක් ලැබෙනවා. අනෙක් දරුවන් එක්කෙනකුට රුපියල් පන්සීය බැගින් රුපියල් 1,000ක් ලැබෙනවා. සමෘද්ධියෙන් මට රුපියල් 3,000ක් ලැබෙනවා. දරුවන්ට ප්‍රතිකාර සඳහා කන බොන ඒවට ඇඳුම් පැලඳුම්වලට බස් ගාස්තුවලට විශාල වියදමක් යනවා. මට ලැබෙන දීමනාවලින් මේ සියල්ල කරගන්න බැහැ. ඒ නිසා සමහර දවස්වලට කුලී වැඩවලටත් යනවා. ඒත් හැමදාම වැඩ නැහැ.

මම කසාද බැඳලා හිටියේ ඇවැස්ස මස්සිනා. කොහොමහරි එයත් අපිව දාලා යන්න ගියා. අපි බොහොම දුෂ්කර ජීවිතයක් තමයි ගත කරන්නේ. මම නැති කාලයක මේ දරුවන්ට මොනවගේ කාලයක් යයිද කියලා බයක් හිතෙනවා. අපේ දුක බලලා මොනවා හරි ජීවත් වෙන්න ක්‍රමයක් එහෙම නැත්නම් මොනවා හරි උදව්වක් උපකාරයක් ලබා දෙන්න පුළුවන් නම් ඒක ජාති, ජාතීත් පල දෙන පුණ්‍යකර්මයක්" වන බව පැවැසුවාය.'

ඒ ඇගේ ආයාචනයයි. ඇයට උපකාර කළ හැකි යම් පරිත්‍යාගශීලියෙක් වේ නම් ටී.බී. අනුලාවතී අංක 8/2, බණ්ඩාරදුව ගොනාගොල්ල යන ලිපිනයෙන් හෝ 0771498262 දරන දුරකතන අංකයෙන් විමසන ලෙස ඇය ඉල්ලා සිටී.

සුළු මුදලකින් හෝ උපකාර කළ හැකි පින්වතෙක් වෙතොත් උහන මහජන බැංකුව (ජනජය) 189200220076554 ගිණුම් අංකයට තැන්පත් කරන ලෙස ඇය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්