තේ-රබර්-පොල්වලට ආණ්ඩුවෙන් කෝටි 150ක්

  👤  2773 readers have read this article !
By mawbima 2017-03-20

හර්ෂනී අර්සකුලරත්න

වැවිලි කර්මාන්ත ඇමැති නවීන් දිසානායකගේ විශේෂ ඉල්ලීමක් මත තේ, රබර් සහ පොල් වැවිලි බෝග සඳහා පොහොර සහනාධාර ලෙස රුපියල් මිලියන 1500ක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

ලබන ජුනි 30දාට පෙර එම ප්‍රතිපාදන වගාකරුවන් අතර බෙදාදීමට අදාළ ආයතන වෙත උපදෙස් දී ඇත.
ඒ අනුව කුඩා තේවතු සංවර්ධන අධිකාරියට රුපියල් මිලියන 900ක්, පොල් වගා කිරීමේ මණ්ඩලයට රුපියල් මිලියන 500ක්, රබර් සංවර්ධන දෙපාර්තමේන්තුවට රුපියල් මිලියන 100ක් වශයෙන් මේ ප්‍රතිපාදන වෙන්කර ඇත.

මේ සියලු ප්‍රතිපාදන 2017 වසර සඳහා වෙන්කර ඇති අතර මෙහි ප්‍රගතිය මත ඉදිරියේදීත් ප්‍රතිපාදන වෙන් කිරීමට නියමිත බව අමාත්‍යාංශය පවසයි.
කුඩා තේ වතු හිමියන් සඳහා උපරිම හෙක්ටයාරයක් සඳහා රු. 15,000කට යටත්ව පොහොර සහනාධාරය ලබා ගත හැකිය. පර්චස් 20ක තේ ඉඩමක් සහිත වගාකරුවන්ද මේ සහනාධාරයට සුදුසුකම් ලබයි.

පොල් වගාව සඳහා අක්කර කාලක අවමයක සිට අක්කර පහක උපරිමයක් දක්වා මේ සහනාධාරයට සුදුසුකම් ලබන අතර රුපියල් 9,000ක උපරිමයකට යටත්ව මූල්‍ය සහනාධාරය ලබා ගැනීමේ හැකියාව පොල් වගාකරුවන්ට හිමිවේ.
පර්චස් 20 සිට හෙක්ටයාර 02ක් දක්වා හිමිකම් පවතින රබර් වගාකරුවන්ට පොහොර සහනාධාරයට ඉල්ලුම් කළ හැකිය. උපරිම රුපියල් 5,000කට යටත්ව සහනාධාර මුදල් ලබාදීමට නියමිතය.

පොල් වගාව සඳහා පොහොර සහනාධාරය ලබාගැනීමට අයැදුම්පත් පොල් වගාකිරීමේ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ සියලුම ප්‍රාදේශීය කාර්යාල මඟින් හෝ පොල් සංවර්ධන නිලධාරීන් මඟින් හෝ ලබාගත හැකිය.
රබර් වගාව සඳහා සහනාධාර ලබාගැනීමට අදාළ අයැදුම්පත් දිවයින පුරා රබර් සංවර්ධන ප්‍රාදේශීය කාර්යාල සහ රබර් සංවර්ධන නිලධාරින් මඟින් ලබාගත හැකිය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්