රතුපස්වල සිහියට එන උඩුගම්පොළ ජල කොල්ලය

  👤  2954 readers have read this article !
By mawbima 2017-03-19

ජලය ධනයක් පමණක් නොව මිහිමත ඇති වටිනාම නිධානයද වෙයි. වතුර පොදක් නැතිව කිසිවකුට ජීවත් විය නොහැකිය. රන් රිදී, මුතු මැණික්, දේපළ කොල්ලකන යුගයක දැන් අලුත්ම මංකොල්ලය වන්නේ වතුර මංකොල්ලයයි. සියලු ජනතාව සතු මහපොළොවෙන් ලැබෙන නිධානය වූ ජලය එක් අයකු සතු වස්තුවක් කරගෙන විකුණා මුදල් බවට පත් කිරීමේ වතුර මංකොල්ලය දැන් බලපත්‍ර ඇතිවම කරගෙන යන තත්ත්වයට ඇතැම් තැන්වල පත්වී තිබේ.
ගම්පහ උඩුගම්පළ පේඩිපොල්ල, ගල්කන්ද ගම්මානවල නිවාස 360ක ළිං සිඳී ජලය නොමැතිව ගොස් ඇත්තේද එම ප්‍රදේශයේ පොදු ජනයා සතු ජලය එක් පුද්ගලයකු විසින් මංකොල්ල කාගෙන බෝතල් කළ පානීය ජලය විකිණීමේ ව්‍යාපාරයක් නිසාය.

ප්‍රදේශයේ ජනතාව පසුගිය දිනෙක මේ මහා වතුර මංකොල්ලයට එරෙහිව මහා උද්ඝෝෂණ ව්‍යාපාරයක් කළද තවමත් ඔවුනට ප්‍රශ්නයට විසඳුමක් ලැබී නැත. මේ පිළිබඳ සොයා බැලීමට උඩුගම්පළ පේඩිපොළ ගම්මානයට ගියෙමු. උඩුගම්පළ පේඩිපොළ පදිංචි සිරිල් කුමාරසිංහ අපට මෙසේ කීවේය.
මේ ගමේ වතුර බෝතල් කර විකුණන ආයතනයක් තියෙනවා. 2006 විතර මේ ආයතනය පටන් ගත්තත් ඒ කාලේ පිටින් වතුර ගෙනත් තමයි බෝතල් කළේ. ඊට පස්සේ නළ ළිං ගහගෙන මේ ගමේ මහ පොළොවේ තියෙන සේරම වතුර ටික ඇද ඇද බෝතල් කරලා විකුණනවා. මුල් කාලේ මෙහි අපද්‍රව්‍ය ගමේ පාරට මුසු කළා. ඒකට එරෙහිව ජනතාව කෑ ගහනකොට ගමේ එතකොට හිටපු ග්‍රාමසේවක කෙනෙක්ගේ වත්තේ ළිඳකට අපද්‍රව්‍ය යවන්න කටයුතු කළා. ඒකත් කරන්න එපා කියලා මිනිස්සු කීවාම ඔය අයිතිකරුම එයාගේ ජල ව්‍යාපාර ආයතනයේ වළක් කපාගෙන අපද්‍රව්‍ය ඒකට දාගන්න පියවර ගත්තා කියල හිටපු ග්‍රාමසේවක කෙනෙක් අපට කීවා.
කොහොම වුණත් දැන් ගමේ පවුල් 360කට වතුර නෑ. බොන්න වතුර ගේන්නේ පිටින්. රෑට යාපනය අනුරාධපුරය වගේ ප්‍රදේශවලින් ලොරි එනවා. ඇවිත් බෝතල් වතුර අරන් යනවා. සල්ලි හොයනවා. ගමේ මිනිසුන්ට බොන්න වතුර නෑ. ඔය ආයතනයේ නළ ළිං 3ක් තියෙනවාලු. ඒව තියෙන තැන් දන්නේ නෑ. පොළොව යටලු. ගමේ අයට ආයතනය ඇතුළට යන්න දෙන්නෙත් නෑ. බවුසර් පිටින් අපද්‍රව්‍ය එකතු වෙනවා. ඔය නළ ළිං ඉවත් කරන්න. පිටින් වතුර ගෙනත් ව්‍යාපාරය කරගන්න කියලා ජනතාව ඉල්ලුවා උද්ඝෝෂණ කළා. වැඩක් වුණේ නෑ.

පේඩිපොළ ස්වේච්ඡා සමිති 5ක් එකතු වී මේ ගැන පොලිසියට ලියුමක් භාර දුන්නා. නඩුවක් දාන්න කියලා. 17 නඩුව පවරනවා කියලා ගම්පහ පොලිසිය කියල තිබුණා. තවම ප්‍රශ්නෙ විසඳිලා නෑ.

පේඩිපොළ පද්මා මහත්මිය අප වෙත අදහස් දැක්වූයේ මෙසේය.
ගමේ කුඹුරු අක්කර 15ක් විතර වතුර නැතිව විනාශයි. ‍ෙදාඹවල දක්වාම කුඹරු යාය පාළු වුණා. ඔය ආයතනය කරන අපේ ගමේ වතුර විකිණීමට අපි විරුද්ධයි. මේ අපරාධයට එරෙහිව නීතිමය පියවර ගන්න කියලා අපි බලධාරීන්ගෙන් ඉල්ලනවා.
පී. රොහාන් පවසන්නේ මෙවැන්නකි.

මේ ප්‍රශ්නය විසඳන්න කියලා ගමම එකතු වෙලා කෑ ගැහුවා. ඒ පිකටිං කළාට පස්සේ මේ ආයතනයෙන් එළියට ගෙන යෑම තහනම් කරල තිබුණේ. මේ ආයතනය හයිටෙන්ෂන් විදුලි ලයින් එකක් ඉල්ලා තිබුණා. ජනතාව ඊට විරුද්ධ වන්නේ ඇයි ද කියලා බලන්න මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම්වරිය 13දා එතැනට ආවා ඒ ආපු වෙලාවෙත් ආයතනයෙන් එළියට අංක ඹ්ම් 8658 දරන වතුර බවුසරයක් ගියා. ගමේ සෙනඟ ඒක නවත්තලා ඇහුවා කොහෙද ගෙනියන්නේ කියලා. එතැන විදුලිබල අංශ නිලධාරියකුත් හිටියා. රියැදුරා කීවා ආයතනය හිමිකරුගේ ස්වීම්පුල් එකට වතුර ගෙනියනවා කියලා.
මිනිස්සු ප්‍රාදේශීය ලේකම්වරියගෙන් මේ ගැන ඇහුවා. මේකට මම සාක්ෂිකාරියක් නොවේ. මට අදාළ නෑ. මම ආවේ වෙනත් කාර්යයකට කියලා ඇය අපට කීවා. මීට පෙර මේ ආයතනයට එරෙහිව පවුල් 300ක් අස්සන් කරල යවපු පෙත්සම ගැන බලන්න ආපු නැති ප්‍රාදේශීය ලේකම් මේ හයිටෙන්ෂන් ලයින් එක් ගැන බලන්න ආවා. අපි මේ සිදුවීම ගැන ගම්පහ පොලිසියට ලිපියක් භාර දුන්නා.

තවත් ගම්වාසීහු කිහිප දෙනකු අපට මෙසේ අදහස් දැක්වූහ.
පහුගිය පෝයට ඉහළ උඩුගම්පල සම්බෝධි විහාරේ සිල් ගත්තු අයට බොන්න වතුර ගෙනාවේ උග්ගල්බොඩින්. ජගත් කුමාරසිංහ ඇතුළු අය තමයි වතුර ගෙනල්ල දුන්නේ. ගමේ වතුර නෑ. මේ නල ළිං ආයතනය නිසා.

ළඟදීම අර වැලිවේරිය වතුර උද්ඝෝෂණය වගේ ලොකු උද්ඝෝෂණයක් උඩුගම්පළත් වෙයි. අපට බොන්න වතුර නෑ. ළිං හිඳිලා. ගමේ පොළොවේ ජලය මේ විදියට නළ ළිං ගහලා ඇදලා විකුණන්න දෙන්න එපා. බලධාරීන් නිහඬයි. මහ බලධාරියෝ අරන් තියෙන්නේ කොම්පැනියෙ පැත්ත වගෙයි පෙන්නේ. මේ මහා ජල මංකොල්ලය නවත්වන්න යැයි ගම්වාසීහු කීහ.
ගම්පහ - කේ. ඒ. සිසිර කුමාර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්