උතුම් දළදාව සිරසෙන් දරා පියා නිවන් මඟ සොයා ඇත් රජු නික්ම ගියා

  👤  3008 readers have read this article !
By mawbima 2017-03-19

සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වශයෙන් සැලකෙන ශ්‍රීී දළදා වහන්සේ උදෙසා ශතවර්ෂාධික කාලයක සිට අඛණ්ඩව පැවැත එනු ලබන ශ්‍රී දළදා පෙරහර ශ්‍රී ලාංකික සංස්කෘතියේ හා කලාවේ ප්‍රෞඪත්වය ලොවට විදහා දක්වන හෙළ අනන්‍යතාවයේ සංකේතය වශයෙන් හැඳින්වීමේ වරදක් නොමැත.
සාම්ප්‍රදායික ආගමික වත් පිළිවෙත් සඳහා මුල් තැන දෙමින් පෞරාණික අංග සුරක්ෂිත වන ආකාරයෙන් පැවැත්වෙන මෙම හෙළයේ මහා කලා මංගල්‍යයේදී අලි, ඇතුනටද විශේෂ ස්ථානයක් හිමි වන අතර පෙරහරෙහි පූජනීය හා විශේෂිතම අංගය වන සධාතුක කරඬුව වැඩම කරවීමේ භාග්‍යය හිමි වනුයේ සද්දන්ත හෙවත් කුමරිය හස්ති කුලයේ උපත ලද මංගල හස්ති රාජයන් හට පමණක්ම වෙති. එම පින්වත් වරම හිමි කර ගත් ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තියේ ඒකදන්ත ඇත් රජු ශ්‍රී දළදා සමිඳුන්ට වසර 40කට ආසන්න නිහඬ එහෙත් දැවැන්ත මෙහෙවරක් සිදු කොට ඉකුත් මැදින් පුන් පොහෝ දින පල්ලෙකැලේ ශ්‍රී දළදා මාලිගා ඇත් ගාලේදී සියල්ලන්ගෙන් සමුගත්තේ රැස්ව සිටි සියලු දෙනාගේ දෑස් කඳුළින් තෙත් කරමිනි.

එවකට කැබිනට් අමාත්‍යවරියක වූ විමලා කන්නන්ගර මහත්මිය විසින් 1978 වර්ෂයේදී වයස අවුරුදු සයක් පමණ වූ ඒකදන්ත ඇත් පැටවා හා කණ්ඩුල නම් අලි පැටවාද ශ්‍රී දළදා මාලිගාවට පූජා කොට තිබේ. එවකට දියවඩන නිලමේ වශයෙන් කටයුතු කළ නිශ්ශංක විජේරත්න මහතා විසින් මෙම අලි ඇත් යුගළය වෛද්‍ය පරීක්ෂණයකට යොමු කළ අවස්ථාවේ හෙළිව ඇත්තේ ඒකදන්තයා උපතින්ම එක් දළයකට පමණක් උරුම කම් කී විශේෂ හස්තියකු බවය.
1979 වසරේ සිටම ශ්‍රී දළදා පෙරහරට සහභාගි වීමේ භාග්‍යය උදා කරගත් ඒකදන්ත ඇත් රජු වසර 25ක පමණ කාලයක් පෙරහර සධාතුක කරඬුව වැඩම කරවීමේ සුවිශේෂී වරමද හිමිකර ගත්තේය. කුමරිය කුලයේ උපත ලැබුවද එම අවස්ථාව හිමි වනුයේ ඉතා හොඳින් හැදී වැඩී සිටින පිට කොඳු නාරටිය පැතලිව සමතලාව පිහිටා ඇති අභිමානවත් ආකාරයෙන් හිස ඔසවා ඍජුව ගාම්භීර එහෙත් තැන්පත් සන්සුන් ගමනින් මෙන්ම තීක්ෂණ බුද්ධියෙන් යුත් ඇතුන්ට පමණක් වන අතර එම සියලු ගුණයෙන් හා කරුණා ගුණයෙන්ද අග තැන් හස්ති රාජයකු වූ ඒකදන්තයා පෙරහරට සම්බන්ධ වූයේද සධාතුක කරඬුව වැඩම කරවූයේද සියලු දෙනාගේ ආදරය නොමඳව දිනා ගනිමිනි.

ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය භාරව කටයුතු කරන ප්‍රදීප් මියනපලාව මහතා සඳහන් කළේ සද්දන්ත කුලයේ ඇත් රජෙකුට හිමි සියලු අංග ලක්ෂණ හා තීත්ෂණ බුද්ධියෙන්ද යුත් ඒක දන්ත ඇත් රජගේ දළ යුගලයම නිසි අයුරින් පිහිටා තිබුණේ නම් මෙම සත්ත්වයාට සම කළ හැකි තවත් ඇත් රජෙකු මෙරට නොමැති තරම් බවය.

එක් දළයක් පමණක් ඇති හීලෑ ඇතුන් ලංකාවට හිටියේ තිදෙනෙක් පමණයි. මල්වතු මහ විහාරයේ සින්ධු, ටියුඩර් ගුණසේකර මහතාට අයත් කණ්ඩුල හා දළදා මාලිගාවේ ඒක දන්ත යන ඇතුන්ගෙන් ඒකදන්ත විශේෂිත වූයේ එම හස්තියා සතුව තිබූ තේජස් භාවයයි. කොතෙක් අලි ඇතුන් දළදා පෙරහරේ ගමන් කළත් දළදා පෙරහර මංගල්‍ය සාර්ථක කර ගැනීම සඳහා සුවිශේෂී එහෙත් නිහඬව මහා මෙහෙවරක් සිදු කළ හස්තියා ඒක දන්ත බව මම නොපැකිළ සඳහන් කරන්න කැමැතියි යනුවෙන්ද මියනපලාව මහතා සඳහන් කළේය.

ඒකදන්ත හා කණ්ඩුල ශ්‍රී දළදා මාලිගාවට පූජා කන කොට මාලිගාවේ ඉඳල තියෙන්නේ ඉතාමත් සුළු අලි ඇත් සංඛ්‍යාවක් පමණයි. නමුත් මේ දෙන්නා මාලිගාවට පැමිණි පසුව එම ඇත් පන්තියේ සීග්‍ර වර්ධනයක් සිදුව තිබෙනවා. පෙරහර කරඬුව වැඩම කරවන්න සූදානම් කොට ඉන්න ඇතුන් විවිධ හේතූන් මත ඉන් ඉවත් කිරීම සිදු වුවහොත් සැමදාම ඒ වෙනුවට කරඬුව වැඩම කිරීමේ වගකීම දරන්න ඒකදන්ත සැදී පැහැදී සිටියා යැයිද ඒ මහතා කීය.

පෙරහර දහය වීදි සංචාරය කිරීමෙන් පසුව ඊට සහභාගි වූ අලි, ඇතුන් දැඩි වෙහෙසට පත් වෙලයි ඉන්නේ. දවල් පෙරහරට අලි, ඇතුන් සහභාගි කර ගැනීම විශාල ප්‍රශ්නයක්. ඒ වෙලාවට අපට පිහිටට ඉන්නේ ඒකදන්ත ඇතායි. කොතරම් මහන්සි වුණත් ඒකදන්ත මහන්සි නොබලා දවල් පෙරහරේ කරඬුවත් වැඩම කරවනවා. 2007 වසරේ ඒකදන්ත අපි යොදවල තිබුණේ කතරගම දේවාලයේ දේවාභරණ වැඩම කරවීමටයි. එදා දළදා පෙරහරේ සධාතුක කරඬුව වැඩම කරන්න සිටි ඉන්දි රාජා හදිසියේ අසනීප වුණා. නැදුංගමුව රාජා ඇතාගේ ඇත් ගොව්වට අසනීප වෙලා. ගංගාරමෙ ඇතාත් මද කිපිලා. නැකතට විනාඩි 20කට වඩා නැහැ. බාගෙට නිලමේ ඇඳුම ඇඳගෙන හිටපු දෑල නිලමේ තුමා කලබලෙන් කීවා ඒකදන්ත ගෙනැල්ල කරඬුව වැඩම කරන්න කියලා. අපි බලන කොට ඒකදන්තට කතරගම දේවාලෙ රන්සිවි ගෙයත් බැඳලා තිබුණා. අපි වහාම ඒක ගලවල කතරගම දේවාලෙට අලියෙක් දීල ඒක දන්ත මාලිගාවට අරගෙන ආවා. අපේ කලබලය ඉවෙන් වගේ දැනගත් ඒක දන්ත එයාගේ සන්සුන් ගමන් විලාශයෙන් මිදිල කඩිනමින් මාලිගාවට ඇවිල්ල නියමිත නැකතට කරඬුව වැඩම කළා.

තැන්පත් නුවණින්, උප ශාන්ත ගමනින්, සන්සුන් මනසින්, තීක්ෂණ බුද්ධියෙන් හා කරුණා ගුණයෙන්ද ඉහළම තලයේ සිටි එක්දන්ත ඇතු කරුණා ගුණයෙන්ද අග තැන්පත්ව හිටියා. කිසිම දිනයක කිසිම කලබලයක් කරල නැහැ. අලි බලන්නන්ට පහර දීල නැහැ. මද කිපුණත් එයා බලපු සරත් පුෂ්ප කුමාර බය නැතිව ඇතා ළඟට යනවා. වෙන අලි ඇතුන් මද කිපීම අවසන් වන්න මාස 04 - 06 අතර කාලයක් ගත වුණත් ඒක දන්තගේ මද කිපීම මාස 02 - 03න් අවසන් වෙනවා. ඒකදන්ත අහිමිවීමෙන් අපි දැන් පෙරහර කිරීමේ විශාල අභියෝගයකට මුහුණ පා ඉන්නවා. මෙවර පෙරහර නැකැත් අනුව මහනුවර, කතරගම, දෙවුන්දර පෙරහර එකම දිනයන්හි තමයි පැවැත්වෙන්නේ. විශාල හස්ති හිඟයකට අපිට මුහුණ දෙන්න අනිවාර්යයෙන්ම සිදු වෙනවා. දළදා මාලිගාවේ ඉන්දි රාජා, සිංහ රාජා ඇරුණම වෙන ඇත්තු නැහැ. බුරුම ඇත්තු මේ කාලයට මද කිපෙනවා. මේ සියලු අභියෝගයන්ට තිරය පිටුපස ඉඳගෙන මුහුණ දෙන වීරයා තමයි ඒකදන්ත. එකම විකල්පය ඒකදන්ත අද අපිට හිමි වෙලා යැයිද මියනපලාව මහතා පැවැසීය.

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇත් පන්තිය නියෝජනය කරමින් අඛණ්ඩව වසර 40ක පමණ කාලයක් මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ගාම්භීරත්වයක් එක් කළ ඒකදන්ත ඇත් රජුගේ මරණය අන්ත්‍රවල සිදුවූ අධික රුධිර වහනය හා රුධිර කැටි ගැසීම හේතුවෙන් සිදුව තිබෙන බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත.

කුණ්ඩසාලේ, පල්ලෙකැලේ පිහිටි ශ්‍රී දළදා මාලිගා ඇත් ගාලේදී ඒකදන්ත ඇතාගේ මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අතර එයට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ මෙන්ම වන ජීවී දෙපාර්තමේන්තුවේද පශු වෛද්‍යවරු සම්බන්ධ වූහ.
ඒකදන්ත හස්තියාගේ අන්ත්‍ර කොටස්වලට අමතරව සෙසු ඉන්ද්‍රියන්ගේ සංකුලතා දක්නට නොතිබූ බවත් එම ශරීර කොටස් වැඩිදුර පරීක්ෂණ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේදී සිදු කිරීමට නියමිත බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාල පශු වෛද්‍ය පීඨයේ වෛද්‍ය ආචාර්ය කවීන්ද්‍ර ජයසුන්දර මහතා පැවැසීය.
වසර ගණනාවක් ඇසළ පෙරහර මංගල්‍යයේ සධාතුක කරඬුව වැඩම කිරීමේ භාග්‍යය ලද ඒකදන්ත ඇත් රජු ඉකුත් මැදින් පුන් පෝ දින මරණයට පත්වූ අතර ඇතාගේ අවසන් කටයුතු 13 දින දළදා මාලිගා ඇත් ගාලේදී සිදු කෙරුණි.

ඒක දන්ත හස්තියාගේ අවසන් කටයුතු සිදු කිරීමට පෙර පල්ලෙකැලේ ඇත් ගාල වෙත වැඩම කළ මල්වතු - අස්ගිරි මහා සංඝ රත්නය ආගමික වතාවත් සිදු කොට, මතක වස්ත්‍ර පූජා කර පාංශුකූලය ලබාදී ඇත් රජුට පින් පෙත් පැමිිණවීමට කටයුතු කළහ.

දළදා සමිඳුන් උදෙසා විශේෂ මෙහෙවරක් සිදුකොට අවසන් ගමන් ගිය ඒකදන්ත ඇත් රජුගේ අගය කිසි ලෙසකින්වත් වදන් කළ නොහැකි බවත්, ඇත් රජු නොමැති අඩුපාඩුව කිසිම අයුරකින් හෝ පිරිමැසිය නොහැකි බවත් ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සඳහන් කරයි.
මහනුවර - කමල් සුරවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්