වූෂු නොදන්න ළිං මැඩියන්ගෙ නාටක ගැන කලබල විය යුතු නැහැ වූෂු සම්මේලනයේ ප්‍රධාන විධායක නිලධාරි මානෙල් ධර්මකීර්ති

  👤  3206 readers have read this article !
By mawbima 2017-03-19

ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ ප්‍රථම සහ වත්මන් ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන්නේ මානෙල් ධර්මකීර්ති මහතාය. ශ්‍රී ලංකාවේ වූෂු පරිපාලනය වෙනුවෙන් ශ්‍රී ලංකා වූෂු සම්මේලනය ස්ථාපිත කළ 1993 වසරේදී එහි ආරම්භක මහ ලේකම්වරයා ලෙස කටයුතු කළ මානෙල් ධර්මකීර්ති මහතා ඉන් පසුව සභාපතිවරයා ලෙසත්, ලේකම්වරයා ලෙසත් වරින් වර වූෂු පරිපාලනයට උරදී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ වූෂු පරිපාලනයට අදාළව වර්තමානයේදී එල්ල වී අති යෝජනා හා චෝදනා මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳවද විමසීමට "මව්බිම" මානෙල් ධර්මකීර්ති මහතා හමු වුණෙමු.

ශ්‍රී ලංකා වූෂු සම්මේලනයේ සිටින පැරැණිතම පරිපාලකයා ලෙස මෙරට වූෂු ක්‍රීඩාවේ වත්මන් ක්‍රියාකාරිත්වය ගැන සෑහීමකට පත්වෙනවද?

ශ්‍රී ලංකා වූෂු සම්මේලනය කියන්නේ අද ලංකාවේ ක්‍රියාත්මක වන ක්‍රීඩා පරිපාලන ආයතන අතරින් ඉතා හොඳම ක්‍රියාකාරිත්වයක් තිබෙන සංගමයක්. අපට පසුගිය කාලේ විශාල ජාත්‍යන්තර තරග ප්‍රමාණයක් තිබුණේ නැහැ. හැබැයි තිබුණ ජාත්‍යන්තර තරගවලදී අපි ඉතා හොඳ දක්ෂතා පෙන්වල තියෙනවා. උදාහරණයක් විදියට පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල. ඒ සඳහා ලංකාවෙන් ක්‍රීඩා විසි ගණනකට සහභාගි වුණා. ඉන් ක්‍රීඩා 5කට පමණයි රන් පදක්කම් දිනා ගන්න හැකියාව ලැබුණෙ. අපිත් ඒ රන් පදක්කම් දිනපු ක්‍රීඩා 5 අතර ඉන්නවා. ඒ වගේම අනෙක් ජාත්‍යන්තර තරගවලදී වුණත් හොඳ මට්ටමක හිටියා. 2016 තිබුණ ලෝක සන්ධා කුසලාන වූෂු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් දෙදෙනකු සහභාගි වුණා. ඒ දෙන්නාම ලෝකඩ පදක්කම් දිනා ගත්තා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩා උළෙලකට වූෂු පළමු වතාවට 2016 වසරේදී ඇතුළත් කරලා ලංකාවේ පළාත් 9ම තුළ සාර්ථක වූෂු තරගාවලියක් පවත්වන්නට හැකියාව ලැබුණා. මේවා කවදාවත් කලින් සිදුකළ දේවල් නොවෙයි. අපේ මූලික පරමාර්ථ විදියට මේ වෙනකොට දකුණු ආසියානු, ආසියානු, ලෝක ශුරතා ලෝක සන්ධා (ද්වන්ධ සටන්) කුසලාන ආදී සෑම තරගාවලියකම අපි පදක්කම් දිනල, තියෙනවා.

ආසියානු ක්‍රීඩා

උළෙලකට සහභාගි
වෙලා තියෙනවාද?

ඔව්. පදක්කම් දිනල නැහැ. ඊට හේතුව හරි සහභාගිත්වයක් ලැබිල නැහැ. 2002 සිට සහභාගි වෙලා තිබුණත් ඒ හැම වාරයකදීම අපට ලැබෙන්නෙ එක් ක්‍රීඩකයකුට හෝ දෙදෙනකුට පමණක් සහභාගි වීමේ අවස්ථාවයි. ආසියානු ක්‍රීඩා උළෙල වැනි ඉතා ඉහළම තරගකාරිත්වයක් තිබෙන තරගාවලියක කෙනෙක් හෝ දෙන්නෙක් ගිහිල්ල ජයග්‍රහණ ලබා ගන්න අපහසුයි. අපේ මීළඟ ඉලක්කය 2018 ඉන්දුනීසියාවේ තිබෙන ආසියානු ක්‍රීඩා උළෙලේදී ලෝකඩ හෝ රිදී පදක්කමක් හෝ දෙකක් දිනා ගැනීමයි.

ඔය කියන ඉලක්කයන්ට යන්න තිබෙන සැලසුම් මොනවාද?

අපි මේ සම්බන්ධව ක්‍රීඩා අමාත්‍යාංශයට හා ගරු ඇමැතිතුමාට දන්වලා තියෙනවා. හිටපු වූෂු ක්‍රීඩකයකු ලෙස අපිට අවශ්‍ය සහයෝගය එතුමාගෙන් ඉල්ලලා තියෙනවා. මේ සහයෝගය දැන් සිටම ඉදිරියට ලැබෙනවා නම් හොඳයි. අපි ඉල්ලා සිටින්නේ 2018 වන තෙක්ම පුහුණු කටයුතු කරන්න චීන ජාතික පුහුණුකරුවන් දෙන්නෙක් (සන්දා හා තාඔලු) ඕන. ඊළඟට ක්‍රීඩා උළෙලට මාස 6කටවත් කලින් හත් දෙනකුගෙන්වත් (සන්දා 5ක් හා තාඔලු 2ක් ලෙස) කණ්ඩායමක් චීනයේ පුහුණුවට යවන්න ඕන ආසියාතික තරගාවලිය තෙක්ම. ඒ වගේම පළාත් සංවර්ධන වැඩපිළිවෙළක් ඉතා මෑතකදී පටන් ගත්තා. ඒක සන්ධා හා තාඹලු අංශ දෙකෙන්ම සිදුකරන වේගවත් වැඩසටහනක්.

දැන් ඔබේ වර්තමාන තනතුර හා කාර්යභාරය පිළිබඳව විස්තරයක් කළොත්.

2015දී තිබුණ වාර්ෂික මහා සම්මේලනයේදී තේරී පත්වූ විධායක සභාව විසින් මා ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කළා. එහිදී සම්මත කරගන්නා ලද ව්‍යවස්ථාවට අනුව නව තනතුරක් ලෙසයි එම පත්වීම ලැබුණේ. මොකද කලින් තිබුණ ක්‍රීඩා පනතේ සංශෝධනවලට අනුව මට තරග කරන්න බැරි වුණා.
ඔබ මෙරට වූෂු ක්‍රීඩාව ගැන ඔය විදියට කතා කළත් ශ්‍රී ලංකාවේ වුෂු ක්‍රීඩාව පවතින්නේ බංග්ලාදේශයටත් වඩා පහළින් කියල සමහරුන්ගෙ මතයක් තියෙනවා නේද?
පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේදී බංග්ලාදේශය එකම රන් පදක්කමක්වත් දිනාගත්තෙ නැහැ. අපට රන් හා රිදී එක බැගින් තියෙනවා. ලෝකඩ පදක්කම් 4ක් තියෙනවා. බංග්ලාදේශයට වඩා අපි පහළින් ඉන්නවා කියන මහත්වරු බංග්ලාදේශය ගැන දන්නෙත් නැහැ. වූෂු ගැන දන්නෙත් නැහැ.

ඔබ ඇවිල්ලා තනතුරු හදාගෙන වූෂු සම්මේලනය තුළ ඒකාධිපතියෙක් වගේ වැඩ කිරීම නිසාම මේ රටේ වූෂු ක්‍රීඩාව අවුරුදු 40කින් ආපස්සට ගිහිල්ල කියලා ඔබට චෝදනා එල්ල වෙනවා?

ඔය කියන මහත්වරුන්ට මම කියන්න ඕනෑ ලංකාවේ වූෂු ක්‍රීඩාව අවුරුදු 40ක් ක්‍රියාත්මක වෙලත් නැහැ. ඔය කියන මහත්වරු ලංකාවේ වූෂු ක්‍රීඩාව ගැන දන්නෙත් නැහැ. ඉස්සර බෘෘස්ලි ගාව තිබුණ ජෙට් කුන්ඩෝ කියන ක්‍රීඩාවක් කරපින්නාගත් බයිල කාරයෝ ටිකක් තමයි මේ කතා කියන්නෙ. ජෙට් කුන්ඩෝ කියල කිසි දෙයක් විධිමත්ව මේ අය ඉගෙන ගෙනත් නෑ. නිකන් ෆිල්ම් බලල වංචාවක් කරන අමු වංචාකාරයෝ ටිකක් මේ. අපි 1980 ගණන්වල සිට චයිනීස් කුන්ෆු නමින් කරගෙන ගිය මේ ක්‍රීඩාව ක්‍රීඩා අමාත්‍ය නන්ද මැතිව් මහතාගෙ කාලයේදී මමත් ප්‍රසන්න ජයවීර මහතාත් එකතු වෙලා ශ්‍රී ලංකා වූෂු සම්මේලනය පිහිටෙව්වා. මේ රටට වූෂු ක්‍රීඩාව ගේන්න මූලික වැඩ කොටස කළේ අපි දෙන්නා. 2000 වසරේදී ටී. බී. ඒකනායක මැතිතුමාගේ සහභාගිත්වයෙන් අන්තර් පාලන කමිටුවක් පිහිටුවලා එදා සිට මේ රටේ වූෂු ක්‍රීඩාව නිවැරැදි තැනකට ගෙන ගියා. වූෂු ක්‍රීඩාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකට පළමු වතාවට 2006දී ඇතුළත් කළේ මගේ මූලිකත්වයෙන්. අපි ඒකෙ වූෂු ශුරතාව දිනාගත්තා. එතැන් සිට 2015 දක්වාම විශාල ජයග්‍රහණ ප්‍රමාණයක් ලබා ගත්තා.

එවකට වූෂු සම්මේලන සභාපති තනතුරු දැරුවෙ ඔබද?

මම මහ ලේකම් සහ සභාපති තනතුරු විටින් විට දැරුවා. ඔය කතා කරන ළිං මැඩියෝ ටික දෙනා වූෂු වෙනුවෙන් මාලදිවයිනටවත් ගියපු අය නෙවෙයි. අපි කරපු දේවල් ලබාගත් ජයග්‍රහණ ඕනෑ තරම් වාර්තාවල තියෙනවා. අද වනවිට දකුණු ආසියාවේ වැඩිම අන්තර්ජාතික වූෂු විනිසුරුවන් ඉන්නෙ අපේ රටේ. වැඩිම අන්තර්ජාතික පුහුණුකරුවො ඉන්නෙ අපේ රටේ. ජාතික පුහුණුකරුවන්ගේ විනිසුරුවන්ගේ, ක්‍රීඩකයන්ගේ කවුන්සිලයක්වත් තිබුණෙ නැහැ. මේ රටේ මේ සියල්ල හදල ක්‍රීඩාව විධිමත් පරිපාලනයකට දැම්මේ මමයි.

නමුත් වූෂු විනිසුරුවන්ගේ කවුන්සිලයේ සභාපතිවරයා විදියට කටයුතු කරන්නෙත් ප්‍රධාන විධායක නිලධාරියා වන ඔබමයි. මෙතැන යම් සදාචාරාත්මක ගැටලුවක් මතුවෙනවා නේද?

නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව ජාතික විනිසුරු කවුන්සිලයේ සභාපති ධුරයට පත්වීම සඳහා ඔහු අන්තර්ජාතික වුෂු විනිසුරුවරයෙක් විය යුතුයි. මම 2001 සිට අන්තර්ජාතික වූෂු විනිසුරුවන් අතර 'ඒ' ශේ්‍රණියේ විනිසුරුවෙක්. ඒ වගේම අන්තර්ජාතික වුෂු සම්මේලනයේ විශිෂ්ට විනිසුරුවන්ගේ (ඡ්තඪබඥ ර්ථීචදඥත) එකේ ඉන්න එකම දකුණු ආසියානු විනිසුරුවරයත් මමයි. අද වනවිට මම 2008 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඇතුළු ලොව තිබූ සියලුම වූෂු තරගාවලියන්ට ආරාධිත විනිශ්චයකාරයෙක් විදියට සහභාගි වෙලා තියෙනවා. ඒ අනුව මෙහි ඉන්න ඉහළම සුදුස්සා ලෙස මාව විනිසුරු කවුන්සිලයට පත්කරල තිබෙන්නෙ.
පත්වීම ගැන ප්‍රශ්නයක් නොවෙයි. තනතුරු දෙකම දරා සිටීමෙන් යම් අක්‍රමිකතා සිදුවෙන බවට චෝදනා තියෙනවා නේද?
එහෙම වෙන්න විදියක් නැහැ. මම කරන්නේ විනිසුරුවන්ගේ කළමනාකාරිත්වය පාලනය කිරීමක් නේ. මම පුහුණුකරුවෙක් වුණා නම් ඔය චෝදනා හරි. මම ආසියානු වූෂු සම්මේලනයේ තාක්ෂණික කමිටුවෙත් සාමාජිකයෙක්.

ඔවැනි චෝදනා ජාතික විනිසුරු කවුන්සිලයෙන් කවදාවත් මට එල්ල වෙලා නැහැ, ක්‍රීඩකයන්ගෙනුත් නෑ. ඔහොම චෝදනා කරන්නෙත් අර රිළා නැටුම් වගේ ඉන්න අර නැටුම් ජෙට් කුණ්ඩු සෙට් එක තමයි
පසුගිය සාග් උළෙලෙදිත් තෝරා ගැනීම් වලදී ඔබගේ ඒකාධිපතිත්වය පාවිච්චි කළා කියලත් පැවසෙනවා?

ඇත්ත කියනවානම් තේරීම් තරග පවත්වන්නෙ මම නොවෙයි සම්මේලනයයි. ඒ සඳහා තේරීම් පටිපාටියක් තියෙනවා. ගරු ඇමැතිතුමා පත්කළ තේරීම් කමිටුවක් ඉන්නවා. පසුගිය සෑම අවස්ථාවකදීම වූෂු තේරීම් වලදී අවම වශයෙන් කිසිම අභියාචනයක් පවා පැමිණියේ නෑ. ඉතින් කොහොමද බලපෑම් එල්ල වුණා කියන්නේ?
ඔබේ පිරිපාලන හැකියාව වූෂු ක්‍රීඩාව තුළ ආයුධයක් කරගෙන නැහැ.

මගේ පරිපාලන හැකියාව යොදවා ගෙන තියෙන්නෙ බිංදුවෙ තිබුණ ක්‍රීඩාවක් උඩට ගේන්න පමණයි. මම පෞද්ගලික අංශයේ ඉහළ පරිපාලන නිලධාරියෙක්. ඒ හැම දැනුමක්ම මම මේ වුෂු ක්‍රීඩාවේ දියුණුවට යොදවනවා. අනෙක මේ හැම ප්‍රශ්නයක්ම මතු කරන්නෙ ඡන්දයක් ළං වෙන විටයි. නිලවරණයක් ආසන්න වෙන කොට නිදාගෙන හිටපු අලස පිරිස් නැඟිටලා මොකක් හරි මාධ්‍යයක් අල්ලගෙන මේ වගේ දඟලනවා. ඒ හැරුණාම කිසිම ක්‍රීඩකයෙක් හෝ නිලධාරියෙක් අපට චෝදනා කරන්නෙ නැහැ.

ඔබේ තනතුර පාවිච්චි කරමින් වූෂු සම්මේලනය තුළ පමණක් නොව ක්‍රීඩා අමාත්‍යාංශයේත් යම් නිලධාරින් තමන්ට නතු කර ගනිමින් වූෂු ක්‍රීඩාවේ පරිහානියට ඔබ කටයුතු කරනවා කියලා සතිඅන්ත පුවත්පතක් ඔබ එල්ල කර ගනිමින් චෝදනා කර තිබුණා.

මේ චෝදනා කරන්නේ ප්‍රධාන ප්‍රවාහයේ තිබෙන ජනමාධ්‍ය හෝ පුවත්පතක් නොවෙයි. මෙවැනි චෝදනා දිගින් දිගටම කරන්නෙ එක්තරා බංකොලොත් පුවත්පතක නිහීන පත්තරකාරයෙක්. මේ කියන පුවත්පතෙත් හොඳ මාධ්‍යවේදියෝ ඉන්නවා තමයි නමුත් මේ මඩ ලියන ඔහුට කොන්ද පණ නැහැ නම දාලා ලියන්න. විශේෂ ලියුම්කරුවෙක් කියලා මඩ ගැහුවත් මේ ලියන පුද්ගලයා මම හොඳින් දන්නවා. ඔහුගේ නම සඟවාගෙන ලියන්නේ.අපේ සදාචාරය ගැන කතා කරන මොහුට සදාචාරයක් නැහැ.

තමන්ගේ බිරියයි දරුවෝ දෙන්නයි අත්හැරලා දාල ජීවත් වෙන මොහු තම දරුවන් බඩගින්නේ තියන බවට මොහුගේ බිරිය පොලිසියේ පැමිණිල්ලක්ද කළා. එසේ පැමිණිලි කළ බිරිය දිනක් අප ආයතනයටම පැමිණ ළමුන් දෙන්නා අසරණව සිටින බවත්, බඩගින්නේ සිටින බවත් කියා ප්‍රකාශ කළා. මේ වගේ නිහීන පුද්ගලයන්ට සමාජයේ හොඳින් ජීවත් වන අය ගැන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. මොහුට තියෙන ප්‍රශ්නය මගේ ළමයි ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන එක. ඇත්ත මගේ දරුවන්ට ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය තියෙන එකත් ඇත්ත. මටත් එහි ස්ථිර පදිංචිය තියෙනවා. "ච්ඪඵබඪදඨභඪඵඩඥඤ ඊචතඥදබ අඥඵඪඤඥදබ" කියන ලෝකයේ විශේෂ දක්ෂතා ඇති පුද්ගලයන් ඒ රටවලට ගෙන්වා ගැනීමේ වැඩසටහන අනුව මටත් ඒ අවස්ථාව ලැබුණා. හැබැයි මම අදත් ලංකාව අත නොහැර මගේ දක්‍ෂතා මේ රට වෙනුවෙන් පුද කරමින් තවම ලංකාවේ පදිංචිවෙලා ඉන්නවා. ඔය වගේ සදාචාරයක් නැති, පිටපත් අඩු ප්‍රමානයක් ගහන පුවත්පතක සල්ලාල පත්තරකාරයෙක් ඔහොම කීවාට වෙනත් කිසිදු මාධ්‍යයකින් එවැනි මඩ කතා ප්‍රචාරය කරල නැහැ.

ඔබ කෙසේ කීවත් ඔබේ පරිපාලනයට එරෙහිව ක්‍රීඩකයන් හා පරිපාලකයන් ඇතුළතින්ම ඔබට එරෙහිව කැරැලි ගහන්න සූදානමක් තියනවා කියන්නේ?
කොහේද ඔය කියන කැරැල්ල තියෙන්නේ?. එහෙම නම් සියලුම ජාතික සංචිතයේ ක්‍රීඩකයන් කළමනාකරුවන් ක්‍රීඩා අමාත්‍යාංශයට ගෙන්වලා සොයා බලන්න පුළුවන්. එහෙම මට එරෙහිව ඔවුන්ගෙන් චෝදනාවක් නැහැ.

මානෙල් කල්ලියක් බිහිකරල තියෙනවා කියන්නෙ?
එහෙම කල්ලියක් නැහැ. මානෙල් හැම කෙනෙක් එක්කම වැඩ කරනවා. මම මේ ක්‍රීඩාව වෙනුවෙන් වැඩ කරනකොට මා සමඟ සිටි අය ඉවත් වෙලා තියෙනවා. හේතුව අපි යන වේගයට ඔවුන්ට වැඩ කරන්න බැහැ. පිටිපස්සේ සිට පිහියෙන් අනින, වැඩ බැරි ටාසන්ලත් ඉන්නවානේ. හැම නිලවරණ කාලෙදි ඔය වගේ චෝදනා කරපු අය හිටියා. මෙතැන තිබෙන්නේ පෞද්ගලික කෝන්තරයක් මිස වෙන දෙයක් නොවෙයි.

ඔබ සම්මේලනයේ මීළඟ මහ සභා රැස්වීම කවදාද?
අපේ විශේෂ මහ සභා රැස්වීමක් මේ මස 25දා තිබෙනවා.

ඔබට මෙතෙක් අවනත කරගන්න බැරි වූ පාසල් වූෂු සංගමය යටපත් කරගැනීමට අවශ්‍ය පරිදි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් එහිදී සම්මත කරගන්නට උත්සාහයක් තියෙනවාද?

මේවා ඔය රිළා නැටුම් කල්ලියේ මෝඩ අදහස්. දයාසිරි ජයසේකර ඇමැතිතුමා ගෙනාව නව ක්‍රීඩා රෙගුලාසි අනුව පාසල් සංගම්වල කටයුතු මවු සංගමය හා වැඩකටයුතු කිරීමට අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට සිදුවෙනවා. ඒක කරන්නෙ නව ක්‍රීඩා රෙගුලාසි අනුවයි. මීට කලින් පාසල් වූෂු සංගමය සමඟ ප්‍රශ්න තිබුණත් දැන් එහෙම නැහැ. එහි සභාපතිතුමත්, ලේකම්තුමත් අපි සමඟ සමීපව වැඩ කරනවා. පසුගිය පාසල් වූෂු තරගාවලියට අපේ සම්පූර්ණ සහයෝගය දුන්නා. ඒ නිසා මෙවර ඉදිරි නිලවරණයේදීත් අපි 7න් 6ක බලයක් ලබා ගන්නවා.

ඔබට විධායක නිලධාරියා විදියට හැමදාමත් රැඳී ඉන්නට හැකි පරිදි වූෂු සම්මේලන ව්‍යවස්ථාව සකස් කරගෙන තිබෙනවා කියන චෝදනාවට?
මේ ප්‍රධාන විධායක නිලධාරි තනතුර අපට අවශ්‍ය වුණේ ස්වේච්ඡාවෙන් වැඩ කරන අය පමණක් මේ තැන්වල සිටි නිසයි. 2015 මහ සභා රැස්වීමේදී කළමනාකරණය ගැන දැනුමක් ඇති අය අවශ්‍යව තිබුණා. එදා ඒකච්ඡන්දයෙන් සම්මත වූ ව්‍යවස්ථාවේ මේ තනතුර තිබුණා. මේ චෝදනා කරන අයත් ඒකට ඡන්දය දුන්නා. මම හැමදාම මේ තනතුරේ ඉන්නවද නැද්ද කියන එක ඊළඟට පත්වෙන විධායක සභාව තීන්දු කරයි.

ජගත් කල්දේරා කියන පුද්ගලයා ක්‍රීඩා අමාත්‍යවරයාට පැමිණිලි කර තිබෙනවා වූෂු සම්මේලනයේ ජාතික පුහුණුකරු හා ලේකම්වරයා ඉවත් කරන්න කියලා. ඒ ගැන ඔබේ අදහස කුමක්ද?

ජගත් කල්දේරා කියන්නෙ ජාතික පුහුණුකරුටවත්, ලේකම්ටවත් තියා ඉතා පහළම මට්ටමේ ක්‍රීඩකයකුටවත් අභියෝග කරන්න දැනුමක් සහ හැකියාවක් තිබෙන කෙනෙක් නෙවෙයි. අපේ ජාතික පුහුණුකරු කපිල සභාපති මහතා අන්තර්ජාතික වූෂු සම්මේලනය යටතේ වූෂු පුහුණුකරු පාඨමාලාවන් දෙකක් සමත් වූ කෙනෙක්. චීනයේ ජාතික පුහුණුකරුවන් සමඟ විශේෂ පුහුණුවක් ලද කෙනෙක්. ඒ වගේම අන්තර්ජාතික වුෂු විනිසුරු (සන්ධා අංශයේ) හා තරග තීරකවරයෙක් විදියට කටයුතු කරන කෙනෙක්. ඒ වගේම ලේකම්වරයා විදියට කටයුතු කරන රුචිර බෝධිනාගොඩ අන්තර්ජාතික වූෂු විනිසුරු (තඹලු) පාඨමාලාවේ 'ඒ' ශේ්‍රණිය සමත් අන්තර්ජාතික විනිසුරුවරයෙක්. ඒ වගේම අන්තර්ජාතික පුහුණුකරු පාඨමාලාවක් චීනයේදී සමත් වූ කෙනෙක්. මේ දෙදෙනා සම්බන්ධව කල්දේරා වැනි උග්‍ර ජාතිවාදියෙක් හා කිසි දිනෙක වූෂු විධිමත්ව හැදෑරුවෙක් නොවන කෙනෙක් පැමිණිලි කිරීම විහිළුවක්. වූෂු ක්‍රීඩාවේ යෙදෙන බොහෝ රටවල් මුස්ලිම් රටවල්. මොහුගේ මුහුණු පොතට ගිහිල්ල බැලුවොත් මොහුගේ ජාතිවාදිකම පිළිබඳ පැහැදිලි සාක්ෂි තියෙනවා. ජාතික පුහුණුකරු මොහුට ඔහුගේ වුෂු දැනුම උරගා බලන්න ද්වන්ද්ව සන්දා සටනකටත් අභියෝග කළා. ඒකෙන් පැනලා ගිහින් හැංගිලා ඉන්නෙ. ඉතින් මෙවැනි ක්‍රීඩාවේ සංහිඳියාව නැති කරන පුද්ගලයන්ගේ චෝදනා ගැන කවුරුත් කලබල විය යුතු නැහැ.

සූමේධ කරුණාමුනි
ඡායාරූප -
වෙනුර චන්ද්‍රමලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon