15දා ලෝකෙටත් අපේ ක්‍රිකට්වලටත් අමතක නොවන දවසක්

  👤  3041 readers have read this article !
By mawbima 2017-03-19

පසුගිය 15 වැනිදා එනම් 2017 වසරේ මාර්තු මස 15 වැනිදා ජාත්‍යන්තර ක්‍රිකට් කරළියට සුවිශේෂී දිනයක් විය. මන්ද යත් පසුගිය මාර්තු 15 වැනිදා යනු ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට වසර 140ක් සපිරුණු දිනයයි.

එය අපට එතරම් වැදගත් නොවූවත් අසල්වැසි රටක් වූ බංග්ලාදේශ කණ්ඩායම, අප මාතෘ භූමියේ සංචාරයක යෙදෙමින් අපගේ ජාතික කණ්ඩායම සමඟ ඔවුන්ගේ 100 වැනි ටෙස්ට් තරගයට සහභාගි වීම නිසාදෝ අපටද පසුගිය මාර්තු 15 වැනි දින සුවිශේෂී දිනයක් විය.

1877 වසරේ මාර්තු මස 15 වැනිදා ලොව පළමු ටෙස්ට් තරගයට මුල පිරුණේ ක්‍රිකට් උපන් එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර වුවත් එම මංගල ටෙස්ට් තරගයට ඉඩ හසර සැකසී තිබුණේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේදීය. තර්ක ශාස්ත්‍රය අනුව ලොව පළමු ටෙස්ට් නායකයකු හැටියට එක් අයකුට පමණක් කිරුළු පැලඳිය නොහැක්කේ තරගයක් ක්‍රීඩා කිරීමට නම් කණ්ඩායම් දෙකක් සහ ඊට නායකයන් දෙදෙනකුද සිටිය යුතු නිසාවෙනි. ඒ අනුව ලොව මංගල ටෙස්ට් නායකයන් දෙපළ වූ එංගලන්තයේ ජෙම්ස් ලිලීවයිට් සහ ඕස්ට්‍රේලියාවේ ඩේව් ගේ‍රගරි දෙපළ විසින් උරගා බැලූ මංගල කාසියේ වාසිය ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර එම වාසියෙන් ඔවුන් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

එක් පන්දු වාරයක් පන්දු 4කට සීමාවූ එම තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 245ක් රැස් කර ගත් අතර එහිදී ආරම්භක පිතිකරු ලෙස පිටියට පිවිසෙන චාල්ස් බැනර්මන් ලොව පළමු පන්දුවට මුහුණදුන් පළමු පිතිකරුවා ලෙස තම පළමු ඉනිමේදීම මංගල ශතකය වාර්තා කිරීමට සමත් විය. එහිදී චාල්ස් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 165ක් රැස් කළ අතර පන්දු 285කට මුහුණ දුන් චාල්ස් ආබාධයකට ලක්වී තම ඉනිම නිමා කිරීමට සිදුවීම හේතුවෙන් දැවී යෑමකින් තොරව තම ඉනිම නිමා කළ ලොව පළමු පිතිකරුවා බවටද පත්විය.

දීර්ඝ ගමනක ඉතිහාසයක් එසේ ලියවෙන්නට පටන් ගනිද්දී එංගලන්තයේ ඇලෙන් හිල් ලොව පළමු ටෙස්ට් කඩුල්ලේ හිමිකරුවා බවට පත් වෙමින් ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු නැට් තොම්සන් දවා ගැනීමට සමත් වූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 196කට සියලු දෙනා දැවී ගියේය. එහිදී එංගලන්ත ආරම්භක පිතිකරු හැරී ජුප්ගේ පිත්තෙන් ලොව පළමු ටෙස්ට් අර්ධ ශතකය වාර්තා පොතට එක් විය.
කෙසේ වෙතත් දෙවැනි ඉනිමේදී ඕස්ට්‍රේලියානුවන් ලකුණු 104 සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නන් සමත් වුවත්, ලකුණු 154ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය ලකුණු 108කට සීමා වීම හේතුවෙන් ඕස්ට්‍රේලියාව ලොව පළමු ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කළේ ලකුණු 45කින් ක්‍රිකට් අයිතිකරුවන් වූ එංගලන්තය පරාජයට පත් කරමිනි.

එම තරගයේදී ටෙස්ට් වරම් දිනාගත් එංගලන්තයේ ජෙම්ස් සදර්ටන් අදටත් ලොව ටෙස්ට් වරම් දිනා ගත් වයස්ගතම ක්‍රීඩකයා ලෙස වාර්තා ගතව සිටීමද සුවිශේෂී සිදුවීමක් වන අතර ඔහුට ඒ වන විට වයස අවුරුදු 49යි දවස් 119ක් විය.

කෝසල ගමගේ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon