ලේ බිඳු පවා කිරි කරමින් පෙව්වාට මහ මඟ උරුම විය ආදර අම්මාට

  👤  3145 readers have read this article !
By mawbima 2017-03-19

ඕනෑම ජීවියෙක්ගේ හදවත ස්නේහයෙන් පිරිමදින වචනයක් ලොව වේ නම් ඒ 'අම්මා'ය. ජීවිතයකින් ජීවිතයක් දෙන්නට තරම් ඇදහිය නොහැකි පරිත්‍යාගශීලී අයකු වෙත්නම් ඒ අම්මාය. ඕනෑ නම් හුස්ම වුවත් දරුවන් වෙනුවෙන් නොමසුරුව දිය හැකි අයෙක් වෙත්නම් ඒ අම්මාය. පසුගිය මැදින් පෝයදා මොරකැටිය මංසන්ධියේ සුවිසල් මැඳුරක් ඉදිරියට පුතකු විසින් 'විසිකොට' දමා ගොස් සිටියේ එහෙව් 'අම්මා'ය.

'දරු පැටව් ටිකට වේලක් ඇර වේලක්වත් කන්න දෙන්න වෙන කරන්න දෙයක් නෑ මහත්තයෝ' කියමින් නෙක පිරිමි අද්දර ආත්මය විකුණන අම්මලා කොතෙකුත් වෙති. රූපවාහිනියේ දකින ඇඩ්වටයිසින් ලෝකයේ අරුමෝසම් අම්මලා සේම මහ මඟ දකින නන්නත්තාර වීදියේ ජීවිතය හොයන අම්මලාත් අපමණය.
අනන්ත දුක් විඳින පුතුන් තිදෙනකුට කුස යහන තනා දී ඒ පුතුන් තිදෙනාව උස්මහත් කොට අහවර ඉහළ රැකියාවක් කරන තැනටත් පාර කියා දුන් අම්මාට උරුම වුණේ 'මහ පාරය'. කොට්ටාව පරණ පාරේ මොරකැටිය මංසන්ධිය ආසන්නයේ ෆ්ලොරසන්ට් එළිය වැටුණු පහන් කණුව යටට ඒ අම්මා විසි කළ පුතා පෙරළා යන්න ගිහින්ය.

රජයේ ප්‍රබල අමාත්‍යවරයකුගේ ලේකම්වරයකු වූ ඒ 'පුතා' තමාට කිරි පෙවූ අම්මාව 'විසි' කරන්නට හිත හදා ගත්ත හැටි හිතා ගන්නටවත් බැරිය. ජීවිතයේ නේක විධ සැරිසැරීම අතරේදී හමුවන සහ ලැබෙන බොහෝ දේ අතරේදී මානව බැඳීම් සහ සෙනෙහෙවන්තකම් මඟ හැරී යා හැකිය. එහෙත් ඒවා විසිකොට දමන්නේ කෙසේද? එහෙත් ඒ පුතාට ඒක අපහසු වී නැත. නොකා නොබී අප්‍රමාණ දුක් විඳ උස් මහත් කළ දරුවන් ජීවිතය දිනූදා තමන් මේ ෆ්ලොරසන්ට් එළිය වැටුණු 'අන්ධකාර' පාරට ගෙනත් දමතැයි ඒ අම්මා හීනෙකින්වත් හිතන්නට නැත.

ඒත් එය එහෙම සිදුවිණි.
මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ලියූ 'හිරුත් හිම පියල්ලක' කවි පොතේ 'ගස යට නතර වූ අම්මා' නමින් කවියක් වෙයි. එය ඇරැඹෙන්නේ මෙහෙමය.
පාන්දර පුතා මට කියූ විදියට
බොහෝ දුර ඇවිත් නැඟ පුතුගෙ රථයට
නතර කර පසුව නගරෙක ගසක් යට
හුස්ම හිරවුණත් පෙන්නුවෙ නෑ පිටට
වෙනසක් නැත. කවිය සේම මේ කතාවද සමානය.

'යමු ගමනක්' කියා පුතා අම්මාව රථයට නංවා ගන්නට ඇත. පුතා අබියස තමා සුරක්ෂිත යැයි 83 හැවිරිදි අම්මා සිතන්නට ඇත. එහෙත් මේ වනාහි යක්ෂයන් කරණම් ගසන ලෝකයකි. එහි ජීවත් වන්නේ හිරිවැටුණු හදවත් ඇති නරුමයන්ය. ඇමැති ලේකම්වරයා සිය මෑණියන් රැගෙන ආවේ මහ පාරටය. ඊට යාබදව සිය සහෝදරයාගේ නිවෙස වන බව හේ දනී. 'එක්කෝ මල්ලිගේ ගෙදරට නැත්නම් සදහටම පාරට' ඔහු එහෙම සිතන්නට ඇත. මාස දහයක් කුස තියාගෙන, සිහිනෙකින් හෝ අවැඩක් නොසිතා රෑ දවල් තිස්සේ යහපතම පතා මෙලොවට බිහි කොට රතු පාට රුහිරු සුදුපාටට හරවා පොවා දැඩි කළ පුතා තමන්ව මහපාරට දමතැයි ඒ අම්මා කොහොම සිතන්නද.
එහෙත් ඒක එහෙම විය.

පාරට විසි කළ අම්මා ගාට ගාටා ආවේ බාල පුතාගේ මන්දිරය අසලටය. එහි යෝධ තාප්පයට එපිටින් කිසිවකු නැත. සද්දන්ත ගේට්ටුව විවර වන්නේද නැත. අම්මා ඉකිගසමින් හැඬුවාය. ජීවිතය මේ තරම් කුරිරු මහගිරිදඹක් දැයි ඕ සිතන්නට ඇත. හතර අතින් සාධුකාර හඬ ඇසෙන මේ වගේ දවසක පුතා තමන්ව මහපාරට විසිකරතැයි ඕ නොසිතන්නට ඇත. ටිකෙන් ටික බෝ වෙන කළුවර අම්මාගේ සිතට ගෙනාවේ භීතියක්ය. නන්නාඳුනන ත්‍රිරෝද රථ රියැදුරෙක් ඇයට පිහිට විය.
'පුතේ මම පොලිසියට ගිහින් දාන්න' අම්මා ඔහුට කීවාය.

'මම ගුරුවරියක්. අසූ එකේදි මගේ සැමියා මිය ගියා. එදා ඉඳලා නොවිඳිනා දුක් විඳලා මගේ දරුවෝ උස් මහත් කළා. මගේ ජීවිතේ වෙන හීන තිබුණේ නෑ. මගේ දරුවෝ ලොකු තැනකට ගේන්න හැමදේම වෙන් කළා.
අම්මා කතාව පටන් ගත්තේ එහෙමය. බාල පුතු හමුදාවේදී මිය යන්නේ ඇගේ ආත්මය සසල කරවමින්ය. පුතා වෙනුවෙන් ඇයට ලක්ෂ විස්සක මුදලක් වන්දි ලෙස ලැබෙන අතර මාසිකවද සැලකිය යුතු මුදලක් ලැබෙන්නේය.

දෙවැනි පුතයි ලේලියි මට අයිති පන්නිපිටිය මොරකැටිය පරණ පාරෙ නිවෙසේ මගේ අල්මාරිය කඩලා ඔප්පුව සොරකම් කරලා බලෙන් ලියවා ගත්තා. ඒ නිවෙස මම මිලදී ගත්තේ රු. 43,000ක් වැනි මිලකට. දැන් එය කෝටි දෙකකට වඩා වටිනවා. බලෙන් ලියා ගත්ත නිවෙසේ දෙවැනි පුතා සමඟ ලේලිය ජීවත් වෙනවා.
ඒ අම්මා දරුවන් දහස් ගණනකට පාර කියා දුන් ගුරු මාතාවක්ය.

'මේ දරුවෝ හදා ගන්න මම අප්‍රමාණ වෙහෙසුණා. හැම අම්මෙක්ම එහෙමයි. මම තනි හිතින් මේ දරුවෝ හුරතල් කර කර හැදුවා.'
මස්ඉඹුලගේ කවිය ආයෙමත් සිහිපත් වේ. මේ කතාවෙත් ඒ කවියෙත් වෙනසක් තිබේද?
පුත නුඹ වඩාගෙන මම ඉස්සර දිනෙක
ගමනක මහන්සිය හැර ගන්නට රැයෙක
නැවතුණ මෙතැන මේ ගස හොඳ හැටි මතක
මෙතැනට මාව ගෙන ඒමම පුදුමයෙක
'මමත් එයාලා එක්ක ජීවත් වුණා. ඒ කාලේ මට පුදුම වේදනාවක් දුන්නා. 'රැජන මමයි අපේ රාජ්ජේ කිය කියා ලේලි මට උසුළු විසුළු කළා. බාල පුතා මියගිය අවස්ථාවේ ලැබුණු වන්දි මුදල වන රුපියල් ලක්ෂ 20 සහ මා හට මාසිකව ලැබෙන මාසික විශ්‍රාම දීමනාව වන රුපියල් 90,000ක් පමණ එම පුතා සහ ලේලිය මට පහරදී උදුරා ගත්තා.

පුතාගෙ වාහනයට ගෙවන්න කියා සෑම මසකම රුපියල් හතළිස්දහස බැගින් මේ වන විට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ඒ අය ලබාගෙන තිබෙනවා. මගේ හැඳුනුම්පතයි. මියගිය පුතාගේ ලියකියවිලියි පසුගිය දිනක මේ අය පිච්චුවා. පසුගිය දිනක මගේ මාසික දීමනාව ලබාදීමට මා අකැමැත්ත ප්‍රකාශ කළා. එවිට මගේ අත කරකවලා පහර දුන්නා.

තුරුලු කරගෙන ආදරයෙන් ඇති දැඩි කළ අම්මාගේ අත කරකවා පහර දෙන්නේ මොන පුතාද?
'ඒ අතරේ මගේ පුතා මට පිස්සු කියලා කියන්න පටන් ගත්තා. එහෙම කියලා මාව ගෙදරින් පිට කළා. මීට මාස 2කට පමණ පෙර පිටිපන ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක නතර කළා. පසුව පසුගිය පෙබරවාරි 18 දින ලොකු පුතා එම නිවාසයට පැමිණ මා රැගෙන ගොස් මාකොළ ප්‍රදේශයේ කාමරයක නතර කළා. ඊට පසුව පෝයදා සවස එහි පැමිණ වෙන නවාතැනකට යමු කියා මාව වාහනයට නංවා ගත්තා.'

ඉතින් පුතේ නුඹ බිහිවූ දිනේ සිට
ඇතින්නියකගේ හදකින් ලද පෙමට
ගිහින් එමි කියාවත් නොකිය යන විට
ඇහෙන් ගලා හැලුණා හදවත බිමට
ආයෙමත් 'හිරුත් හිම පියල්ලක' කියවන්න. අම්මාගේ දෑස් දෙකෙළවර නොනවතින කඳුළුය. වෙව්ලන දෙතොලින් අෑ බලා සිටින්නීය. නැවත හිමිහිට වචන ඇහිඳින්නීය.

'ගෙනත් දැම්මේ බාල පුතාගේ ගේ ඉස්සරහට. ලේලිය පැමිණ ගේට්ටුව ඇරියා. මම වාහනේ සිටිනවා දැක ගේට්ටුව ලොක් කර ඇය නිවෙස තුළට ගොස් ‍ෙදාර වසා ලයිට් නිවා ගත්තා. ලොකු පුතා මාව ගේට්ටුව අසල බස්සවා රෙදි බෑග් ටිකද බිමට දමා ගේට්ටුව ඇරියාම ගෙට යන්න, එයාලා අම්මගේ ඒවා කකා ඉන්නවා කියා යන්න ගියා. එහෙත් ගේට්ටුව ඇරුණේ නෑ. වටපිටාවේ අය මා දෙස බලා සිටියා. මට ලැජ්ජාවක් ඇති වුණා. පාරේ ගිය ත්‍රිරෝද රථයක් නතර කර ඉන් මා පොලිසියට ආවා.'

අම්මලා එහෙමය. හීනෙකින් හෝ දරුවන්ට අවැඩක් පතන්නේ නැත. මවුවරුන්ට පියවරුන්ට මහ පාර උරුම වූ අවස්ථා නිරන්තරව අසන්නට ලැබේ. ඉටිරෙදි දැවටූ සෙල්ලම් ගෙයක් තරම් වූ පැල්පතක කෙදිරි ගාමින් සිටි වයසක කතක් පොලිසියට හසුවුණේ මීට මාස කිහිපයකට පෙරය. තනි අතකින් ඔසවාගෙන යා හැකි තරම් දර කැබැල්ලක් සේ දිරාපත්ව සිටි ඇය එහි තනිකර දමනු ලැබුවේ ඇගේ පුතා සහ ලේලිය විසින්ය.

'අම්මට බත් කටක් දෙන්න බැරි මුන් දරුවෝද?'
පොලිසියේ මහත්වරුන්ගේ කතාව වියපත් කතගේ හදවතට වේදනාවක් ගෙනා අතර තමා පාරට දැමූ දරුවන් කෙරෙහි පවා අෑ දයාබරව උන්නාය.
'උන්ට මොකුත් කියන්ට එපා මහත්තයෝ. උන් දවස් දෙක තුනක් මං මෙහේ දාලා ගියාට පුළුවන් හැටියට බලනවා.
ඇය දරුවන් ගැන කියන්නේ එහෙම.

මව භාර ගන්නට බැරිද කියා අසන්නට පුතා සොයා ගිය පොලිසියට පුතා කියන්නේ පුතෙක් කියන කතාවක්ද?.
'එයාට සලකන්න අපිට හයියක් නෑ මහත්තයා. අපි මොනවා කරන්නද?'
'බත් කටවල් දෙකක් තමන් හම්බ කරන මුදලින් මේ අම්මාට දෙන්න බැරි නම් ඔහේගෙ තිබෙන පිරිමිකම මොකක්ද? අම්මා කෙනෙක්ගෙ වටිනාකම ඔහේලා දන්නේ නෑ.'

මේ අම්මා ගැනද පුතාලා කියා තිබෙන්නේ ඊට කිට්ටු කතාවක්ය.
'අම්මට තියෙන්නේ රළු ගති. එයා හැමවෙලාවෙම රණ්ඩු කරනවා. එයා තියා ගන්න අමාරුයි.'
එහෙම කියන මේ පුතාලා දැන් සූදානම් අම්මා වැඩිහිටි නිවාසයකට දමන්නටය. එහෙම දැම්මොත් අම්මා හිරුත් හිම පියල්ලක මෙන් මෙහෙම කියනු ඇත.
අතේ තියපු රුපියල් දාහ හරි බර
හිතේ සවිය ගෙන ඉමි දෑස් ගුළිකර
රතේ පදිද්දි කලබලයකින් තොර
පුතේ පරිස්සම් වී පලයන් ගෙදර

රංජිත් කුමාර සමරකෝන්
ඔරුවල ශානිකා එදිරිසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon