ඒඩ්ස් මර්දනයට වගකිව යුත්තෝ ගහන්නේ වැරැදි පදයක්

  👤  3033 readers have read this article !
By mawbima 2017-03-19

එච්.අයි.වී ආසාදිත පාසල් ශිෂ්‍යයන් පිළිබඳව වන මාධ්‍ය අනාවරණයත් සමඟ මවුපියන්, ගුරුවරුන්, පාසල් සිසුන්ද ලිංගාශි්‍රත රෝග සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පොලිසිය පියවර ගෙන ඇති ආරංචිය ඇසුණේ පසුගියදාකය. මෙයින් පැහැදිලි වන කාරණය නම් රටේ සියලුම දෙනා පාහේ එච්.අයි.වී ඇතුළු ලිංගාශි්‍රත රෝග අනතුර පිළිබඳව නොදැනුවත් බවය. වයස අවුරුදු 14-16 ගැටවුන් එච්.අයි.වී ආසාදිතයන් වීමේ වර්තමාන ඛේදවාචකයට හේතුකාරක ලෙස වයිරස් රෝග කාරකය නම්කොට ඇඟ බේරාගැනීමට වගකිව යුත්තන්ටත්, තව තව ඇත්තන්ටත් ඉඩක් නැත. ඒ වගකිව යුත්තන් රටේ එච්.අයි.වී/ ඒඩ්ස් නිවාරණයේ මුවාවෙන් කාලයක් තිස්සේ වැරැදි පාරක ගමන් ගන්නා අතරතුරදී තව තව ඇත්තන්ට නිවෙසද, පාසලද බේරාගත යුතු ආකාරය තෝරාගත නොහැකිව ඇති හෙයිනි.

2016 වර්ෂය අවසානය වනවිට ශ්‍රී ලංකාවේ වාර්තා වූ එච්.අයි.වී ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2557කි. අදාළ සංඛ්‍යාවෙන් 80 සටහන් වන්නේ මවගෙන් අසාදනයට ලක්වූ නොදරුවන් වශයෙනි. හඳුනාගත් ආසාදිතයන්ගෙන් මේ දක්වා මරණයට පත්වූ සංඛ්‍යාව 418කි. එහෙත් වාර්තා ගත සංඛ්‍යාවට වඩා පිරිසක් ආසාදිතව හඳුනාගැනීමට ලක්නොවී මෙරට ජීවත් වන බව පැහැදිලිය. ඒ අනුව ශ්‍රී ලංකාවේ ජීවත්ව සිටින බවට සැලකෙන එච්.අයි.වී ආසාදිතයන් පිළිබඳ ඇස්තමේන්තුගත සංඛ්‍යාව වන්නේ 4100කි.

පසුගිය වසර කිහිපයක් තිස්සේ එක් මසක් තුළදී මෙරට වාර්තා වන අලුත් ආසාදිතයන් සංඛ්‍යාව 20 සීමාව ඉක්මවන්නේ ඉන් වැඩි ප්‍රතිශතයක් වයසින් අවුරුදු 25ත් 29ත් අතර කණ්ඩායමක් වශයෙන් ඔවුන්ගෙන් වැඩි පිරිසකට එච්.අයි.වී ආසාදනය වී ඇත්තේද සමලිංගික සබඳතා මාර්ගයෙනි.
එච්.අයි.වී ආසාධිතයකු බොහෝ කලක් යනතුරු හඳුනාගත නොහැකි නිසා රෝග ව්‍යාප්ත වීමේ ඉඩකඩද වැඩිය.
අප වෙසෙන ආසියාතික කලාපය ලෙස නව ආසාදන සම්බන්ධයෙන් පවතින්නේද 5%කින් අඩුවීමකි. එහෙත් මේ කලාපයේ, ශ්‍රී ලංකාවේද, ඉන්දියාවේද, පාකිස්තානයේද, පසුගිය කාලය තුළදී ආසාදිතයන්ගේ පැහැදිලි ඉහළ යෑමක් ඇත. ශ්‍රී ලංකාවේ වාර්තා වූ අලුත් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 2010දී 121ක් වනවිට 2016 දී එය සටහන් වූයේ 249ක් වශයෙනි.

අලුත් ආසාධිතයන්ගේ වාර්තාගත සංඛ්‍යාව මෙලෙස දිනෙන් දින ඉහළ යන්නේද එච්.අයි.වී ආසාදනයක අනතුර හා අනතුර වළක්වා ගැනීමේ මාර්ගෝපදේශ පිළිබඳව දැනුවත් බව රටේ ජනතාවට නොසැපයෙන වටපිටාවකය.

රටේ සාමාන්‍ය ජනතාවටද විශේෂයෙන් තරුණ පෙළටද එච්.අයි.වී ආසාදනය හා ආසාදනය වැළැක්වීම පිළිබඳ නිවැරැදි අවබෝධ නිරන්තරව හා ක්‍රමවත්ව සැපයීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයට හා අධ්‍යාපන අමාත්‍යාංශයටත්ය. ආයතන ලෙස එහිදී ප්‍රමුඛ කාර්යභාරය දැරිය යුත්තේ ජාතික ලිංගාශි්‍රත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනය. අදාළ වගකීම කාලයක් තිස්සේ අමතක කොට ඇති මේ වගකිව යුත්තන්ට අනතුර පුපුරා යෑමේ සලකුණ අදටත් කරමින් සිටින්නේ ජාත්‍යන්තර සංවිධානයක ආධාරයට ගැළපෙන්නට හදාගත් වැරැදි පදයකටය.

තිස් ගණනක් වන ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ සායන සහ තුන්සිය තිස් ගණනක් වන සෞඛ්‍ය වර්ධන නිලධාරි කාර්යාලයන්හි පුහුණු කාර්ය මණ්ඩල ගමද, නගරයද දැනුවත් කිරීමට දායක කොටගැනීමේ අපහසුවක් නැත. එහෙත් අදටත් නොවන්නේ මේ පහසුවෙන් කළහැකි කාර්යය ය. මෙවැනි ක්‍රියාකාරකමකදී වෙනත් න්‍යාය පත්‍රයකට අනුව සැපයෙන ජාත්‍යන්තර ආධාරයකට අත හෝ හිත දික් කිරීම අවශ්‍ය වන්නේ නැත.

අනතුර ගැන පාසල දැනුවත් වන්නට නම් අදාළ තොරතුරු එහිදී ශිෂ්‍යයන්ට සැපයන ගුරුවරයාටද අවශ්‍ය දැනුමද ලිංගික අධ්‍යාපනය පිළිබඳ සන්නිවේදන කුසලතාවද ලබාදිය යුතුමය. ගෙවී ගිය දශකයකට ආසන්න කාලයේදී එවැනි ගුරු පුහුණුවකට යම්තමින් හෝ ඉඩක් සැලසී නැත. සෞඛ්‍ය අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව සිදුකළ යුතු මේ කාර්යය තවදුරටත් පමා කළ යුතු නැත.

රසිකා හේමමාලි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon