දිනේෂ්ට පක්ෂ නායක වරප්‍රසාද කොහෙන්ද?

  👤  3078 readers have read this article !
By mawbima 2017-03-19

පාර්ලිමේන්තුවේ ගරුත්වය ආරක්ෂා කරන්න ගත් උත්සාහයන් ගඟට කැපූ ඉනි වගේ යැයි හැඟෙන බව ඔබ පවසා තිබෙනවා. ඒ ඇයි?
අපේ රටේ පාර්ලිමේන්තුවට දසක හතක් සපිරෙනවා. ඒ කාලය තුළ ජයග්‍රහණ මෙන්ම පසුබෑම්ද තිබෙනවා. විශේෂයෙන්ම පසුගිය වසර දෙක තුළ ආංශික කාරක සභා ඇති කරමින් ස්ථාවර නියෝග ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවෙත් මන්ත්‍රිවරුන්ගෙත් ගරුත්වය ආරක්ෂා කරන්න අපි විශාල වැඩ කොටසක් කළා. පාර්ලිමේන්තු රැස්වීම් සජීවී ලෙස පෙන්වනවා. ඒත් ඇතැම් සුළුතරයකගේ හැසිරීම් තවමත් නිවැරැදි වී නැහැ.

ඔබ සුළුතරයක් කියන්නෙ කාටද? ඒ අය කවුද කියලා මුළු රටම සජීවීව දකිනවා. විමල් වීරවංශගේ පක්ෂය වෙනම පක්ෂයක් ලෙස පිළිගත්තා නම් පසුගියදා ඇති වුණු ගාලගෝට්ටි ඇති නොවන්න තිබුණා?
වත්මන් පාර්ලිමේන්තුවේ සිටින්නේ පිළිගත් දේශපාලන පක්ෂ 6ක් පමණයි. ඔබ කියන මන්ත්‍රිවරයාගේ පක්ෂය ඒ අතර නැහැ. ඒ ගැන දැන ගන්න අවශ්‍ය කෙනකුට ඒක දැනගන්න 2015 අගෝස්තු 19 දිනැති 1928/02 දරන ගැසට් පත්‍රය බැලිය හැකියි.

2005දී ජවිපෙ සන්ධාන ගත වී මැතිවරණයට ඉදිරිපත් වුණත් පසුව එම පක්ෂය ස්වාධීන පක්ෂයක් ලෙස එවකට සිටි කතානායකවරයා පිළිගත්තා. ඇයි ඔබ එවැනි දෙයකට පැකිළුණේ?
ඒ අවස්ථාවේ ඔවුන් සන්ධාන ගත වූ පක්ෂය ජවිපෙ ස්ථාවරයට විරුද්ධ වුණේ නැහැ. පක්ෂ අතර ගැටලුව කතා කර විස¼දා ගැනීම නිසා එවකට සිටි කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මැතිතුමා ඒක පිළිගත්තා. නමුත් මෙවර විමල් වීරවංශ මන්ත්‍රිතුමා ඇතුළු කණ්ඩායම සන්ධානයෙන් ඉවත්වීමට විරුද්ධ බව එජනිස මහ ලේකම්වරයා මට ලිඛිතව දන්වා තිබෙනවා.

එහෙනම් දිනේෂ් ගුණවර්ධනට පක්ෂ නායක වරප්‍රසාද දී තිබෙන්නේ කොහොමද?
එජනිස පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා ලෙස නිමල් සිරිපාල ඇමැතිතුමා කටයුතු කරනවා. එහි නියෝජ්‍ය නායකයා ලෙස දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා පිළිගැනීමට ඔහු එකඟත්වය පළ කර තිබෙනවා. එය එකඟතාවක් මත ඇති වූ දෙයක්. ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින කණ්ඩායමේ අයිතිවාසිකම් වෙනුවෙන් මගේ සීමාව තුළ උපරිම මැදිහත්වීමක් කිරීම මම යුතුකමක් ලෙස කටයුතු කළා. ඒ ගැන ඔවුන්ගේ වගේම අන්තර් පාර්ලිමේන්තු සංගමයේ ප්‍රසාදයත් මට හිමි වුණා.

නමුත් විපක්ෂ නායක පත් කිරීමේදී විපක්ෂයේ බහුතරයට ඇහුම්කන් නොදුන්නේ ඔබ සරල ගණිත කාරණාවක්වත් නොදන්න නිසා බවයි ඒකාබද්ධ විපක්ෂය කියන්නේ?
වත්මන් පාර්ලිමේන්තු සංයුතිය සුවිශේෂ එකක්. ජාතික ආණ්ඩුවක් ලෙස ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා සිටිනවා. මට ගණන් බැහැ කියන අය තවමත් සන්ධානයේ සිටින ගමන් තමයි ඔය චෝදනා කරන්නෙ. ආණ්ඩුවේ පාර්ශ්වයකට විපක්ෂ නායක ධුරය දෙන්න බැහැ.

පාර්ලිමේන්තුවේ දී සන්ධානයක කොටසක් ස්වාධීන වීම පාර්ලිමේන්තුවේ පැවැත්මට හානියක්ද?
ඇතැම් සන්ධානවල පක්ෂ විශාල සංඛ්‍යාවක් සිටිනවා. ඒ අයට වෙන වෙනම වරප්‍රසාද දෙන්න ගියොත් එය ඉතා සංකීර්ණ තත්ත්වයක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තු ක්‍රියාදාමය එමඟින් කඩාවැටෙන්න පුළුවන්. ඒ වගේම වරප්‍රසාද අයුතු ලෙස භාවිත කිරීමටත් පුළුවන්.

ඇතැම් මන්ත්‍රිවරු තනි තනි වශයෙන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වෙනවා. ඔවුන්ට මේ නීතිය බලපාන්නේ නැද්ද?
එහෙම ස්වාධීන වුණා කියලා ඔවුන්ට විශේෂ වරප්‍රසාදයක් හිමි වන්නේ නැහැ. ඒවා දේශපාලන පක්ෂවල අභ්‍යන්තර ප්‍රශ්න පමණයි.

ඔබ කතානායක වුණත් එජාප වුවමනා අනුව කටයුතු කරන බවට චෝදනාවක් තිබෙනවා නේද?
පාර්ලිමේන්තු සම්ප්‍රදායන්වලට නීති රීතිවලට පිටින් කටයුතු කරන්න මම සූදානම් නැහැ. දේශපාලන පක්ෂ කියන කියන විදියට කටයුතු කරන්න කතානායකවරයකුට බැහැ. උදාහරණයක් විදියට විපක්ෂ නායක තනතුර නොදුන්නම ඒකාබද්ධ විපක්ෂය ලෙස පෙනී සිටින අය චෝදනා කරනවා. ආණ්ඩුවේ අයත් චෝදනා කරන අවස්ථා මම දුටුවා. ඒත් කතානායකවරයා ලෙස මට තියෙන්නෙ දේශපාලන පක්ෂයක න්‍යාය පත්‍රයක් නෙවෙයි. ගෞරවනීය පාර්ලිමේන්තුවක් බිහි කිරීමේ න්‍යාය පත්‍රයක්.

ඔබ එසේ ප්‍රකාශ කළත් ඔබේ කොන්ද පණ නැති බවයි විපක්ෂය කියන්නෙ?
කතානායකවරයකු තීන්දු ගන්නෙ කොන්දෙන් නොවෙයි. බි්‍රතාන්‍යයෙන් හිමි වූ සම්ප්‍රදායක්, රීති පද්ධතියක් තිබෙනවා. ඒ වගේම මට හෘදය සාක්ෂියක් තිබෙනවා. ඊට අනුවයි මම කටයුතු කරන්නෙ. පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරන අය ඔය වගේ චෝදනා කරනවා කියලා මම හිතන්නෙ නැහැ.
ආණ්ඩුව වෙනස් කිරීමට තමන්ටත් කතානායකවරයාටත් හැකි බව පසුගිය දිනයක ජනාධිපතිවරයා ප්‍රකාශ කළා. එවැනි උත්සාහයක් තිබේද?
මේ රටේ ජනතාව ජනවරමක් දී තිබෙනවා. දැනට ඒ අනුව කටයුතු කෙරෙනවා. කතානායක ලෙස භූමිකාව ඉටු කිරීම පමණයි මම කරන්නෙ. ඊට පස්සෙ මගේ බලාපොරොත්තුව දේශපාලනයෙන් විශ්‍රාම යෑමටයි.

ඔබ සිරිකොතට නොයෑම පිළිබඳ ඇතැම් එජාප මන්ත්‍රිවරු ප්‍රසිද්ධියේ ‍ෙදාස් නඟා තිබෙනවා. ඔබට එජාප දේශපාලනය එපා වෙලාද?
කතානායක ධුරයට පත්වූ පසුව මම එහි නොගියේ කලකිරීමකින් හෝ අමනාපයකින් නොවෙයි. රටේ කතානායකවරයා ලෙස ස්වාධීනව කටයුතු කරන තරමට මම දේශපාලනිකව නිර්මාණය වුණු සිරිකොතට ලැබෙන ගෞරවය වැඩිවෙනවා.

පාර්ලිමේන්තුවේ ගරුත්වය රැකීමට ස්ථාවර නියෝග සංශෝධනය කරන බවට ඔබ පසුගිය කාලයේ ප්‍රකාශ කළා. දැන් එහි කටයුතු කෙබඳුද?
දැනටමත් ආංශික කාරක සභා ක්‍රියාත්මක කිරීම ආදිය කරන අතර ස්ථාවර නියෝග සංශෝධනය සඳහා මන්ත්‍රිවරුන්ගේ අදහස් ලබාගනිමින් සිටිනවා.

එවැනි උත්සාහයක් ගත්තත් පාර්ලිමේන්තුව පිස්සන් කොටුවක්, විහිළු සපයන ආයතනයක් බවට පත් වී ඇති බව සමාජගත වූ අදහසක්?
ඇතැම් සිදුවීම් ජනතාව අතරට යනවා. ඒත් ඒ වේගයෙන් හොඳ දේවල් ජනතාව අතරට යන්නෙ නැහැ. ඔය වගේ චෝදනා එන්නෙ එම නිසයි. කෙසේ වෙතත් තමන්ට ඡන්දය දුන් මහජනතාවගේ ගරුත්වය ආරක්ෂා කර ගැනීම මහජන නියෝජිතයන්ගෙ වගකීමක්.
දෙනගම ධම්මික රණවීර

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon