කාට කියන්නද මේ දුක

  👤  3094 readers have read this article !
By mawbima 2017-03-19

මුළු මහත් අරණායක ප්‍රදේශයම දෙදරුම් කවමින් මුළු මහත් ශ්‍රී ලංකාවාසීන්ගේම හද කම්පා කරමින් සාමසර කන්ද ඇතුළු කඳු පන්තිය නාය යෑමේ මහ විපතට ගොදුරු වී මේ වන විට මාස 10ක කාලයක් ගෙවී ගොස් හමාරය.

ලක් ඉතිහාසයේ මින් පෙර කවරදාවත් සිදුනොවූ බව පැවැසෙන සාමසර කන්ද නාය යෑමේ ඛේදවාචකය නිසා එළඟිපිටිය සිරිපුර දෙබත්ගම පල්ලේබාගේ යන ගම්වල විසූ ලොකු කුඩා වැසියන් සිය ගණනාවක් පණ පිටින් මිහිදන්ව ගිය අතර අනූ නවයෙන් දිවි ගලවා ගත් පවුල් 571කට උන්හිටිතැන් අහිමිව ගොස් ඇඳිවතට පමණක් සීමා කළ එම මහා විනාශය එසේ සිදුවෙද්දී මැයි 17 හා ඊට ආසන්න දින කිහිපය තුළදී අරණායක ප්‍රදේශය වටකොටගත් කඳු පන්තිය ආශි්‍රතව පිහිටි තවත් ගම්මාන රැසකට නාය යෑමේ අවදානම බලපෑවේය. මොරාගම්මන, ගැටබේරිකන්ද, ගල්බොක්ක ගංතුන, අම්බලකන්ද, නාරංගල, පොඩාපේ දෙයියන්වල, නාත්ථකන්ද අරමරහල රන්දිලිගම යෝධගම දක්වා ගම්මානවලට මේ ඉරණම අත්වූ අතර මෙම ප්‍රදේශවල වැසියන්ගේ ජීවිත අනූ නවයෙන් ගලවා ගත්තද ඔවුන්ගේ නිවාස දේපොළවලට සිදුවූ විනාශය අති මහත්ය.

නොසිතූ මොහොක සිදුවූ මෙම අවාසනාවන්ත සිදුවීම සැලවූ තැන් සිට ශ්‍රී ලංකාවාසීන්ගෙන් මෙන්ම විදේශ රටවල් රැසකින්ද නිමක් නොමැතිව සහනාධාර ගලා එද්දී ඉහත කී ගම්මානවල පවුල් සිය ගණනකට ප්‍රදේශය පුරා පිහිටි පන්සල පාසල් ඇතුළු පොදු ස්ථානවල ඉඩකඩ ඇති තැන් රැසකටම කඩිනමින් කඳවුරු පිහිටා රැකවල් ලබාදීමට රජය මඟින් පියවර ගෙන තිබිණි. මෙහිදී ඇතැම් තැන්වල රැඳවුම් කඳවුරු පිහිටුවීම සම්බන්ධයෙන් විරෝධතා පැන නැඟීම හේතුවෙන් සමහර අසරණ පවුල්වලට තැනින් තැන යන්නට සිදුවිය.

මේ අනුව රහල බටහිර රජයේ විදුහලේ ගොඩනැඟිලිවල මුලින්ම පදිංචි කරවනු ලැබූ සැලව රහල අරම යන ගම්මානවල අධි අවදානම් ස්ථානවලින් ඉවත් කරනු ලැබූ පවුල් 20කට ආසන්න සංඛ්‍යාවක් එම ක්‍රීඩා පිටියේ පිහිටුවනු ලැබූ කූඩාරම්වලට යොමු කෙරිණි. එහෙත් කල් ගත වෙද්දී මෙම කඳවුරු නිසා පාරිසරික ගැටලු ගණනාවක් ඉස්මතු වීම හේතුකොටගෙන විදුහල් සිසුන්ගේ මාපිය වැඩිහිටියන්ට ඒ ගැන නොසලකා හරින්නට නොහැකි තත්ත්වයක් උද්ගත විය. මේ සමඟම වැසි ඇද හැලෙන්නට පටන් ගැනීමත් සමඟ තත්ත්වය තවදුරටත් උග්‍ර වූ නිසා ඔවුන් දේශපාලන බලධාරීන්ට මෙන්ම රාජ්‍ය නිලධාරීන්ටද මේ පිළිබඳව දැනුම් දුන්නද විසඳුමක් ලැබීම ප්‍රමාද වීම නිසාදෝ ඉකුත් 13 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් දියත් කරන්නට පෙලඹුණේ එම කටයුතු ඉක්මන් කරවා ගන්නට විය යුතුය. මේ අනුව මෙදින එහි ගිය අප ඊට එක්වූ පිරිස්වල හඬට සවන් දෙන අතරවාරයේම කඳවුරු ගතව සිටි පිරිසගේ හඬද සවන් දෙන්නට සිදුවූයේ දෙපිරිසටම සාධාරණයක් ඉටු කරනු සඳහාය.
මේ සම්බන්ධව එච්.පී. චාන්දනී මෙසේ කීවාය.

මේ වෙනකොට මේ විදුහලේ පිට්ටනියේ තිබෙන අවතැන් කඳවුරේ වැසිකිළි පිරිලා ඉතිරිලා ගලන්නට පටන් ගෙන තිබෙනවා. මේ ගඳ ඉවසන්න බෑ කියලා අපේ දරුවන් හැමදාම කියනවා. මේ තත්ත්වය නිසා අද දරුවන්ට කෑම කන්න බෑ වමනෙට එනවා. වැඩි දෙනකුට බඩේ අමාරුව එනවා. අපි නිතරම කියන්නේ මේ කඳවුර ඉවත්කරලා දෙන්න කියලයි. අද අපේ දරුවන්ට ක්‍රීඩා කරන්න පිට්ටනියක් නෑ. අපේ දරුවෝ මේ දිනවල වැඩි හරියක් ඉන්නේ පන්ති කාමරවල නොවේ එළියේ. ටීචර්ලා දරුවෝ එළියේ තියාගෙන උගන්වනවා. අපි කියන්නේ මේකට ඉක්මනින් විසඳුමක් දෙන්න කියලා. අපේ දරුවන්ට ක්‍රීඩා පිටිය දෙන්න කියලා. අපේ දරුවෝ අසරණ වෙලා ඉන්නවා මදිවට මේ අසල පාරෙන්වත් යන්න බෑ. වැසිකිළි ගඳ ගහනවා. මේ තත්ත්වේ නිසා අපේ දරුවෝ ගෙදරින් පිට වෙන්නේ පාසල් යන්න බෑ කියාගෙන. අපේ දරුවෝ ලොකු ඉස්කෝලවලට යවන්න තත්ත්වයක් නැති නිසයි අපි මේ ගමේ පාසලට යවන්නේ. ඒ හින්දයි මේ අඩුපාඩු තියාගෙන ඉවසගෙන ඉන්නේ. අපි කියන්නේ කරුණාකරලා අපේ අහිංසක දරුවෝ ගැන හිතලා මේ කඳවුර ඉවත් කරලා දෙන්න කියලයි.
පී.ජී. චන්ද්‍රලතා මැණිකේ කීවේ මෙවන් අහසකි.

අපේ පාසලට කාලයක් තිස්සේ ක්‍රීඩා ගුරුවරයෙක් නැතිව හිටියා. ඒ අඩුපාඩුව සම්පූර්ණ වෙනකොට දරුවන්ට සෙල්ලම් කරන්න පිට්ටනියක් නැතිව ගියා. මේ සැරේ ක්‍රීඩා උත්සවය කළේ පාසලේ ඉඩමට පහළින් තියෙන කුඹුරකයි. ඒකෙ සෙල්ලම් කරනකොට සමහර ළමයි
වළවල්වලට වැටිලා අතපය උළුක්වෙලා තුවාල වෙලා වෙදකම් කරන්නත් සිද්ධ වුණා. වැස්ස දවසට පිට්ටනියේ තියෙන කඳවුරේ වැසිකිළි දෝරෙ ගලනවා. මල මුත්‍රා පාසල් වත්තෙන් පල්ලෙහාට ගලාගෙන යනවා. ඒවායේ ඉන්න මැස්සෝ පන්ති කාමරවලට එනවා. ඒ ඇවිල්ලා දරුවෝ කෑම කන වෙලාවට කෑමවල වහනවා. මේ ගැන පී.එච්.අයි. මහත්තයාට කිව්වාට පස්සේ එක සැරයක් ඇවිත් ප්‍රාදේශීය සභාවේ ගලි බවුසරයෙන් වැසිකිළි අපද්‍රව්‍ය අරන් ගියා. නමුත් මේ දවස්වල වැස්ස නිසා දරුවෝ ලොකු අමාරුවකින් පසුවෙනවා.

අමාලි අලුදෙණිය මෙසේ කීවාය.
මේ කඳවුරේ ඉන්න හුඟ දෙනෙක්ගේ ගෙවල් ‍ෙදාරවල් හොඳට තියෙනවා. නාය යෑමේ අධිඅවදානමක් තියෙනවා කියලයි මෙයාලා හිටපු තැන්වලින් මේ කඳවුරට ගෙනැල්ලා පදිංචි කරවලා තියෙන්නේ. ඒ ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. නමුත් අද අපේ දරුවන්ට මුහුණ පාන්න වෙලා තියෙන දේ ගැන තව දුරටත් නිහඬව ඉන්න පුළුවන්කමක් නෑ. මේ පාසලේ දරුවන් 160ක් විතර ඉන්නවා. මේ සැරේ 5 ශිෂ්‍යත්වයට යන්න 14 දෙනෙක් ඉන්නවා. මේ දරුවෝ වෙනුවෙන් ගුරුවරුන්ට සවස පන්ති තියා ගන්නවත් පුළුවන්කමක් නෑ. වැසිකිළි ගඳ හින්දා දරුවන්ගේ මානසිකත්වය හොඳටම පිරිහිලා තියෙනවා. පසුගිය දවසක විදුහලේ ක්‍රීඩා උත්සවයේ ධාවන තරග තිබ්බේ මහ පාරේ. වාහන නිතර දෙවේලේ මේ පාරේ යන නිසා ලොකු අවදානමක් තියාගෙන තමයි මේ තරග තිබ්බේ. කොහොම වුණත් අරණායක ප්‍රදේශයේ පාසල්වල අවතැන් කඳවුරු තියෙනවාට ඒ අවට අය විරුද්ධ වුණ නිසා එම කඳවුරු පන්සල්වල පොදු ක්‍රීඩාපිටි වගේ තැන්වල පිහිටෙව්වා. නමුත් අනේ අපේ ගමේ අය නේද කියලා අපි මේ අයට විරුද්ධ වුණේ නෑ. කොහොම වුණත් උදාවෙලා තියෙන තත්ත්වේ හැටියට අපේ දරුවන් විඳින දුක දැකලා අකැමැත්තෙන් හරි මේ වගේ විරෝධතා ව්‍යාපාරයක් කරන්න අපට සිද්ධ වුණා.

රේණුකා වැලිකුඹුරගේ අදහස මෙසේය.
අපේ දරුවෝ දැන් පාසලට කෑම ගේන්න කැමැති නෑ. කන්න පිරිය නෑ කියලා කියනවා. මේනිසා බඩගින්නේ තමයි ඉගෙන ගන්න සිද්ධ වෙලා තියෙන්නේ. දරුවෝ අහනවා කෑම කන්නේ කොහොමද වැසිකිළි ගඳ ඉවසන්න බෑ කියලා. මේ පාසලේ දෙන්නෙක් තුන්දෙනෙක් හැමදාම ලෙඩ වෙනවා අප්පිරියාවෙන් කෑම කාලා. අපේ දරුවන්ට හදිසියකටත් පාසලේ වැසිකිළියට යන්න බැරි තත්ත්වයක් තමයි උදාවෙලා තියෙන්නේ. එව්වාත් පිරිලා. ගොඩක් දරුවෝ ලේන්සු බැඳගෙන නහය වහගෙන තමයි පන්තිවල ඉන්නේ. කූඩාරම්වල ඉන්න අයට අසාධාරණයක් කරන්න හිතාගෙන නෙවේ අපි මේ විරෝධතාව පටන් ගන්නේ. අපි කියන්නේ දැනට ඉඩ තියෙන දෙයියන්වල අවතැන් කඳවුරටවත් මේ අය යොමු කරන්න කියලායි. පසුගිය දවස්වල මෙයාලට රජයේ නිලධාරීන් ඇවිල්ලා ඒ කඳවුරුවලට යන්න කිව්වාට ගියේ නෑ. මේ අය අවදානම් ඉඩම්වල ඉන්නේ කියලා අපි දන්නවා. ඒ නිසයි අපි මෙච්චර දවසක් මේ වගේ විරෝධතාවක් නොකළේ. දැන් මේ වෙනකොට හුඟාක් කඳවුරුවල හිටපු අයට නිවාස පහසුකම් දීලා තියෙන නිසා ඒ තැන්වල අඩුපාඩු තියෙනවා. මේ ගැන රජයේ නිලධාරි මහත්වරු හොයලා බලලා විසඳුමක් ලබා දෙන ලෙසටයි අපි ඉල්ලන්නේ.

කාන්ති මංගලිකා මෙසේ අදහස් දැක්වූවාය.
මම මේ ඉස්කෝලේ ආදි ශිෂ්‍යාවක්. මෙච්චර කාලෙකට මේ ඉස්කෝලෙට මේ වගේ අපහසුතාවක් වෙලා නෑ. මේ ගැන අපි ඉන්නේ හරි හිත් වේදනාවෙන්. අපි දුප්පත් මිනිස්සු. අපේ දරුවෝ ලොකු ඉස්කෝලවලට යවන්න වත්කමක් නැති නිසයි ගමේ පාසලට එවන්නේ. මගේ දුව අ.පො.ස. සා.පෙළ පාස් වුණාට පස්සේ තමයි උස්සාපිටිය රිවිසඳ ජාතික පාසලට යැව්වේ. මේ තත්ත්වය දිගින් දිගටම තිබ්බොත් වටේට තියෙන අනෙක් පාසල් වගේ මේකත් වැහිලා යන්න ඉඩ තියෙනවා. අද අපි මේ තියන විරෝධතා ව්‍යාපාරය විදුහල්පතිතුමා හෝ ගුරු මණ්ඩලයේ කවුරුවත් දන්නෙත් නෑ, උපදෙස් දුන්නෙත් නෑ. මවුපියන් වන අපි තමයි මේ තීරණය ගත්තේ. අපි කියන්නේ මේකට ඉක්මන් විසඳුමක් දෙන්න කියලයි.

විරෝධතා ව්‍යාපාරයට සම්බන්ධ වූ මවුවරුන්ගේ හඬට කන්දුන් අප ඊළඟට යාබදව පිහිටි අවතැන් කඳවුරේ කිහිප දෙනකු සමඟද කතා බහට යෙදුණේ ඔවුන්ගේ පැත්තෙනුත් ඉටුවිය යුතු යමක් තිබෙනවාද යන්න දැන ගැනීම සඳහායි.

කඳවුරේ සිටින එම්. ශි්‍රයාලතා සිය කතා කඳුළින් සටහන් කළාය.
පසුගිය මැයි මාසයේ නාය යෑම වෙද්දී අපේ ගෙවල් ‍ෙදාරවල් නාය යෑමේ අවදානමක් තියෙනවා කියලා තමයි මේ කඳවුරට යොමු කළේ. ඒ අවස්ථාවේ හැටියට අපිට මේ තාවකාලික කූඩාරම් හදලා දුන්නා. නමුත් ගමේ කිසිම කෙනෙක්ගෙන් අපිට කිසිම උදව්වක් ලැබුණේ නෑ. මේ වැසිකිළි පිරෙන කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මැදිහත් වෙලා ගලි බවුසරය එවලා කිහිප සැරයක් ශුද්ධ කළා. ඊට පස්සේ කඳවුරේ අය එකතු වෙලා යාබද ඉඩම අයිති අයට කතා කරලා එහි වැසිකිළි වළක් හදා ගන්න කැමැත්ත ගත්තා. නමුත් වැඩ පටන් ගන්නවාත් එක්කම කිහිප දෙනෙක්ගේ බලපෑම මත ඒ වැඩේ නතර කරන්න වුණා. මේ කඳවුරේ ඉන්න වැඩි දෙනෙක් එදිනෙදා කුලී වැඩ කරලා තමයි ජීවිතේ ගෙනියන්නේ. ඉතින් එහෙම තියෙද්දී තමයි සිමෙන්ති ගන්න සල්ලි එකතු කරලා වැසිකිළි වළක් ඉදි කරගන්න කටයුතු කෙරුවේ. අපිව ස්ථිර තැනකට යොමු කරනවා නම් අද වුණත් යන්න ලෑස්තියි. ඉඩම් දීලා මේ කූඩාරම් වුණත් හයි කරලා දෙනවා නම් අපි ඒ තැන්වලට යනවා. අපි මෙතෙනට ආවේ බලෙන් නොවෙයි. ඒ නිසා කාගෙන්වත් වචන අහන්න අපි කැමැති නෑ. මේ අවට ඉන්නේ පිටස්තර අය නොවෙයි. අපේම ඥාති මිත්‍රාදීන්. එහෙම වෙලත් මේ වගේ කටයුතු කරන එක ගැන අපිට හරිම හිතට අමාරුයි.

එච්.ඒ. රත්නසිරි, ඒ.ඩබ්. දයාරත්න, මහනුවර පොලිස් මූලස්ථානයේ පොලිස් නිලධාරියකු වශයෙන් සේවය කරන එන්.ඒ. කරුණාරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ.

මෙම අවතැන් කඳවුර සම්බන්ධයෙන් පැන නැඟී ඇති තත්ත්වය පිළිබඳව අපි අරණායක ප්‍රාදේශීය ලේකම් ඉසඩ්.ඒ.එම්. ෆයිසාල් මහතාගෙන් විමසුවෙමු.
නාය යෑමේ විපත නිසා අවතැන් වූ ජනතාව වෙනුවෙන් මාස 10ක කාලයක් තිස්සේ වැඩිම බරක් දරා සිටිමින් හැමෝගේම දුක සැප විමසා බැලීමේ යෙදී සිටින ඒ මහතා රහල කඳවුර ප්‍රශ්නය ගැන පළකළේ මෙවන් අදහසකි.

මේ කඳවුරේ වැසිකිළි ප්‍රශ්නයට ඉක්මන් විසඳුමක් ලබා දෙන්න මේ වෙනකොටත් පියවර අරන් තියෙනවා. නමුත් කඳවුර ඉවත් කරන්නය කියලා කරන ඉල්ලීමට නම් කඩිනමින් විසඳුමක් දෙන්න අමාරුයි. මේ අය වෙනුවෙන් දැනට ඉඩම් කට්ටි වෙන් කරන්න පියවර ගෙන තිබෙනවා. ඒ කටයුතු කරන කම් තව ටික දවසක් යනතුරු මේ කඳවුර ඉවත් කිරීම ගැන කඩිනම් පියවරක් ගන්න නම් අපහසුයි. මේ අතරවාරයේ හිස්ව ඇති කඳවුරු තියෙනවාද බලලා හොයලා බලලා ඒ වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරන්න නම් අපි සූදානම්.

අරණායක - රත්න හෙම්මාතගම

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon