ඔබට සතුටුයිද දැන්

  👤  3251 readers have read this article !
By mawbima 2017-03-19

"කොළේ වහලා ගහන්න හැදුවත් ඔක්කෝම එළිවෙන්න පටන් අරන්" කියලා කියැවෙන තරමටම ආණ්ඩුවේ කෙරුවාවල් හෙළිදරව් වෙමින් තිබෙන්නේය. ඇතැම් මාධ්‍ය ඒ තොරතුරු වසංගන්න හැදුවත් ඊට ඉඩ නොදී මහින්ද පසුගිය දිනවල මාධ්‍යකට ඒ තොරතුරු විවේචනාත්මකව මුදා හැරියේ ආණ්ඩුවේ දත කට පූට්ටු වෙන විදියටය.
රජයේ දේශද්‍රෝහී ලියවිලි පහක් ගැන කියමින් මහින්ද ආණ්ඩුවේ කෙරුවාව පතුරු ගැසුවේ නිකමට නොවේය. ඒ අනුව ආණ්ඩුව ජනතාවට දුන්නු ප්‍රධානම පොරොන්දු දෙක වන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමත් පැත්තකින් තියලා රටේ ව්‍යවස්ථාවත්, නීති පද්ධතියත් වෙනස් කරන්නට ගත්තේය. මහින්ද කියන හැටියට මේවා ආණ්ඩුවේ බටහිර හාම්පුත්තු සනසන්නට කරන කියන දේවල්ය.

එහි බරපතළ ඇරැඹීම ඔබාමා පාලනය හා 2015 වත්මන් යහපාලකයන් අතර වූ එකඟතාව කරා යොමු කරවන්නේය. මේ හිරවෙන්න යන්නේ ඒ එකඟතාවයේ ප්‍රතිඵලයන්ය. හොර රහසේ ලහි ලහියේ ව්‍යවස්ථාදායක සභාවේ අනුකමිටු හයක් ඉස්සරහට දාගෙන හදන නිල වාර්තාවද එළිදරව්වෙමින්ය. ඒ අතර රනිල්ගේ සංහිඳියාව හා සංක්‍රාන්තික යුක්තිය පිළිබඳ කාර්ය සාධක බළකායේ වාර්තාවද ජනවාරියේ එළියට ආවේය. ඒත් එක්කම ට්ඉර්ථී+ බදු සහනය ලංකාවට දෙනවා නම් ලංකාව කොන්දේසි 48ක් පූර්ණ කළ යුතුය යන්නත් ඒ අතර වුණේය. ඊටත් වඩා ත්‍රස්තවාදය වැළැක්වීමට තිබූ පනත වෙනුවට අගමැතිවරයා යෝජනා කරන නව නීති කෙටුම්පත් මාධ්‍ය හරහා ප්‍රකට වෙමින් තිබෙන්නේය.

ජීවිත පරිත්‍යාගයෙන් යුද්ධය දිනා ලබාගත් නිදහස් පරිසරය තවදුරටත් සුරක්ෂා කරගන්න ඕනෑය කියමින් මහින්ද රට වටේ යන්නේ "ත්‍රස්තවාදීන්ට කවදාවත් හිස ඔසවන්න දෙන්න ඕන නෑ" යන්න අවධාරණය කරමින්ය. ත්‍රස්ත පනත අහෝසි කරමින් ලිහිල් පනතක් අරන් ඇවිත් ආයෙත් කොටි පැටවුන්ට කිරි පොවා හදා වඩා ගන්නට සතුරන්ට ඉඩ අරින පරිසරයක් ඇති කරනවාද? නැද්ද කියලා තේරුම් ගත යුතුය කියා මහින්ද කියන්නේ නිකමට නොවේ. ඊටත් වඩා ඔබාමා පාලනය හා යහපාලනය සම අනුග්‍රාහක්තවය ලබා දෙමින් මේ කියන යෝජනා දිනාගන්න ආණ්ඩුව බලපෑම් කරන අයටත් වඩා ඉදිරියට ගිහින් සංහිඳියා නාටකයේ නිරුවත පෙන්වමින් සිටින්නේය.

"අමෙරිකන් ආණ්ඩුවෙන් එල්ලවන බලපෑමකටත් වඩා මේ ආණ්ඩුවේ අමුතු ඕනෑකම උඩ තමයි මේ ගමන යන්නේ" කියා මහින්ද කියන්නේ ඒ නිසයි.
රටට හංගන ලෝකයට කියන ආණ්ඩුවේ කෙරුවාව මෙන්නය කියා මහින්ද හෙළි කරන්නේ මෙහි බරපතළ අනතුර ගැන දැනගෙනය. රනිල්ගේ සංහිඳියාව පිළිබඳ කාර්ය සාධක බළකායේ නිර්දේශ අනුව ලංකාවේ ආණ්ඩුව සන්නද්ධ ගැටුම්වලදී වින්දිතයන්ගෙන් සමාව ගන්නට ඕනෑය. ඒ වුණත් ත්‍රස්ත සංවිධාන හෝ උන්ට උඩගෙඩි දෙන සංවිධාන වෙනත් සංවිධානවලට එම කොන්දේසිය නැත. එහෙම සමාව ගන්නට ඕනෑ නැත. එහෙම බැලුවෝතින් නම් මේ කියන අරුම පුදුම සමාව ගැනීමෙන් වන්නේ "ත්‍රස්තවාදය දුරු කරලා ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙන් ලංකා රජය කරලා තියෙන්නේ වරදක්ය කියලා ලෝකයට කෑ ගහලා කීමක් වැනිය.
ඊටත් වඩා රනිල්ගේ අරුම පුදුම සංහිඳියා යෝජනාවලට අනුව කොටින්ගේ සොහොන් කොත් යළි ඒ තිබුණු හැටියටම හදා දිය යුතුය. මහවිරු දිනය සැමරීමට ඉඩක් දෙන අතරේ කොටි යුනිෆෝම් ඇඳපු මැරුණු කොටින්ගේ ඡායාරූප තම තමන්ගේ නිවෙස්වල රාමු කර ප්‍රසිද්ධියේ එල්ලා තියාගන්න ඉඩක් ලැබෙන්නේය.
තවත් යෝජනාවකට අනුව චෝදනා එල්ල කර නොතිබෙන සියලුම කොටි සැකකරුවන් වහාම නිදහස් කළ යුතුය. ඒ වෙනුවට අපරාධ සිදු කළා යැයි සැක කෙරෙන හමුදා සාමාජිකයන් සිරභාරයට ගත යුතුය. එය අත්‍යවශ්‍ය සාධකයක් හැටියට සැලකීමත් මෙහි ඇති සුවිශේෂී තත්ත්වයය.

ලංකාවේ ජනතාවටත් මාධ්‍යටත් රනිල් හා මෛත්‍රි එක එක පරස්පර කතාය. ලංකාවේ වෙච්ච දේවල් ගැන වගවිභාග කරන්නට ජාත්‍යන්තර අධිකරණයක් විදෙස් විනිසුරුවන් ඇතුළත්ව පිහිටුවිය යුතු යැයි රනිල්ගේ පාර්ශ්වයෙන් කරනු ලබන යෝජනාව ප්‍රබලය. එය ලංකාවේදී බෑ කියලා පිටරටදී ඉංග්‍රීසියෙන් 'හා' කීමක්ය. පුදුමාකාර යෝජනාවක් වන්නේ කොටි සංවිධානයේ පිරිසක් නිදහස් කරද්දී මේ අලුත් යෝජනාවකට අනුව එදා ආණ්ඩුවට එකතු වී තනතුරු ගත් කොටි නායකයන්ට එරෙහිව අපරාධ ගොනු කළ යුතුයි" කියපු එකය.

මෙය සංහිඳියාව වෙනුවෙන් යැයි කියමින් කුහක බව හෙළිදරව් කරවීමක්ය.
මේ අරුම පුදුම සංහිඳියා යාන්ත්‍රණයට අනුව 'අලුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ' පනතට ඇතුළත් කෙරෙන ප්‍රතිපාදනයක් වන්නේ හිටපු කොටින්ට සහ දැනටමත් පුල්ලි තියෙන කොටින්ට ත්‍රස්තවාදයේ නිරත වී අපරාධ කර පසුව ප්‍රකාශයක් නිකුත් කර සමාව ඉල්ලීමට හැකි වීමයි. එහිදී නීතිපතිවරයාට හැඟේනම් කොටියා කොයි තරම් දරුණු අපරාධයක් කළේ වී නමුත් උෟ නිදහස් කල හැකිය.

තවත් පැත්තකින් ජාත්‍යන්තර සම්මුතීන් ලංකාවේ නීති පද්ධතියට ඇතුළත් කරගන්නා ක්‍රමවේදය වෙනස් කෙරෙන අතර ලංකාවෙන් ජිනීවා මානව හිමිකම් කමිටුවට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එයින් ලංකාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණයේ නඩු තීන්දු මානව හිමිකම් කමිටුවට සමාලෝචනය කිරීමට හැකියාව ලැබෙන්නේය. එයින් අපේ ඉහළම උසාවියට තිබූ ගෞරවය හා තැන නැති වන්නේය.

එක් යෝජනාවකින් පළාත් අමාත්‍යවරුන්ගේ බලතල අහෝසි කෙරෙන අතර එයින් මධ්‍යම ආණ්ඩුවත් පළාත් ආණ්ඩුවත් අතර තිබෙන අවියෝජනීය සම්බන්ධය ඒකීය රාජ්‍ය ක්‍රමයෙන් බිඳී ගොස් ෆෙඩරල් ඒකාධිකාරයකට නතු වන්නේය. එය බි්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වී ස්වාධීන වීමක් ලෙස පූර්වාදර්ශ සැපයෙන්නක් වන්නේය.

එසේම පළාත් මට්ටමින්, භාෂාමය මට්ටමින් පළාත් පොලිසි ඇතිවන අතර ඒ සඳහා බඳවා ගැනීම්ද අදාළ පළාත් පොලිසිය යටතට පත්වනු ඇත. අවි පුහුණුව හා අවි භාවිතය හා ඒ ඒ අවි තෝරා ගැනීමේ අයිතියද ඒ ඒ පළාත් සභාවට අභිමත පරිදි වන්නේය.
මෙය රජයකට එරෙහිව ගරිල්ලා ප්‍රහාරයක්, සන්නද්ධ ඒකරාශි වීමක් පොලිසි ක්‍රියාත්මක වීමක් සිදු කිරීමට ඉඩකඩ සැලසෙන්නේය.
ඒ අනුව ලංකාවේ පොලිස්පතිට හා ආණ්ඩුවට කරන්නට දෙයක් නැති වන්නේය.

එසේම සියලු ඉඩම් බලතල පළාත් ඒකකවලට හිමි වනු ඇත. යම් කිසි විදියකින් ජාතික ආරක්ෂාව සඳහා අත්‍යවශ්‍ය වන කරුණකදී ඒ සඳහා ඉඩම් ලබා ගැනීමත් මේ අනුව වැළැක්වෙන්නේය. මෙහිදී බරපතළම කාරණය වන්නේ යම් හෙයකින් මේ යෝජනා සම්මත වී නීතියක් බවට පත්වූ පසු උතුරු නැඟෙනහිර පළාත් ඒකකවලට අයත් ඉඩමක් ජාතික ආරක්ෂාවට අදාළ කටයුත්ත මහ ආණ්ඩුවට පවරා ගැනීමකට පුළුවන් ඉඩකඩ ඇහිරෙන්නේය.
හංගන්නේ නැතිව මහින්ද මේ ටික එළියට දැම්මේ ජනතාවගේ දැනගැනීම පිණිසය. එය කතාබහට ලක් කිරීමටය. ජනමතය විමසීමටය. පක්ෂ, පාට, ජාති, ආගම් භේදයකින් තොරව මේ ගැන හිතන්නටය. විමසන්නටය.

මේ සියල්ල දැකගන්නා ජනතාව ඊළඟට සිතන්නට පටන් ගන්නේ...
'යහපාලනයක් ගෙනැල්ලා, හොඳින් කාලා බීලා, හොඳ වැටුපක් තියෙන රස්සාවක් කරලා පොඩි කාර් එකක් ගන්න හිතා උන්නු අපට දැන් ඒක නැතිවෙලා බොහොම කල්ය. ඒ විතරක්ද අපට රටක් නැති වෙන්න නේද යන්නේ" කියලාය.
මේවා කිසි දෙයක් දන්නේ නැති ගාණට හැසිරෙන මෛත්‍රි හිටි ගමන් කියන්නේ,
"මං ඕවා දැනගත්තේ පත්තරෙන්" කියලාය. හැබැයි මෛත්‍රි ඒ කියන්නේ ඇත්තමද කියලා ජනතාවට හිතන්නට වෙන්නේ මෙහෙමත් කියන නිසාය.
"කවුරු හරි බලා ඉන්නවා නම්... මේ ආණ්ඩුව වැටෙයි කියලා... ඒකට මං ඉඩ තියන්නේ නෑ."
එහෙම නම් මෛත්‍රි මේවාට විරුද්ධ නෑ වෙන්නට පුළුවන. ආණ්ඩුව කරගෙන යන වැඩපිළිවෙළ අනුමත කරනවා වන්නට පුළුවන.
"නෑ මෛත්‍රි යූඑන්පීයට ඕනෑ හැටියට වැඩ කරන්නේ නෑ. එයා වෙලාවට අවශ්‍ය තීරණ ගන්නවා" මෙහෙම කියන්නේ මෛත්‍රි බේරාගන්න මෛත්‍රි එක්ක යහපාලනය කරගෙන යන්න අත් උදවු දෙන ශ්‍රීලනිප මෛත්‍රි පිලේ උන්දැලාය.

මේ වගේ කතා කියද්දී ආණ්ඩුව මහා පම්පෝරි ගහලා පටන් ගත්ත ඔවුන්ගේම අධිවේගී මාර්ග ව්‍යාපෘතිවලින් ඇතැම් කොටස් ඉදිකිරීම තාවකාලිකව අත්හිටුවන්න යන්නේය. එහෙම කරන්නේ 'මේවා හදන්න ආණ්ඩුවට සල්ලි නෑ' කියලාය. එහෙම තත්ත්වයක් තියෙද්දී මුදල් ඇමැති රවී කියන්නේ ආර්ථිකය මල් හතයි කියලාය. ඒක ගොඩගන්න සුපිරි ගේමක් දෙනවා කියලාය.

තත්ත්වය එහෙම තියෙද්දී රටේ ආර්ථිකය කොතැනකද කියලා හිතාගන්න නම් පසුගියදා ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයකට අනුව අපට කියන්නට වෙන්නේ මෙහෙම කතාවක්ය.
"ගිය වසරේ (2016) ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ලංකාවේ සළු අපනයන ආදායම සියයට 2.8කින් පහත වැටී ඇත. මේ අනුව 2015 ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 9726ක් වූ අපනයන ආදායම ගිය වසරේ 2016 ජනවාරි සිට නොවැම්බර් මාසය දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 9450.7ක් දක්වා පහත වැටී ඇත."

තත්ත්වය මෙහෙම නම් කොයි අතින් බැලුවත් හැම තැනම අවුල්ය. අවිනිශ්චිතය. කෙරෙන දෙයක් නැත්තේය. ඇහෙන්නේ යහපාලන කතාය. ඒ වුණත් එහෙම තියෙද්දී කෙරුවාවකුත් නැත්තේය. මෙහෙම යද්දී ජනතාව නම් කියන්නේ,
"කොහොමද යහපාලනය? ඔබට සතුටුයිද දැන්" කියලාය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon