පැහැරගත් නැවේ ලාංකිකයෝ අද ලංකාවට

  👤  3181 readers have read this article !
By mawbima 2017-03-19

රෝහණ බමුණුආරච්චි

සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගන්නා ලද ඒරි-13 නෞකාවේ ශ්‍රී ලාංකේය කාර්ය මණ්ඩල සාමාජිකයන් අද ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
මුහුදු කොල්ලකරුවන් මුදා හරින ලද නෞකාව සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් අටදෙනා සෝමාලියා සමුද්‍ර ආරක්ෂක බළකායේ දැඩි ආරක්ෂාව මධ්‍යයේ පෙරේදා (17දා) සෝමාලියාහි බොසාසෝ වරාය වෙත පැමිණ ඇත.

මේ අතර සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගැනීමට ලක්කර ඉතා කෙටි කාලයකින් කප්පම් ගෙවීමකින් තොරව මුදාහරින ලද එකම නෞකාව සහ කාර්ය මණ්ඩලය මෙය ලෙස වාර්තා අතරට එක්වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

"ශ්‍රී ලාංකේය නෞකා කාර්ය මණ්ඩල සාමාජිකයන් අටදෙනා කප්පම් ගැනීමකින් තොරව නිදහස් කළා. මක්නිසාද නෞකාව විදේශ රාජ්‍යයකට අයත් වුවද මේ තෙල් නැව කුලියට ගෙන ඇත්තේ සෝමාලියා ව්‍යාපාරිකයෙක් බව අපි පැවැත්වූ සාකච්ඡාවලින් පසු දැනගත්තා. ඒ නිසා අපි කප්පම් නොගෙන කාර්ය මණ්ඩලයටද කරදරයක් නොකොට නෞකාව නිදහස් කර නැවෙන් බැස ගියා"යි කොල්ල කණ්ඩායමේ සාමාජිකයකු වන අබ්දුල්ලායි විදෙස් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත.

මක්නිසාද අපි සාම්ප්‍රදායිකව සෝමාලියා ව්‍යාපාරිකයන් අවුල් සහගත නොකිරීමට පරික්ෂාකාරී වනවා. අපි නෞකාව නිදහස් කළේ අන්තර්ජාතික බලපෑමට නොවෙයි.
නෞකාව ආශි්‍රතව බෝට්ටුවල සිටි අපි සහ සෝමාලියා සමුද්‍ර ආරක්ෂක බළකාය අතර වෙඩි හුවමාරුවක් සිදුවීමෙන් අනතුරුව සමුද්‍රීය බළකාය, ගෝත්‍රික නායකයන් සහ කොල්ලකරුවන් අතර කඩිනමින් සිදුකරන ලද සාකච්ඡාවකින් පසු නැව නිදහස් කිරීමට පියවර ගත් බව අබ්දුල්ලායි රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
තවමත් අපට කප්පම් ලබා දෙනතුරු ඉරාන ජාතිකයන් අටදෙනෙක් රඳවාගෙන සිටිනවා. බොහෝ නාවික කාර්ය මණ්ඩල සාමාජිකයන් සිරගත කර සිට කප්පම් ගෙවීමෙන් අනතුරුව අපි නිදහස් කළා යැයි ඔහු පැවැසීය.

සෝමාලියාහි අර්ධ ස්වයං පාලන ප්‍රදේශයක් වන පුන්ටිලන්ඩි හි සමුද්‍රීය පොලිසියේ අධ්‍යක්ෂ ජනරාල් අබිදිරහ්මන් මහමුද් හසන් ප්‍රකාශ කරනුයේ බෝට්ටුවල සිට අපට ප්‍රහාර එල්ල කළ මුහුදු කොල්ලකරුවන්ගේ බෝට්ටු නැව පිහිටි ප්‍රදේශයෙන් පලාගිය පසු බළකාය පසුපසට ගත්තා. ඊට පසුව අපි ගෝත්‍රික නායකයන් හරහා කොල්ලකරුවන් සමඟ සාකච්ඡාවකට ගොස් නැව පිළිබඳව සැබෑ තතු පහදා දුන්නා.
අපි වෙළෙඳ නෞකා පැහැර ගන්නේ අපේ මුහුදු සීමාවට පැමිණ විදේශීය ධීවර යාත්‍රා මසුන් අල්ලන නිසා සහ ඒ සඳහා සෝමාලියා රජය අවසර දීමට විරෝධය දැක්වීම සඳහා යැයි මුහුදු කොල්ල කණ්ඩායමේ අබ්දුල්ලායි ප්‍රකාශ කර සිටී.

පසුගියදා අපේ බෝට්ටුවලට එල්ල කළ සමුද්‍රීය බළකා ප්‍රහාරවලින් පුන්ටිලන්ඩිහි සාමාන්‍ය වැසියන් හතර දෙනෙක් වෙඩිවැදී තුවාල ලැබුවා. බළකායේ එක් අයෙක් මියගොස් තවත් එක් සෙබළෙක් තුවාල ලැබුවා යැයි අබ්දුල්ලායි මාධ්‍යයට ප්‍රකාශ කර තිබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon