පොල්පිතිගම නිවාස ව්‍යාපෘතියට මුල්ගල තබන්න පැමිණි නියෝජ්‍ය ඇමැතිට ජනතා විරෝධය

  👤  3783 readers have read this article !
By mawbima 2017-01-11

යාපහුව මැතිවරණ කොට්ඨාසයේ පොල්පිතිගම, කෝරුවාව ප්‍රදේශයේදී 'සැමට සෙවණ' නිවාස ව්‍යාපෘතිය යටතේ නිවාස ව්‍යාපෘතියකට මුල්ගල තැබීමට පැමිණි නියෝජ්‍ය අමාත්‍ය ඉන්දික බණ්ඩාරනායක මහතාට මඟ අහුරමින් විරෝධතා පුවරුද අතැතිව එහි රැස්ව සිටි පිරිසක් දැඩි විරෝධතාවයක නියැළුණහ.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම නිවාස ව්‍යාපෘතියට මුල්ගල තැබීමට නියමිත උත්සවයට එක්සත් ජාතික පක්‍ෂ ප්‍රධාන සංවිධායිකා අචිනි ලොකුබණ්ඩා මහත්මිය සහ පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව්. වනසිංහ මහතාද පැමිණ සිටියහ.

මෙහිදී ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව කුමක්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා විමසූ විට ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ මෙම ඉඩම ගම්මානයකට ලබාදීම පිළිබඳ තමන් නොදන්නා බවත්, ගමේ කිසිදු අයකුට එම ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ අත්නොවන නිසා විරෝධය පළ කරන බවත්ය.

මේ පිළිබඳ ගම්වාසීන් දැනුවත් කළ බවත්, රජය සතු එම ඉඩම මෙකී ව්‍යාපෘතිය සඳහා තෝරාගනු ලැබූ බවත්, ගම්වාසීන්ගේ ඉල්ලීම මත පොදු සමිති ශාලාවක් ඉදිකර ගැනීම සඳහා ඉඩමෙන් කොටසක් වෙන්කර දී ඇති බවත්, පිරිස දක්වන විරෝධතාව පදනම් විරහිත බවත් එහිදී පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම්වරයා කීවේය.
එසේ කරුණු පැහැදිලි කිරීම් කළද දිගින් දිගටම විරෝධතා එල්ල වූයෙන් අමාත්‍යවරයා ඇතුළු පිරිස පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ අදාළ නිවාස ව්‍යාපෘතියට මුල්ගල තබනු ලැබීය.

මෙම උත්සවයට බාධා නොකරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරයා විසින් නිකුත් කළ නියෝගයක් පොල්පිතිගම පොලිසියේ ස්ථානාධිපති උපාලි රත්නමලල මහතා සභාව හමුවේ ශබ්ද නඟා කියවනු ලැබීය.

පිරිස මඳක් නිහඬ වුවද නියෝජ්‍ය ඇමැතිවරයා සභාව ඇමැතීමට සූදානම් වන විට යළිත් හූ කියමින් බාධා කරන්නට වූහ.

කුමන බාධක කම්කටොලු ආවත් අප රජය මෙම නිවාස වැඩසටහන නොනවත්වා ඉදිරියට කරගෙන යනවා. මාස 4ක් ඇතුළත මෙකී ගම්මානය ඉදිකිරීම නිමාකර සජිත් ප්‍රේමදාස ඇමැතිවරයා සමඟ ජනතා අයිතියට පවරනවා. යම් බාධාවක් එල්ල වෙතොත් එවැනි අයට එරෙහිව නීතියත් දැඩිව ක්‍රියාත්මක කරනවා යැයි නියෝජ්‍ය ඇමැතිවරයා පැවැසීය.

අපේ ඇමැතිතුමා නම් මේවට එන්නෙ නෑ කීවා. අපට කීවා උඹලා ඕකට විරුද්ධ වෙයල්ලායි කීවා යැයි පිරිස අතර සිටිය අයකු කීවිට ඒ කවුදැයි විමසුවද එම ප්‍රකාශය කළ අය නිහඬ විය.

උත්සවය නිම වෙන විටද ඇමැතිවරයා ඇතුළු පිරිසට මඟ හරස් කර යළි විරෝධතා දක්වන්නට වූ අතර එවර ඔවුන්ගේ සටන් පාඨය වී තිබුණේ 'අචිනි ලොකුබණ්ඩා අපට එපා' යන්නයි.

දැන් කාරණේ පැහැදිලියි කියමින් නියෝජ්‍ය ඇමැතිවරයා සිය රථයට නැඟී පිටව ගියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්