බැඳුම්කර මගඩියෙන් දෙසැම්බර් වනවිට කෝටි 1,500ක් ලාබ උපයලා

  👤  3691 readers have read this article !
By mawbima 2017-01-11

අනුරාධා හේරත්

• ශ්‍රී ලංකා මහ බැංකු බැඳුම්කර මගඩියෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය දෙසැම්බර් මස වන විට උපයා ඇති මුළු ලාභය රුපියල් මිලියන 15,000 ඉක්මවා ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පෙන්වා දෙයි.

ආණ්ඩුව බලයට පත් වූ පසු 2015.01.27 වන දින ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත් වූ බව මතක් කරමින් වසන්ත සමරසිංහ මහතා 'මව්බිම'ට පැවැසුවේ 2015.03.31 වන විට රුපියල් මිලියන 959ක්ද 2016.03.31 වන විට රුපියල් මිලියන 5,124ක් සහ මාස හයක 2016.04.01 සිට 2016.09.30 වන විට ලබා ඇති ලාභය ලෙස රුපියල් මිලියන 6,815ක්ද ලෙස ලාභය අති විශාල ලෙස ඉහළ ගොස් ඇති බවයි.

මාස හයකදී පමණක් රුපියල් මිලියන 6,815ක් උපයන්න හැකි වන්නේ හොරකමකින් පමණක් බවත් එම කළු සල්ලිවලින් අද අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු කල්ලිය බැංකු මිලට ගනිමින්, මාධ්‍ය ආයතන මිලදී ගනිමින්, විවිධ මාධ්‍ය ආයතන ආරම්භ කරමින්, විවිධ ව්‍යාපාර ආරම්භ කරමින් සිටින බවත් ඒ මහතා පවසයි.

ඔහු චෝදනා කරන්නේ පසුගිය කාලය පුරාම සිදුවූ මේ ගනුදෙනුව හරහා සේවක අර්ථසාධක අරමුදලට රුපියල් මිලියන 15,000ක පාඩුවක් සිදුව ඇති බව පෙන්වා දුන්නද මුදල් ඇමැති රවි කරුණානායක හා මුදල් මණ්ඩලය ඒ පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදලේ ආයෝජන උපදේශක කමිටුව මෙයට ඍජුවම වගකිව යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

මේ වංචා පිළිබඳ අභ්‍යන්තර වාර්තා එළියට පැමිණ තිබුණද ඒවා ආරක්ෂා කර මහ බැංකු අධිපතිවරයා කටයුතු කරමින් සිටින බව පවසන සමරසිංහ මහතා මේ පිළිබඳව ජනපති, අගමැති, මුදල් ඇමැති හා මහ බැංකු අධිපති වහාම රටට හෙළි කර අදාළ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කළයුතු බවත් ලබන 18දා වන තෙක් එයට කාලය ලබා දෙන බවත් කියයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්