දුෂ්ටයෝ

  👤  3811 readers have read this article !
2017-12-28

ලංකාවේ ප්‍රධාන පෙළේ නාග විහාර දෙකකි. එකක් තියෙන්නේ කෝට්ටේය. අනෙක තියෙන්නේ යාපනයේය. ඒ විහාර දෙකේම වැඩ සිටියෝ ජාතියට අතිමහත් සේවයක් ඉටු කළ යතිවරයෝය. එක් අයෙක් මාදුළුවාවේ සෝභිත හිමියෝය. උන්වහන්සේ කෝට්ටේ නාග විහාරය කේන්ද්‍ර කරගෙන දැවැන්ත සමාජ හා ශාසනික මෙහෙවරක් ඉටු කළහ. අනෙක් යතිවරයාණන් වහන්සේ සෝභිත හිමි තරම් ප්‍රකට නැත. එහෙත් වෙනම රටක් ඉල්ලා අවි අතට ගත්තවුන් සැරිසැරූ භූමියේ උන්වහන්සේ ජාතියේ ඉරණම් කතාව ලියමින් සිටියහ. ඒ යාපනය ශ්‍රී නාග විහාරාධිපති උත්තර ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජඳුරේ ඥානරතන නාහිමිපාණෝය. උන්වහන්සේ අපවත් වී වදාළහ. සෝභිත හිමියෝද අපවත් වී වදාළහ. සෝභිත හිමියන්ගේ ආදාහන උත්සවය සඳහා සහභාගි වීමේදී ජාති භේද තිබුණේ නැත. ආගම් භේද තිබුණේ නැත. පටු කල්ලිවාද තිබුණේ නැත. සහජීවනය උදෙසා ස්වකීය ජීවිත කාලයම කැප කළ උන්වහන්සේට සකල ජාතීන්ගේ බුහුමන් හිමි විය.

රටේ එහා කොනේ නාග විහාරයේ වැඩසිටි ඥානරතන නාහිමිපාණෝද ජාති, ආගම්, කුලමල භේද සැලකුවේ නැත. උන්වහන්සේ කාටත් එක සේ සැලකූ සේක. එහෙත් ස්වකීය කාර්යභාරය උන්වහන්සේ කිසි විටෙකත් පැහැර නොහැරියහ. හැබැයි නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය යාපනය, මුත්තවේලි ක්‍රීඩාංගණයේ නොපවත්වන ලෙසට ඇතැම්හු විරුද්ධ වූහ. ඉන් නොනැවතී යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට පෙත්සමක් ගොනු කළහ. මුත්තවේලි ක්‍රීඩාංගණයේ මීට පෙර දෙමළ ජනතාවගේ අවසන් කටයුතු සිදු කළ තැනක් බවත් මේ වන විට එම ස්ථානයේ කෝවිලක් ඇති හෙයින් එම ක්‍රීඩාංගණයේ නාග විහාරයේ විහාරාධිපති හිමියන්ගේ ආදාහන උත්සවය නොපැවැත්වීමට අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට එම පෙත්සමෙන් ඉල්ලා තිබිණි.

වසර 40කට ආසන්න කාලයක් යාපනයේ නාග විහාරයේ වැඩවාසය කළ නාග විහාරාධිපති නාහිමියන්ගේ ආදාහන උත්සවය යාපනය කොටුවේ ජනාකීර්ණ ස්ථානයක පැවැත්වීමෙන් පරිසර දූෂණය මෙන්ම ජනතාව පීඩාවට පත්වන බවද ඔවුන් සඳහන් කොට තිබිණි.

ඔවුන්ට ඉතිහාසය අමතකය..!
රකුසන් හා යුද වදින්නන්, ඒ කාර්යය නිසාම රකුසන් බවට පත් නොවීමට වගබලාගත යුතුය. ඇති පමණ කල් අගාධයක් පතුලට නෙත් යොමා සිටියොත් අගාධයද පෙරළා ඔබ වෙත නෙත් යොමනු ඇත කියා නිට්ෂේ පවසා තිබේ.

එදා කොටි විසින් ආරක්ෂක හමුදා සෙබළුන් අමු අමුවේ මරා දමා ඔවුන්ගේ සිරුරු දෙමළ ජනතාවට බැලීම සඳහා එල්.ටී.ටී.ඊ. ප්‍රදර්ශනයට තැබුවේ මේ ක්‍රීඩාංගණයේය.
ටෙලෝ සංවිධානයේ නායක සභාරත්නම් ඇතුළු දහස් ගණනක් පැය 48ක් තුළ මහපාරට ගෙනැවිත් භාගෙට මරා එල්.ටී.ටී.ඊ.ය විසින් ටයර් දමා ගිනි තැබූහ. එදා කවුරුවත් කට ඇරියේ නැත. වසර 30ක් යාපනය තිබ්බේ භීතිය, ත්‍රාසය පිරි උගන්ඩාවක් වගේය. අද සාමයේ අරුණලු නැඟී ඇත්තේ ත්‍රස්ත බයෙන් යාපනය මිදී ඇති නිසාය. චෙල්වනායගම්ගේ හා අමිර්තලිංගම්ගේ අවමංගල්‍ය ආදාහනෝත්සවය සිදුවූයේද යාපනය සෙන්ට්‍රල් කොලේජ් ග්‍රවුන්ඩ් හා ‍ෙදාරේඅප්පා ක්‍රීඩාංගණයේය. හින්දුන්ගේ පූජනීය ස්ථානයක් වූ කෝවිල ඒ අසලමය.

උන්වහන්සේගේ ආදාහන උත්සවයට එරෙහිව තහනම් නියෝග ඉල්ලීමට මූලිකත්වය ගත්තේ ඊ.පී.ආර්.එල්.එෆ්. නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍ර හා ටෙලෝ සංවිධානයේ නායක අලෙයිකඩනාදන්, එහි ලේකම් ශ්‍රීකාන්තන් හා දෙමළ කොංග්‍රසයේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ය. තහනම් නියෝගය ලබා ගැනීමට අධිකරණය ඉදිරියට ගියේ ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ යාපනය නගරාධිපති අපේක්ෂක නීතිඥ මනිවන්නන්ය.
අරුමයට කරුණ ඒක නොවේය.

වරක් යාපනය පුරා ලේ හිඟයක් මතු විය. කුල ප්‍රශ්නය හේතු කොටගෙන යාපනයේ දෙමළ වැසියන් කිසිදු රෝහලකට ලේ නොදීම නිසා යාපනයේ ලේ බැංකුවල ඇති වූ ලේ හිඟය නිසා වහාම උපකාර කළේ යුද හමුදාවේ සෙබළුන්ය. සෙබළුන් දෙසීයක් ලේ පරිත්‍යාග කළහ. මේ ලේ හිඟය සැලවූ වහාම භික්ෂුන් වහන්සේ පිරිසක් යාපනයට ගොස් ලේ පූජා කළහ. අපවත් වූ ශ්‍රී දේහය ආදාහනය කරන්නට මුත්තවේලි ක්‍රීඩාංගණය ලබා නොදෙන ලෙස ඉල්ලූ අයට අමතක වූයේ ඒ ලේ දුන් භික්ෂුන් අතර ඥානරතන නාහිමිපාණෝද සිටි බවය.

ඥානරතන නාහිමිපාණෝ ජාතිවාදී වූයේ නැත. නමුත් දෙමළ අන්තවාදීන්ගේ ජාතිවාදීන්ගේ බෙදුම්වාදීන්ගේ තර්ජන, ගර්ජන හා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ මරණීය තර්ජන මැද උන්වහන්සේ තම ජාතික, ශාසනික හා මහජන සේවය ඉටු කළේය. ආගමික හා සමාජයීය මෙහෙවරට ජාතියක් හෝ පාටක් නැත.
එහෙත් අන්තවාදීන්ට ඒක තේරෙන්නේ නැත.

යාපනය තම නිජභූමිය යැයි කියූ ප්ලොට්, ටෙලෝ, ඊ.පී.ආර්.එල්.එෆ්, ඊ.පී.ඩී.පී, ඊ.එන්.ඩී.එල්.එෆ්., ඊරෝස් නායකයන් එදා යාපනයේ වැළලීමටවත් එල්.ටී.ටී.ඊ.ය ඉඩ තැබුවේ නැත. එහෙත් අද නාග විහාරාධිපති ආදාහනයට එරෙහිව උසාවි ගිය කවුරුවත් එදා එල්.ටී.ටී.ඊ.යට එරෙහිව උසාවි ගියේ නැත.
නමුත් යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් අදාළ භූමිය පිළිබඳ පුරාවිද්‍යා වාර්තාවක් කැඳවා එම භූමිය කිසිවකුටත් අයිති නැති රජයේ ඉඩමක් බැවින් එවැනි උත්සවයක් සිදු කිරීමට කිසිදු බාධාවක් නැති බව පවසමින් අදාළ පෙත්සම නිෂ්ප්‍රභ කිරීමට පියවර ගෙන තිබිණි. එය කෙසේ වෙතත් මේ දුෂ්ටකම් සහ නොපනත්කම් තිරශ්චීනය. සහජීවනය නංදෙඩවිල්ලක් පමණක් මිස යථාවක් නොවන බවට මේවා නිදසුන්ය.

"ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාලකණ්ණි මෝඩයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරැදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි" යනුවෙන් ආතර් ෂොපෙන්හොර් කියන කතාව සහතික ඇත්තය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්