මිගාරලාගේ ආණ්ඩුව

  👤  4240 readers have read this article !
2017-12-21

එක්තරා කාලෙක හිටිය ජනාධිපතිවරයෙක් සිය පාලනය ගැන මිනිස්සු කියන්නේ කුමක්දැයි සොයා බලන්නට හිතවතුන් කිහිපදෙනකු රට වටේට යැවීය. ටික දිනකින් ඒ පිරිස ජනපති හමුවීමට ආහ.
'මොකද මිනිස්සු කියන්නේ, එයාලා මම ගැන කතා වෙනවද?'
හිතවතුන් කිහිපදෙනා මෙහෙම කීය.

"ජනාධිපතිතුමනි, ඔබතුමා ගැන නම් කතා වෙන්නේ නෑ. ඒත් ඔබතුමාගේ මවුපියෝ නම් නිතරම මතක් කරනවා".
මේ කතාව නැවත අහගන්න ඕන නම් මේ ආණ්ඩුව කවුරුහරි පාරට බස්සවා බැලිය යුතුය.
බොහෝ දෙනෙක් කියන්නේත් ඒකයි. ඒ තරමට මේ ආණ්ඩුවේ වැඩ නොම්බර එකය. ආණ්ඩුව හදන්න මහන්සි වූ අයගෙන් 4න් 1ක් අද මේ ආණ්ඩුව වෙනුවෙන් සිටිනවා යැයි කවුරුන් හෝ හිතනවා නම් ඒ හිතන කෙනාගේ ඔළුව පරීක්ෂා කළ යුතුය. ඒ තරමට මිනිස්සු ඉන්නේ අප්පිරියාවෙනි.

2015 ජනවාරි 8 වැනිදාට පෙර දුන් පොරොන්දු අද ඉටු වෙලාද? ලැම්බෝගිනි, රත්තරන් අශ්වයෝ සොයාගෙනද? බේබිලාට නුවරඑළියේ යන්න තිබුණු 'චොපර් ටික' සොයාගෙනද?

වැඩ අනා ගැනීම සම්බන්ධයෙන් මේ ආණ්ඩුව අංක එකය. පොරොන්දු අමු අමුවේ කඩා දැමීම වෙනුවෙන් මේ ආණ්ඩුව අංක එකය. බොරු කියා බලය ගත් අය අතරින් මේ ආණ්ඩුව අංක එකය. එහෙම බැලුවාම මේක නොම්බර එකේ ආණ්ඩුවක්ය.
'දැන් පොලිසියත් අපේ, ආණ්ඩුවත් අපේ'
වියපත් ඇමැතිවරුන් හැසිරෙන්නේ එහෙමය. කටගොන්නක් කසිප්පු බී හන්දියේ සරම නැතිව නටන එවුන් ගාණට සමහර ඇමැතිලා වැටිලාය.
අවුරුදු 30ක යුද්ධයක් නිමාකොට ඉන් මෙපිට බෙදුම්වාදී අවියකින් එකම එක බෝම්බයක්වත්, එකම එක පතරොමක්වත් පත්තු නොවන තැනට රට වෙනස් කළේ මහින්දය. මීට දෙවසරකට පෙර 'බිල්ලෝ මවා' එළවා දැමුවේ ඒ මහින්දවය.

ආණ්ඩුව දැන් ලොකු කරගෙන ඉන්නේ ව්‍යවස්ථාවක් ගේන එකය. දැන් ඒකත් හත්පොළේ ගාගෙනය. ආණ්ඩුව ඉන්නේ බිත්තියට හේත්තු වෙලාය. මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වෙන්න ක්‍රමයක්ය. ආණ්ඩුව දෙන්න යන්නේ ව්‍යවස්ථා මර උගුලක්ය.
'මිනිස්සුන්ට ඕන ව්‍යවස්ථා නොවේ. කුසගින්නේ ඉන්න මිනිහාට කන්නයි ඕන. බුදුන් වහන්සේත් බණ කීවේ කුසගින්නේ ඉන්න මිහිහගේ බඩ පුරවලා'
එහෙම කීවේ නම් ආණ්ඩුවේ ඉන්න සුසිල් ප්‍රේමජයන්තය.

'මේ තරම් ඉක්මනට පිරිහුණු ආණ්ඩුවක් ලෝකෙම නැතිව ඇති.'
'කරන්නේ පළි ගන්න එක විතරයි. ඉස්සර මොන ප්‍රශ්න තිබ්බත් ඇමැතිවරු ගමට ආවා. අද ආණ්ඩුවේ කාටද ගමට එන්න පුළුවන්.'
මෙහෙම කියන කතා හැමතැනම ඇසේ. යහපාලන ආණ්ඩුවේ කෙරුවාව පේන්නේ ගමට ගිහින් බැලුවාමය. ආණ්ඩුවට හොඳක් කියන කෙනෙක් ආණ්ඩුව ඇතුළේවත් අද හොයා ගන්නට බැරිය. ඒ තරමට අග මුල පිරිහී ගොස්ය. ඇමැතිවරුන් මේ තරමට මිනිස්සුන්ගේ වුවමනාවන් අත්හැර දැමූ කාලයක් සුද්දාගේ කාලයේවත් තිබී නැත.
බදු කෙරුවාවෙන් පටන් ගත්ත ආණ්ඩුව මේ වෙනකොට ජනතාව කුඩු කොට තිබේ. කීවේ සමෘද්ධි දෙගුණ කරනවා කියලාය. කළේ තියෙන එකත් කපා දැමූ එකය. කීවේ වයි ෆයි දෙනවා කියලාය. දැන් හයිෆයි කෙනකුටවත් වයිෆයි නැත. කීවේ බයික් එක වෙනුවට කාර් එකක් ගන්න පුළුවන් රටක් හදනවා කියලාය. දැන් පුට් සයිකලයක්වත් ගන්න හයියක් නැත. කිට්ටු වෙන්නේ උත්සව කාලය ය. සිද්ධ වෙලා තියෙන්නේ කනවා වෙනුවට ලෙවකන්නටය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටී තියෙන්නේ පෙර නොවූ විරූ විදියටය. කොළඹ කොටස් වෙළෙඳපොළ කඩා වැටුණේ මේ ඊයේ පෙරේදාය. වැටුණු රට හරිගස්සනවායි කියා වැඩ භාරගත් අය කරන්නේ කෙළින් තිබුණු රට පෙරළා ඒ උඩ සෙල්ලම් ගෙවල් හදන එකය.
එහෙම බැලුවම මේ ආණ්ඩුව නටන්නේ එළිපිට නාඩගම්ය. ඒවා ජෝගි නැටුම්ය. දකුණු අත කරන දේ වමත නොදන්නා සේ අගමැති කරන දේ ජනපතිත්, ජනපති කරන දේ අගමැතිත් දන්නේ නැත. ඒ දෙන්නාම කරන දේ ආණ්ඩුවද දන්නේ නැත. අන්තිමට ආණ්ඩුව කරන දේ මිනිස්සුන්ට තේරෙන්නේ නැත.
මෙයාලා කරන්නේ කියපු දේ නොකරන එක විතරය. බදු බරින් තොර රටක්, අතමිට සරු ආර්ථිකයක්, සුරක්ෂිත අනාගතයත්, යහපාලන රටක්, අභිමානවත් දේශයක් යනාදී ලෙස තොරොම්බල් කළ වචන සම්පූර්ණයෙන්ම 'හිස්' වචන විතරය.

කීව දේ නොකෙරුව ආණ්ඩුව විදියට මේ ආණ්ඩුව ගිනස් වාර්තාව තියලා ඉවරය.
මේ ආණ්ඩුව ගැන විමල් වීරවංශ අපූරුවට කීවේය. ඒ මෙන්න මෙහෙමය.

'දකුණු ඉන්දීය ආක්‍රමණිකයාගේ කාලයේ මේ රටේ මිනිස්සු ගොවිතැන් කළේ එක කන්නයයි. කන්න දෙකක් වගා කිරීමට පුළුවන් පොළොවේ වැව්, අමුණු විනාශ වී තිබුණු නිසා එසේ එක් කන්නයක් පමණක් වගා කිරීමට සිදු වුණා. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් මේ රට නිදහස් කර ගත් ධාතුසේන රජතුමා ඉන් පසු කෘෂිකර්මාන්තය නඟා සිටුවීමටයි තම අවධානය යොමු කෙළේ. කලා වැව හදලා කලා වැවේ ජලය රජරට පුරා ගලාගෙන යෑමට යෝධ ඇළ නිර්මාණය වන්නේ ඒ අනුවයි. කලා වැව පමණක් නොවේ තවත් වැව් 18ක් ඒ සමඟම නිර්මාණය වෙනවා. හරියට 2015 ජනවාරි 8 වැනිදාට පෙර රට තිබුණා වගේ තමයි. එදා දාඨිය - පීඨියගේ පාලන සමයේ ඔවුන්ගෙන් යැපුණු ජාවාරම්කාර ව්‍යාපාරිකයන් ප්‍රජාව, බත්බැයන් කටකතා යවන්න පටන් ගත්තා.' ධාතුසේන රජ්ජුරුවෝ ඔය වැව් හාරන්නේ ජනතාවට ජලය දෙන්න නෙවෙයි. මැණික් ඉල්ලීම් තියෙනවාද කියලයි ඔය බලන්නේ' කියලයි එදා කටකතා යැව්වේ.

එදා ආක්‍රමණිකයන්ගේ පාලන කාලයේ ගොවිතැන් බත් නොකර හේනක් කොටාගෙන ජීවත් වූ මිනිස්සු කම්මැළි වෙලයි හිටියේ. තිස් අවුරුද්දක් තිස්සේ හේනක් කොටා ගෙන අලසකමට හිටපු මිනිස්සු වැව් හාරන්න ආවේ කැමැත්තෙන් නෙවෙයි. එවැනි පිරිසක් තුළ ඉහත කී බොරුව ලේසියෙන් පැළ කරන්න පුළුවන් වුණා. ධාතුසේන රජතුමාගේ අග බිසවගේ පුතා වුණේ මුගලන් කුමාරයා. අනෙක් බිසවගේ පුතා වුණේ කාශ්‍යප කුමාරයා. කාශ්‍යප කුමාරයාට රජ වීමේ වුවමනාවක් තිබුණේ නැහැ. නමුත් ධාතුසේන රජතුමාගේ මහ සෙනෙවි ලෙස කටයුතු කළ මිගාර, රජතුමාට එරෙහිව යන විට කාශ්‍යප කුමාරයාගේ ඔළුවේ රජකම පිළිබඳ සිහිනය පැළ කළා. ඒ විතරක් නෙවෙයි ධාතුසේන රජතුමා රජකමින් පහ කරලා කාශ්‍යපට රජකම ලබාදීමේ කුමන්ත්‍රණය දියත් කළා. කාශ්‍යප රජ කළාට එදා ඉඳන් රට පාලනය කළේ මිගාර සෙනෙවියායි. හරියට රනිල් වගේමයි.
'එදා මැණික් - අද රත්තරන්'

එදා මිගාර සෙනෙවියා ධාතුසේන රජතුමාට විරුද්ධව යොදා ගත්තේ ඔහුගේම පුතා කාශ්‍යප. මෙදා නූතන මිගාර හෙවත් රනිල් යොදා ගත්තේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ඇමැතිවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන. ඥාතිකමක් නැතත් දෙදෙනාම එකම දේශපාලන කඳවුර නියෝජනය කළ අයයි. එදා කාශ්‍යප රජ වුණාට පස්සේ මිගාර සෙනෙවියාගේ සෙබළුන් පිස්සු බල්ලන් වගේ රට පුරාම වළවල් හාරමින් 'ධාතුසේන සඟවපු මැණික්' හොයන්න පටන් ගත්තා. හරියටම මෛත්‍රිපාල සිරිසේන මහත්තයා ජනාධිපති වුණාට පස්සේ රන්ජන් රාමනායකලා කොමඩ් කටේ අත දාලා රත්තරන් හෙව්වා වගේ. මැදමුලනේ ඉඩම් බැකෝ දාලා හාරලා රත්තරන් හෙව්වා වගේ. එදත් වැඩ සිද්ධ වුණා. කාශ්‍යප රජ වුණාට ඔහුට රට පාලනය කිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. ඔහුට වුවමනා වූයේ සීගිරිය කලා නිකේතනයක් බවට පත් කිරීමටයි. ආලකමන්දාවට වී කලාකාමී දිවියක් ගෙවීමයි ඔහුගේ අපේක්ෂාව වුණේ. කාශ්‍යප රජතුමා ආලකමන්දාව නිර්මාණය කිරීමට මුදල් ඉල්ලුවේ මිගාර සෙනෙවියාගෙනුයි. ඔහු ඒ අවස්ථාවේ තමයි 'ධාතුසේන සඟවපු මැණික් සොයා ගත්තොත් මුදල් දෙන්න පුළුවන් කියලා, කාශ්‍යප රජු ලවා රට පුරා වළවල් හාරන්න අවසර ගත්තේ.

කෙසේ නමුත් එදා රට පාලනය කිරීමට සමත් මුගලන් කුමාරයාට රජකම ලබා දීමට කාශ්‍යප රජතුමා එකඟ කරවා ගැනීමට මහා සංඝරත්නය ඇතුළු රටට හිතැති සෙනෙවිවරුන්ට හැකි වුණා. මෙදා පාර නූතන කාශ්‍යපට එහෙම වුවමනාවක් තිබෙනවා කියා පෙනෙන්නේ නැහැ. දැන් නූතන මිගාර සහ නූතන කාශ්‍යප රණ්ඩු වෙවී, යාළු වෙවී ඉදිරියට යන බවයි පෙනෙන්නේ. දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා නම් ඒක බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවෙන් බලා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බැඳුම්කර වංචාවට වගකිව යුතුයි' කියා තිබුණොත් දෙන්නා අතර ඇත්ත ගෝරියක් තිබෙනවා කියා පිළිගත හැකියි.
මේ සියල්ල අස්සේ රනිල් නින්දෙන් ඇහැරී වගේ ඇමැතිවරුන්ට කියන්නේ ගමට යන්න කියාය. ඇමැතිවරු හොරෙන් හොරෙන් කියන්නේ ගමට ගියොත් එන්න වෙන්නේ නිරුවතින් කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්