ඡන්ද අල්ලස්

  👤  3462 readers have read this article !
2017-12-18

ඉකුත් ජනාධිපතිවරණයේදී ඡන්ද අල්ලස් ලෙස 'සුදු රෙදි' බෙදාදීම කුප්‍රකට සිද්ධියකි. එදා මෙදාතුර මෙරට පැවැති සෑම ප්‍රධාන මැතිවරණයකදීම පාහේ ඡන්ද අල්ලස් දීම අඩුවැඩියෙන් සිදුවිය. එහෙත් එය 'නරක' අඩියකට පත්වූයේ ඉකුත් ජනාධිපතිවරණයට පෙර පැවැති උෟව පළාත් සභා මැතිවරණයේදීය. ජනාධිපතිවරණයට එය පෙරහුරුවක් වූවාසේය. 'සුදු රෙදි' සිද්ධිය ඡන්ද අල්ලස් දීමේ සංකේතයයි.
කාරණය අනෙකකි.

පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා පුංචි ඡන්දයට තරග කරන පක්ෂ සහ අපේක්ෂකයන් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු වැඩසටහනක් සංවිධානය නොකරන ලෙස මැතිවරණ කොමිසම රාජ්‍ය නිලධාරීන්ට දැනුම්දී ඇත. කලින් සැලසුම් කළ භාණ්ඩ බෙදාදීමේ කටයුත්තක් අත්‍යවශ්‍ය නම් දේශපාලන සහභාගීත්වයකින් තොරව සිදුකරන්නැයි කොමිසම අවධාරණය කර තිබේ.

රාජ්‍ය නිලධාරීන් මැතිවරණයකදී අපක්ෂපාතීව ක්‍රියා කළ යුතුය. කිසියම් අපේක්ෂකයකු හෝ පක්ෂයක් ප්‍රවර්ධනය වන ආකාරයට හෝ කිසියම් පක්ෂයක් හෝ අපේක්ෂකයකු අගතියට පත්වන ආකාරයට රාජ්‍ය දේපළ භාවිත කරන්නේ නම් එය නීති විරෝධීය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මේ පිළිබඳව ඉතා පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
සාධාරණ හා නිදහස් ඡන්දයකට බාධා වන ආකාරයෙන් යම්කිසි පුද්ගලයකු හැසිරෙන්නේ නම් ඔහුගේ තරාතිරම නොබලා කකුල් දෙකට නොව, ඔළුවටම වෙඩි තියන්නැයි ඉකුත් ජනාධිපතිවරණයේදී ප්‍රකාශ කළ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මේ වනවිට මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වන්නේය. මැතිවරණ කොමසාරිස්වරයාට වඩා වැඩි බලයක් කොමිසමේ සභාපතිවරයා සතුය. එනිසා මැතිවරණ කොමිසම සඳහන් කර ඇති චක්‍රලේඛ හා උපදෙස් අකුරටම පිළිපැදීමට රාජ්‍ය නිලධාරීන් වගබලාගත යුතුය.

කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමැතිවරයකුගේ හා නියෝජ්‍ය අමාත්‍යවරයකුගේ සම්බන්ධීකරණ ලේකම්වරුන් දෙදෙනකු මැතිවරණ කටයුතු සඳහා රජයේ වාහන භාවිත කරන බවට මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ලැබී ඇතැයි ඉකුත් සතියේ ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි. තවත් වාර්තාවක සඳහන් වූයේ මාතලේ, ගලේවෙල ප්‍රදේශයේ කාන්තාවන් පිරිසකට ඡන්ද අල්ලසක් ලෙස මහන මැෂින් බෙදාදීමට ගත් උත්සාහයක් පොලිසිය මැදිහත්වී වැළැක්වූ බවය. අනුරාධපුර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල ආණ්ඩුවේ ප්‍රබලයන් ඡන්ද අල්ලස් ලෙස 'භාණ්ඩ' බෙදීම ආරම්භ කර ඇතැයි පොදුජන පෙරමුණේ පිරිසක් කළ චෝදනාවක්ද මාධ්‍ය කිහිපයකින් වාර්තා කර තිබිණි.

පළාත් පාලන මැතිවරණ රාජකාරිවලදී පක්ෂග්‍රාහී නොවී නීතිය අකුරටම ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පති පූජිත් ජයසුන්දර සියලු පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ. ස්වාධීන පොලිස් කොමිසමක් ක්‍රියාත්මක වන නිසා පොලිස් නිලධාරීන්ට එවැනි නියෝගයක් ලැබුණද නොලැබුණද බිය වීමට කාරණයක් නැත. මැතිවරණ කොමිසමට නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් පොලිසියේ සහාය අත්‍යවශ්‍යය. දැනටමත් පොලිසිය ක්‍රියාත්මක වී ඇති බව ලැබෙන තොරතුරුවලින් පැහැදිලිය. 'පොලිසිය අපේ' යැයි සිතන දේශපාලනඥයන් ආණ්ඩුවේ සිටියද අකුරට වැඩ කිරීමට පොලිසිය දෙවරක් සිතිය යුතු නැත. දශක කිහිපයක් ඡන්දවලදී කරගෙන ගිය 'සෙල්ලම' මෙවර නතර කළ යුතුය. ඉකුත් මැතිවරණයේදී සාපේක්ෂ වශයෙන් පොලිසිය රාජකාරිය හොඳින් ඉටු කළේය. ඉකුත් ජනාධිපතිවරණයට අනුව නම් මහ මැතිවරණය කලකට පසුව පැවැත්වූ නිදහස් හා සාධාරණ මැතිවරණයක් ලෙස නම් කළ හැකි විය. මේ වතාවේ මහ මැතිවරණයේ තරම් හෝ 'සිද්ධින්' වීමට ඉඩක් නොතැබිය යුතුය.

මෙවර පළාත් පාලන මැතිවරණයේදී පැය විසිහතර පුරාම මෙහෙයුම් කිරීමට පොලිසිය තීරණය කර ඇත. පෝස්ටර්, කටවුට් ඇතුළු නීති විරෝධී කිසිදු මැතිවරණ ප්‍රචාරණ කටයුත්තකට ඉඩ නොදෙන බව ඔවුහු පවසති.

අපේක්ෂකයකුගේ කාර්යාලය හැරුණු විට වෙන කිසිදු ස්ථානයක පෝස්ටර්, සැරැසිලි හා කටවුට් ප්‍රදර්ශනය කිරිමට ඉඩ නොලැබේ. ඇත්ත වශයෙන්ම 'කේවල' ක්‍රමයට හෙවත් ආසන මට්ටමෙන් පැවැත්වෙන මෙවර පළාත් පාලන මැතිවරණයේදී එවැනි 'ප්‍රචාර' අවශ්‍ය වන්නේද නැත. මහ නගර සභා, නගර සභා හෝ ප්‍රාදේශීය සභාවක 'ආසනය' දිනාගැනීමට අපේක්ෂකයාට ප්‍රචාරක කටයුතු කළ හැකි කාල සීමාව තුළ පයින් ඇවිද්දත් ගෙයින් ගෙට යා හැකිය. බල ප්‍රදේශය තුළ ප්‍රචාරය අවශ්‍ය වූයේ 'මනාප' ක්‍රමය යටතේය. ඒ ක්‍රමය යටතේ නම් පෝස්ටර් කටවුට් බැනර් නොයොදා 'මනාප' එකතු කර ගැනීම අසීරු කාරණයක් වී තිබිණි. එහෙත් මෙවර ඒ කිසිවක් අවශ්‍ය නැත. ඒ නිසා පොලිසියට පැකිළීමකින් තොරව මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කළ හැකිය.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය හා පොලිස්පති පූජිත් ජයසුන්දර එක මිටට සිටී නම් පක්ෂ නායකයන්ගේ හා අපේක්ෂකයන්ගේ සහායද ලැබේ නම් 'පුංචි ඡන්දය' ලොකු ප්‍රශ්න ඇති නොකරගෙන නිදහස්ව හා සාධාරණව අවසන් කිරීමට හැකිවනු ඇත. මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමහරක් දැනටමත් වැඩ පටන්ගෙන තිබේ.
ලංකා මැතිවරණ ඉතිහාසයේ 'ලොකුම' මැතිවරණය ලංකාවේ පැවැති නිදහස් හා සාධාරණම සාමකාමීම පුංචි ඡන්දය වුණොත් එය කාට කාටත් ආඩම්බරයකි. ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයකි.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon