මැතිවරණ වගකීම

  👤  3568 readers have read this article !
2017-12-17

නිදහස් ඡන්ද බලය හිමි කරගත් ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාවය. යුරෝපයේ බොහෝ රටවලද කාන්තාවන්ට ඡන්ද බලය ලැබුණේ ලංකාවට පසුවය. සර්වජන ඡන්ද බලය වූ කලී 'ඇතකු මෙන් පුම්බා පෙන්වන කුඩා මී පැටවකු' යැයි දේශපාලන විද්‍යාවේ නිර්වචනය වී තිබේ. එවැනි අධානග්‍රාහී විවේචනයක් සර්වජන ඡන්ද බලයට එරෙහිව එල්ල වන්නට හේතුව වූයේ ජනමතය වුවද නිරායාසයෙන් පැනනඟින්නක් නොවන බවට තිබෙන සමාජ පිළිගැනීමය. වර්තමානයේ ඡන්ද දායකයා හසුරුවන්නේ 'පොලිටිකල් ඇඩ්වටයිසින්' යන දැන්වීම් ප්‍රචාරක කලාව විසිනි. ඊට අනුව අවසානයේ ඡන්දයද හුදු වෙළෙඳපොළ ගනුදෙනුවකි.

මෙරට රාජ්‍ය බලය අයුතු අන්දමින් මැතිවරණවලදී යොදා ගැනීම ඇරැඹුණේ 1960 - 64 කාලයේදී වුවද 1965න් පසුව එය මහා පරිමාණ ක්‍රියාදාමයක් බවට පත්විය.
මැතිවරණ ආසන 168කින් 140ක්ම දිනාගන්නට 1977දී ජේ.ආර්. ජයවර්ධන මෙහෙය වූ එජාපයට හැකිවිය. උද්දාමයට පත් හෙතෙම ගැහැනියක මිනිසකු කිරීමත් මිනිසකු ගැහැනියක කිරීමත් හැර වෙන ඕනෑම දෙයක් කරන්නට ජනතාව තමාට බලය ලබාදී ඇතැයි ප්‍රකාශ කළේය.

මහ මැතිවරණ, ජනාධිපතිවරණ, ජනමත විචාරණ පැවැත්වීම පිළිබඳ අපකීර්තිමත් ඉතිහාසයක් ලංකාවට තිබේ. එම දුගඳ හමන අතීතය නැවත කාල් ගෑම අවශ්‍ය නොවේ. කුමන බාධක මැද නමුදු ලංකාව ශිෂ්ට සම්පන්න මැතිවරණ පැවැත්වීමේ මාර්ගයට අවතීර්ණව සිටී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය බලාත්මක කොට ඇති අතර දැන් අපිට ස්වාධීන මැතිවරණ කොමිසමක් හා මැතිවරණ කොමිසමේ සභාපතිවරයකු සිටී.

මැතිවරණ නීතියට එරෙහිව යනවා නම් දණහිසින් පහළට නොව ඔළුවටම වෙඩි තබන්නැයි නියෝග කරන්නට තරම් හයියක්ද සභාපතිට ලබාදී තිබේ. දේශපාලනඥයන් පිළිබඳ විශ්වාසය බිඳ වැටී ඇති රටක් යුක්තිය හා සාධාරණත්වය ඉටු කර දෙනු ඇතැයි මැතිවරණ කොමසාරිස්වරයා කෙරෙහි විශ්වාසය තැබීම ඉතා යහපත් ලක්ෂණයකි.
එළැඹෙන පළාත් මැතිවරණය ස්වාධීන මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට සිය දීර්ඝ කාලීන අත්දැකීම් හා පරිචය මත මෙහෙය වන්නට නොහැකි වන්නට හේතුවක් නැත. එහෙත් පෙරහැර එන්නට පෙර අෑතින් ඇසෙන කස පුපුරන හඬ නම් එතරම් හොඳ නැති බවට අනතුරු හඟවන්නට සිදුව තිබේ.

මෙවර පළාත් මැතිවරණය බෙහෙවින් බරසාර එකකි. ඡන්ද මධ්‍යස්ථාන 14,000කි. ප්‍රාදේශීය මන්ත්‍රිවරුන් 8,346 දෙනකු තෝරා පත්කර ගත යුතුය. 60%ක් කොට්ඨාස ක්‍රමයටද, 40%ක් සමානුපාතික ක්‍රමයටද තෝරා පත් කෙරෙනු ඇත. කොමිසමේ සභාපතිගේ නිල කාර්ය මණ්ඩලයේ බහුතරය ආධුනික නිලධාරීහු වෙති. මැතිවරණ ඇස්තමේන්තුව මුලදී කෝටි 350ක් යැයි තීරණය කළද දැන් එය කෝටි 400ද ඉක්මවනු ඇතැයි පැවැසේ. පළාත් මැතිවරණය සෑහෙන කාලයක් කෙකර ගා ප්‍රසූත කළ බිත්තරයකි.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් ජනතාවට ලබාදීම මහජන මුදලින් නඩත්තු වන සෑම රාජ්‍ය නිලධාරියකුගේම වගකීමය. මැතිවරණ මෙහෙයුම් ජාලයේ කොමිසමේ සභාපතිගේ සිට අවසාන සුළු සේවකයා දක්වා දේශපාලන මතවාද පසෙකලා සිය වෘත්තීය ගෞරවය රැකෙන අයුරු ක්‍රියා කිරීමෙන් මෙම බැරෑරුම් කටයුත්තේ කීර්තිමත් නිමාවක් දැකිය හැකිවනු ඇත.

යහපත් හා සදාචාර සම්පන්න බව දැන දැනම අප විසින් ඉතිහාසයේ කුණු බක්කියට ඇද දැමූ ගෞරවනීය කොට්ඨාස ඡන්ද ක්‍රමය නැවත කරළියට ගෙන ඒම ජනතාවගේ ජයග්‍රහණයකි. ගමට වගකියන ගමේ පොදු මහජන සේවකයා නැවත පාලනයට සම්බන්ධ කර ගැනීමේ අවස්ථාව මෙවර පළාත් පාලන මැතිවරණය උදාකර දී තිබේ.
පිරිහීමට පත්ව තිබෙන දේශපාලනයේ සුබවාදී පරිවර්තනයක් ඇති කළ හැක්කේ අලුත් තරුණ මුහුණු, නව ජීවයෙන් පිරි රුධිරය දේශපාලනයට කැඳවා ගැනීමෙනි. ඒ සඳහා නීතිය අකුරට රැකෙන මැතිවරණයක් සඳහා වැඩිම බර පොලිස් දෙපාර්තමේන්තුවට පැවැරේ. පළාත් මැතිවරණයේදී කිසිදු බල පුළුවන්කාරයකුට නීතිය නවන්නට ඉඩ නොතැබීම ශ්‍රී ලංකා පොලිසියේ වගකීමය.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon