ජෝන්ගේ පොලිසිය

  👤  3711 readers have read this article !
2017-12-15

ඇමැති ජෝන් අමරතුංග යළි කට ඇර තිබේ. කට ඇරියොත් ජෝන් නාන බව රටම දන්නා කාරණයකි. මෙවර ඇමැති ජෝන් නාගත්තේ පුංචි ඡන්දය ගැන කතා කිරීමට ගොස්ය.
වත්තල ප්‍රදේශයේ පැවැති එජාප රැස්වීමේදී ඇමැති ජෝන් ප්‍රකාශ කර තිබුණේ ඉකුත් පුංචි ඡන්දයේදී එජාපයේ මිනිසුන් බය කරලා ඡන්ද කාඩ් උදුරාගෙන ඔවුන්ට ඡන්දය දාන්න නොදුන් බවත්, මේ සැරේ ඒ වගේ මැරකම්වලට ආවොත් ඕනෑම එකකුට ගහලා එළවන බවය. එහිදී හෙතෙම අවධාරණය කර තිබුණේ මේ වාරේ ආණ්ඩුවත් පොලිසියත් දෙකම අපේ නිසා බිය සැක නැතුව එජාපයට කතිරය ලබාදෙන ලෙසයි.

බැලූ බැල්මට ඇමැති ජෝන් අමරතුංගගේ මේ කතාවේ වරදක් නොපෙනේ.
77 හැවිරිදි සංචාරක ප්‍රවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයා ප්‍රකාශ කර ඇති පරිදි ඔහුගේ දේශපාලන ජීවිතයට අවුරුදු 39කි. 1977 බලයට පත්වූ එජාප ආණ්ඩුවේ ඇමැතිවරයකු වූ ජෝන් මහතා, එකල ගම්පහ දිස්ත්‍රික්කයේ සිටි එජාප ප්‍රබලයන් දෙදෙනාගෙන් එක්කෙනෙකි. අනෙක් තැනැත්තා විජයපාල මැන්ඩිස්ය. මැන්ඩිස් මහතා මේ වන විට ජීවතුන් අතර නැත. ජීවතුන් අතර සිටින ජෝන් අමරතුංග 20 වසරකට පමණ පසු යළි ඇමැති ධුරයක රස විඳිමින් සිටී. ජීවිතයේ සැ¼දෑ සමයේ සිටියද 77-94 කාලයේ භූමිකාව වරින්වර ඔහු තුළින් මතුවේ. තමාගෙන් ප්‍රශ්න කළ මාධ්‍යකරුවකුට තර්ජනය කර ඇමැති ජෝන් මෑතකදී කලබැගෑනියක් කළේය. මාර්ග තදබදය ගැන කතා කරමින් ඔහු වරෙක කියා සිටියේ, ඕනෑ එවුනුයි එපා එවුනුයි කාර් මිලදී ගැනීම මාර්ග තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බවය.

ඇමැති ජෝන්ට කලින් පොලිසිය භාර දී තිබිණි. පොලිසිය අපේ යැයි ඔහු කියා සිටියේ පොලිසිය තවමත් තමන් භාරයේ ඇතැයි සිතා විය හැකිය. වියපත් වන විට මතකය අවුල් වී යෑම කාටත් පොදු ධර්මතාවකි. එය ඇමැතිවරයකුට කියා වෙනසක් නැත. ඇමැති ජෝන් මේ කතා කරන විදියට පොලිසිය ඔහු යටතේ තිබුණා නම් පුංචි ඡන්දයේදී සිදුවන්නේ මහ අලකලංචියකි. ආණ්ඩුව එජාපය අතේ තිබෙනවා කීම නම් එතරම් වරදක් නැත. එහෙත් ශ්‍රී ලනිපය සමඟ හවුලක් ඇති නිසා එතැනද කොස්සක් තිබේ.

ඒ කතාව කෙසේ වෙතත් පොලිසිය අපේ යැයි කියා කීමට ඇමැතිවරයකුට හෝ මන්ත්‍රිවරයකුට බැරිය. පොලිසිය ආණ්ඩුවේ ආයතනයක් නොව ආයතනයකි. ත්‍රිවිධ හමුදාවද එසේය. 88-89 ධවල භීෂණ සමයේ එජාප ආණ්ඩුවේ ඇමැතිවරුන් කටයුතු කළේ නම් පොලිසිය ඔවුන්ගේ කියා සිතාගෙනය. එය සනාථ කරන කදිම නඩුවක් ඇත. ඒ ඇඹිලිපිටිය කුප්‍රකට සිසු ඝාතන නඩුවය. නඩු තීන්දුව දෙමින් විනිසුරුවරයා අවධාරණය කළේ මේ සිද්ධියේදී හමුදාව කටයුතු කර ඇත්තේ එජාප ආණ්ඩුවේ හමුදාවක් ලෙස බවය. ඇමැති ජෝන්ලාගේ සිත්වල තවමත් හොල්මන් කරන්නේ ඒ පැරැණි අවතාරය. කටින් පනින්නේ සිතේ තියෙන දේය. ඔහු හිතේ තියෙන දේ නොවළහා කියයි. එහෙත් බොහෝ දෙනා පොලිසිය අපේ අතේ යැයි සිතුවද ප්‍රසිද්ධියේ නොකියති.

ඒ අතින් ඇමැති ජෝන් අවංකය.
රාජපක්ෂ ආණ්ඩුවේ වැරැදිවලට ඇඟිල්ල දිගු කර යහපාලනයක් වෙනුවෙන් බලය ඉල්ලා ගත් ජෝන් අමරතුංගලා දැන් පොලිසිය අපේ යැයි කියන්නේ කොයි මුඛයෙන්ද යන්න සබුද්ධික ජනතාවට ප්‍රශ්නයකි. ජෝන්ලාගේ මේ නිර්ලජ්ජිත හැසිරීමෙන් ලැජ්ජාවට පත්වන්නේ පිරිසුදු පාලනයක් වෙනුවෙන් හංසයාට ඡන්දය දුන් ලක්ෂ 62ක ජනතාවය. අඩුම ගණනේ මේ ජනතාව අතරින් ලක්ෂ 30ක්වත් හංසයාට ඡන්දය දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස පිළිබඳ අවබෝධයකින් යුතුව විය හැකිය. ඇමැති ජෝන්ලා 'කොකා' පෙන්වන්නේ හංසයාට ඡන්දය දුන් මේ සබුද්ධික ජනතාවටද?

සියල්ල නරඹන්න

විනෝදාත්මක

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon