ගමෙන් ඉල්ලන් කෑම

  👤  4769 readers have read this article !
2017-12-14

'මෙදා ශ්‍රී ලංකා එක තුන, එක්කෝ හතර'
සමහරු එහෙම කියයි.
'ඔව්, ගමක ශ්‍රී ලංකාකාරයෙක් හොයාගන්න නෑ, මෙදා තේරෙයි රඟ'
තවකෙක් එහෙම කියයි.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක 1948දී එක්සත් ජාතික පක්ෂ නායකයාට ලිපියක් යවමින් මෙහෙම කීව්වේය.
'අද අපේ රටට අවශ්‍ය වේදනාත්මක අවශ්‍යතාව වී තිබෙන්නේ, දේශපාලන, ආර්ථික, සමාජීය හා සංස්කෘතික යන සියලු කාරණා පිළිබඳව සම්මුතියකින් කටයුතු කරන ඉදිරි ගමනක්, රජයක් සහ පක්ෂයකි. නිදහස් ලංකාව අද මුහුණ දෙන ප්‍රබල දුෂ්කරතාවන්ගෙන් අත්මිදීමටත්, තවදුරටත් අවුල් ජාලයකට හා ව්‍යාකූලත්වයකට පත්වීමෙන් වැළකීමටත්, අපගේ දේශය ප්‍රගතිය, සමෘද්ධිය හා තෘප්තිමත්භාවය දෙසට ගෙන යෑම සඳහාත් හැකියාව ඇතිවන්නේ, එබඳු ගමනකට හා රජයකට පමණි.'

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ වන්නේ එහෙම බලාපොරොත්තු එක්කය. පක්ෂ දෙකම එක වගේ කීවට ඒක බොරුවක්ය. එක්සත් ජාතික පක්ෂය කිසිම විටෙක දේශීයකරණය වූයේ නැත. එහෙම වෙයි කියා හිතන්නටත් බැරිය. ඔවුන් ගමන් කරන්නේම බටහිරක රණය වූ ගමනක්ය. එහෙම ලියන බණ්ඩාරනායක අලුත් පක්ෂය හදන්නේය. සමහරු කියන්නේ එක්සත් ජාතික පක්ෂය කඩාගෙන ගියේ බණ්ඩාරනායක විතරයි කියාය. තවත් සමහරු කියන්නේ බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයෙන් ගිය එකේ මෛත්‍රි එක්සත් ජාතික පක්ෂය හා එක්ව ආණ්ඩු කළාට කමක් නෑ කියලාය.

ඩී. ඇස්. සේනානායකගේ ලංකා ජාතික සංගමයත්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සිංහල මහා සභාවත්, ජී. ජී. පොන්නම්බලම්ගේ දෙමළ සංගමයත්, ටී. බී. ජයාගේ මුස්ලිම් සංගමයත් එකට එකතු කරමින් එක්සත් ජාතික පක්ෂය හැදූ අතර මුල ඉ¼දලාම එක්සත් ජාතික පක්ෂයේ 'රටාව' දිරවූයේ නැති පිරිසක් පක්ෂයේ සිටියහ. ඔවුන් නිරන්තර අරගල කළේ 'රටාව' වෙනස් කරන්න කියලාය. අනෙක් අතට බණ්ඩාරනායක එක්සත් ජාතික පක්ෂයේ හවුල්කාරයෙක්ව එකතු වූවා මිසක් ඔහු යූඇන්පීකාරයෙක් නොවේය. ඔහු නියෝජනය කළේ 'සිංහල මහා සභාවය'. අනෙක් අතට 1946 එක්සත් ජාතික පක්ෂය පිහිටුවන විට බණ්ඩාරනායක ආවේත් පහු වෙලාය. එදා ඔහු සිටියේ ප්‍රතිපත්තිමය 'විරසකයක'ය. පක්ෂය පිහිටුවන වැඩේට බණ්ඩාරනායක එන පාටක් පේන්න නැතිකොට 'ගෙට් සොලමන් ඔන් ද ෆෝන්' කියලා කීවේ ස්ටීවන්ය.
ස්ටීවන් කියන්නේ ඩී. එස්. සේනානායකටය. සොලමන් කීවේ බණ්ඩාරනායකටය. දෙන්නා හොඳටම හිතවත්ය. අලුත් පක්ෂයට නමක් දාන්න බොරැල්ල මන්දිරයට එකතු වෙච්ච පිරිස අතර බණ්ඩාරනායක හිටියේ නැති බව දැනගත් ඩී. එස්, මිතුරාට කතා කළේ 'මේ වැඩේට එන්නම ඕන' යැයි කියාය.

බණ්ඩාරනායක ඒ වෙනකොට සිංහල මහා සභාවේ සභාපතිය. අලුත් පක්ෂය 'එක්සත් ජාතික පක්ෂය' වෙද්දී බණ්ඩාරනායකද ඊට එකඟ වුණේය. ඊට පස්සේ තිබ්බ මැතිවරණයෙන් ජය ගත්ත එක්සත් ජාතික පක්ෂයේ අගමැතිකම ඩී. එස්. ට යද්දී බණ්ඩාරනායක ඒ රජයේ සභානායකවරයා මෙන්ම පළාත් පාලන අමාත්‍යවරයාද විය.
කාට කාටත් වඩා සමීප හිතවත්කමක් තිබ්බ ඩී. එස්. එක්ක හදපු එක්සත් ජාතික පක්ෂය එක්ක යන ගමන ජනතාවාදී එකක් නොවන බව බණ්ඩාරනායකට තේරුම් යන්න වැඩි කාලයක් ගියේ නැත. ඩී. එස්. ගෙන් පස්සේ අගමැති වෙච්ච ඩඩ්ලිට වඩා බණ්ඩාරනායකට නොපෑහුණේ ජේ. ආර්.ය. 'යැංකි ඩිකී' කියන නමම ජේ.ආර්.ට වැටුණේ ඔහුගේ 'බටහිර ආලය' හින්දාය. ඔහු කළේ 'ලෝක බැංකු පදේට නටන, බටහිරට කත් අදින' ප්‍රතිපත්ති තියෙනවා කියන එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් වෙලා අලුත් බලවේගයක් හදන එකය. බණ්ඩාරනායකගෙන් පසු ජී. ජී. පොන්නම්බලම් සිය දෙමළ සංගමයත් රැගෙන යූ. ඇන්. පී. යෙන් ඉවත්ව ගියේය. එහෙම බැලුවම සමහරු කියන 'බණ්ඩාරනායකට අගමැතිකම නොලැබෙන නිසා පක්ෂයෙන් ගියා'ය. කියන කතාව විහිළුවක්ය.1951 සැප්තැම්බර් 2දා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ විය. ශ්‍රීලනිප උපතේ අරමුණු පැහැදිලි කරමින් එදින නිකුත් කළ පුවත්පත් දැන්වීමක සඳහන් වූයේ ආර්ථික සහ සංස්කෘතික වුවමනාවන් බල ගැන්වීම පිණිස නව පක්ෂය ආරම්භ කරන බවය.

අලුත් පක්ෂය මොන තරම් ඉක්මනින් මිනිස්සු වැලඳ ගත්තාද කීවොත් 56 එක්සත් ජාතික පක්ෂය ආසන 8 බස්සවා බණ්ඩාරනායක මේ රටේ 4 වැනි අගමැති විය. බණ්ඩාරනායක චින්තනය එක්ක මිනිස්සු පෙළ ගැසුණු හැටි කොහොමද කීවොත් ඔහුගේ ආසනය වූ අත්තනගල්ලෙන් ඔහු ලැබූ වැඩි ඡන්ද ගණන 41,997 කි. විරුද්ධ අපේක්ෂකයාට ලැබුණේ ඡන්ද 3,019කි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජාතික පක්ෂයට සපුරාම වෙනස්ය. පක්ෂයේ එදා මෙදාතුර ගමන් මඟ විමසා බැලූවිට එහි පරමාර්ථ පැහැදිලිය. මිනිස්සු ඉල්ලා සිටින්නේ එකී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ය. අවාසනාවට නැත්තේත් ඒකමය. එක්සත් ජාතික පක්ෂයයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි දෙකක් වුණාට එකක් වගේ කියන අයට බොහෝ දේ වැරදිලාය. ඒ දෙක රටේ අනෙක් පක්ෂවලටත් වඩා වෙනස් බව කවදාටත් වඩා ඔප්පු වෙන්නේ දැන්ය. එක මඟක යන පක්ෂ දෙකක් කියා මේ දෙකට කීවාට යන්නේම දෙමඟක ය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරම් අර්බුද වෙනත් කිසිම පක්ෂයක තිබෙන්නට නැත. එක්තරා වකවානුවක එකම පක්ෂයේ, නායකයෝ රංචුවක් සිටියහ. අගමැති දහනායක මහතාද 'ලංකා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය' නමින් පක්ෂයක් පිහිටුවා ගත්තේය. ඒ වගේම, දණ්ඩගමුව මන්ත්‍රි අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ 'සමාජවාදී මහජන පෙරමුණ' වැලිමඩ මන්ත්‍රි කේ. ඇම්. පී. රාජරත්න මහතාගේ 'ජාතික විමුක්ති පෙරමුණ' ඉවනැල්ල මන්ත්‍රි සී. ආර්. බෙලිගම්මන මහතාගේ 'ලංකා ජාතික සංගමය', ගම්පහ මන්ත්‍රි ඇස්. ඩී.

බණ්ඩාරනායක මහතාගේ 'බෝසත් බණ්ඩාරනායක පෙරමුණ', නාවලපිටිය මන්ත්‍රි ආර්. ඊ. ජයතිලක මහතාගේ 'ලංකා ස්වාධීන සම්මේලනය', පදිරිප්පු මන්ත්‍රි ඇන්. යූ. එදිරිමාන සිංහම් මහතාගේ 'දෙමළ කතා කරන්නන්ගේ පෙරමුණ' ආදී වශයෙන් නව පක්ෂ රැසක් පිහිටුවාගෙන තිබිණි. මෙයට අමතරව සමසමාජ පක්ෂයෙන් මොරටුව ආසනය නියෝජනය කළ හිටපු මන්ත්‍රිවරයකු වූ සෝමවීර චන්ද්‍රසිරි මහතාද 'ශ්‍රී ලංකා ජාතික පෙරමුණ' නමින් තවත් පක්ෂයක් පිහිටුවා ගත්තේය. එහෙම බැලුවම මෙහෙව් අභියෝග කිසිම පක්ෂයකට ඇවිත් නැත. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවදාවත් එක්සත් ජාතික පක්ෂය එක්ක දීග කෑවේ නැත. එහෙම දීගෙකට ශ්‍රී ලංකාකාරයෝ කැමැතිත් නැත.
සමහරු කියන්නේ මෛත්‍රි 'ගමේ මනුස්සයෙක්' වෙච්ච නිසා ඔහුට එරෙහිව පක්ෂයේ අය අපහාස උපහාස කරනවා කියලාය. ඒක අතාර්කික, හිස් කතාවක් විතරය.
එකම හේතුව ශ්‍රී ලංකා - යූ ඇන් පී දීගෙට පාක්ෂිකයා අකමැතියි කියන එකය.

'කොහොමද එහෙම කියන්නේ, මැයි රැලිවලට එහෙම ඔය උතුරන්න සෙනඟ ඉන්නේ?' කෙනෙක්ට එහෙම කියන්න බැරිකමක් නැත. හැබැයි පහුගිය කාලයේ මහින්දගේ රැලිවලට සෙනඟ ආව විදිය දැක්කම හැමෝම කීවේ 'මහින්ද දිනුම්' කියලාය. හැබැයි සෙනඟ උතුරපු මහින්ද නැවතුණේ ගෙදරය. 'සෙනඟ කියන්නේත් ඡන්ද දිනන එක කියන්නේත්' දෙකක් බව ඔප්පු කළේ මෛත්‍රිගේ ජයග්‍රහණයමය.
දැන් නැවත කියන්න තියෙන්නේ ඒකමය.

මේ මොහොතේ තේරුම් ගත යුත්තේ නිහඬ පාක්ෂිකයාගේ හදවතේ රිද්මය ය. මේ ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වකරු එක්සත් ජාතික පක්ෂය ය. එහෙත් නගරයේ කොහොම වෙතත් ගමේ මිනිස්සුන්ට එජාපය ගැන ප්‍රසාදයක් නැති බව බැලූ බැල්මට පෙනේ. ඒකාබද්ධ විපක්ෂ සංවිධානය ප්‍රමුඛ 'පොහොට්ටුව' වටා රොක්වෙමින් සිටින්නේ පෙරාපු ශ්‍රී ලංකා කාරයෝය. ඒක නොසලකා හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගමනක් යනවා නම් දෙයියන්ගේම පිහිටය. එහෙම වුණොත් ශ්‍රීලනිපය සමහර විටෙක ජවිපෙටත් පහළ තැනකට ඇදවැටෙන්නට බැරි නැත.

සමහරු මහින්දට කීවේ පක්ෂය කෑවා කියලාය. හැබැයි පක්ෂය කෑවා කීව මහින්ද එදා මෙදාතුර දේශපාලන පක්ෂයක් ලද ඉහළම ජය ශ්‍රීලනිපයට ලබාදුන්නේය. ඒ ශ්‍රීලනිපයට එරෙහිව එජාපය සමඟ හවුල් වූයේ මෛත්‍රිපාල සිරිසේනය. දැන් ශ්‍රීලනිප සභාපති පුටුවේ වාඩිවී පක්ෂය රකින බව කියන අය මෙදා පුංචි ඡන්දයේදී කරන කියන දේ ගැන පාක්ෂිකයන් පමණක් නොව සෙස්සන්ද ඇස් දල්වා බලා සිටින්නේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon