දූෂණයෙන් අපි හතර...

  👤  3070 readers have read this article !
2017-12-14

ලෝකයේ දූෂිත රාජ්‍යයන් අතරින් සිවුවැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමිවී ඇත. වත්කම් ප්‍රතිසංවිධානය සඳහා වන ගෝලීය සංසදය (ට්ජ්ඒඅ) නිකුත් කළ අලුත්ම වාර්තාවකට අනුව ටියුනීසියාව, නයිජීරියාව, යුක්රේනය පිළිවෙළින් පළමු වැනි, දෙවැනි හා තෙවැනි ස්ථාන ලබාගෙන තිබේ.

ලංකාව සම්බන්ධයෙන් මෙවැනි සහතික ලැබීම අලුත් දෙයක් නොවේ. විවිධ අන්තර්ජාතික සංවිධාන ඒ ඒ කරුණු යටතේ කළ සමීක්‍ෂණ වාර්තාවලින් ලංකාවට සෑම අවස්ථාවකම හිමි වූයේ මුල් තැනකි. අවාසනාව වන්නේ ඒ කිසිදු කරුණක් සාධනීය ඒවා නොව නිශේධනීය ඒවා වීමය.

ඉකුත් සමයේ එවැනි වාර්තා නිකුත් වූ විට ආණ්ඩු හිතවාදීන් කියා සිටියේ බටහිර අධිරාජ්‍ය ගැති සංවිධාන 'ඩොලර්' වෙනුවෙන් කරන මෙවැනි සමීක්‍ෂණ වාර්තාවල අරමුණ ලංකාව වැනි රටවල් අපකීර්තියට ලක්කිරීම බවය. ලෝකයේ බලගතුම ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කිරීම ඉවසනු බැරි අධිරාජ්‍යවාදීන් මෙවැනි වාර්තා හරහා ලංකාවේ ආණ්ඩුවට මඩ ගසන බවට ඔවුහු චෝදනා කළහ. ලෝකයේ ඇතැම් ආයතන කරන මෙවැනි සමීක්‍ෂණවල පටු අරමුණු තිබිය හැකි බව ඇත්තය. එහෙත් එක් දෙයක් අපැහැදිලිය. ඒ, තමන් බලයේ සිටියදී බටහිර අධිරාජ්‍ය ගැති යැයි හඳුන්වන ආයතන 'හොඳ' වන්නේත් ඔවුන් නිකුත් කරන වාර්තා 'නිවැරැදි' වන්නේත් කුමන හේතුවක් නිසාද යන්නය.
කන්න ඕනෑ වූ විට කබරගොයාත් තලගොයා වන කතාව ප්‍රකටය. අපේ දේශපාලනඥයන්ටත් ඔවුන්ට කත්අදින හෙංචයියන්ටත්, ලංකාව ගැන නිකුත් වන එවැනි වාර්තා රසමසවුළුය. 'ට්ජ්ඒඅ' ආයතනය නිකුත් කර ඇති අලුත්ම වාර්තාවද මේ දිනවල ඔවුහු තළුමරමින් රසවිඳිති.
කාරණය අනෙකකි.

ශ්‍රී ලංකාව අන්ත දූෂිත රටක් බව අන්තර්ජාතික සංවිධාන කිවයුතු නැත. එය තක්කඩියකු හෝ මෝඩයකු නොවන ඕනෑම කෙනකු පිළිගන්නා සත්‍යයකි. දූෂිතයන්, වංචනිකයන් අල්ලා දඬුවම් දෙනවා කියා මෛත්‍රි - රනිල් හවුල බලය ඉල්ලා ගත්තේ රට එතරම් දූෂිතව තිබූ නිසාය. ජනාධිපතිවරණයේදී 'හැමකෙනකුගේම ෆයිල් මගේ අතේ' යැයි මහින්ද රාජපක්‍ෂ මහතා කීවේ ඒ නිසාය.

ඔහු ඉකුත් දිනෙක කියා තිබුණේ 'අපේ ආණ්ඩු කාලේ සිටි 'හොරු' දැන් ඉන්නේ යහපාලන ආණ්ඩුවේ' බවය. දූෂිතයන්ට, වංචනිකයන්ට තරාතිරම නොබලා දඬුවම් දෙන බව ජනාධිපතිවරයා නිතර ප්‍රකාශ කරයි. බැඳුම්කර කොමිසම හමුවට යෑමට අගමැතිවරයාට පවා සිදුවිය. 1994 බලයට පැමිණි චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවද කියා සිටියේ 'තවක්කාල්' ඇතුළු සියලු දූෂණ හෙළි කරන බවය. එහෙත් ඒ ආණ්ඩුව බලයෙන් පහවූයේ ශ්‍රී ලංකන් එයාර් ලයින් ඇතුළු දූෂණ චෝදනා රැසකට වගඋත්තර නොබැඳය. 1977 බලයට පත්වූ ජේ.ආර්. ජයවර්ධන ප්‍රමුඛ එජාප ආණ්ඩුවට කඩිනම් මහවැලිය ඇතුළු ව්‍යාපෘති රැසක් සම්බන්ධයෙන් දූෂණ චෝදනා එල්ල විය. කෝප් කමිටු වාර්තා හරහා ආණ්ඩු කිහිපයක 'දූෂණ' රැසක තොරතුරු අනාවරණය වුවද වගඋත්තරකරුවන්ට දඬුවම් ලැබුණේ නැත.

දරුවකු පාසලට ඇතුළත් කර ගැනීමට සොච්චම් මුදලක් අල්ලසක් ලෙස ගත් විදුහල්පතිනියක් වසර ගණනකට හිර ගෙදරට යද්දී මහජන මුදල් කෝටි ගණනින් වංචා කළ දේශපාලනඥයන් හා නිලධාරීන් සුවසේ සිටින රටක 'දූෂණ විරෝධය' පුස්සක් වීම පුදුමයක්ද? ලබන 09 වැනිදාට යෙදී ඇති දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනය සැමරීමට රජයට සදාචාරාත්මක අයිතියක් ඇතැයි කිව නොහැකිය. ඊට හේතුව කිසිදු මහා පරිමාණ දූෂණ සිද්ධි සම්බන්ධයෙන් සාර්ථක මෙහෙයුමක් කිරීමට තවමත් අසමත්ව සිටීම නිසාය. 'සිල්රෙදි' නඩුව පමණක් සාර්ථකව අවසන් වූ අතර වැරැදිකරුවන් වූ දෙදෙනා ඇප මත දැන් සිටින්නේ නිදහස්වය.

දූෂණය පිටුදැකිය යුතු යැයි හඬ නැඟුවද පිරිසුදු චේතනාවක් බොහෝ දෙනකුට නැති බව බැලූ බැල්මට පෙනේ. හිසරදයට කොට්ට මාරු කිරීමෙන්වත් අතීසාරයට අමුඩ ගැසීමෙන්වත් පලක් නැත. දූෂණයත්, දූෂකයාත් නිසි ලෙස හඳුනා නොගෙන දූෂණය මර්දනය කළ නොහැකිය. පංගු පේරුවට හෝ තරාතිරමට දූෂිතයන්ට දඬුවම් දීමට යෑමෙන් වන්නේ දූෂණ මර්දනය විහිළුවක් වීම පමණි. දූෂණ විරෝධී ජාත්‍යන්තර දිනයේදී පාලකයන් අවධාරණයට ගත යුත්තේ ඒ කාරණයය. දේශන පැවැත්වීමෙන් පමණක් දූෂණ-වංචා මුලිනුපුටනු දැමීම කෙසේ වෙතත් කප්පාදු කිරීමවත් කළ නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon