විභාගයට පෙනී සිටින දරුවන් ගැන සිතා දුම්රිය සමිති කටයුතු කළ යුතුයි

  👤  4462 readers have read this article !
2017-12-12

ණය සීමාව වැඩි කිරීම සඳහා අය-වැය පනත සංශෝධනය කරනවා

ණය ලබා ගැනීමේ සීමාව වැඩි කිරීම සඳහා අය-වැය පනත සංශෝධනය කිරීමට සිදුවෙනවා යැයි මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර පැවැසීය.
පසුගිය කාල සීමාවේ කාලගුණය අයහපත් වුණා. නියඟය හා ගංවතුරෙන් කෘෂිකර්මයට බලපෑම් ඇතිවුණා. අපට වැඩි වියදම් දරන්න සිදුවුණා. ණය සේවා මට්ටම ඉහළ මට්ටමක තිබුණා. ආර්ථිකයට වගේම අනෙක් ක්ෂේත්‍රවලටත් මෙය දැඩි සේ බලපෑවා. ආනයනික භාණ්ඩ ප්‍රමාණය හා වියදම වැඩිවුණා. පෞද්ගලික අංශයේ ණය ගැනීම් අඩු වුණා. මූල්‍ය ප්‍රතිපත්තිය ස්ථාවර වීම එයට හේතු වුණා. නමුත් පළමු මාස තුනේද හොඳ මූල්‍ය ස්ථාවරයක් ඇතිවුණා. මූල්‍ය අරමුදල අපට ණය දුන්නා.
අපේ බදු සංශෝධන පනත් කෙටුම්පත අප්‍රේල් දක්වා ක්‍රියාත්මක නොකළ නිසා මුදල් ලැබෙන එකක් නැහැ.

අපේ අරමුණ ණය මුදල් ලබා ගැනීම අඩු කිරීමයි. ණය ලබා ගැනීමෙන් ආදායම ලබා ගැනීමට සිදුවෙනවා. ණය සීමාව වැඩි කිරීමට සිදුවෙනවා. ඒ නිසා අය-වැය පනතේ දෙවැනි වගන්තිය සංශෝධනයෙන් ණය සීමාව වැඩි කිරීමට සභාවේ අනුමැතිය ඉල්ලා සිටිනවා.

හමුදාව දමලා කෝච්චි දුවන්න බැහැ : සේවය අත්හැර ගියා සේ
සැලකූ ලියුම් නවත්වන්න

දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය ගැන හිතලා දුම්රිය සේවකයන් සේවය අත්හැර ගියා සේ සලකා ලියුම් නිකුක් කිරීම නවත්වන්න. හමුදාව දාලා කෝච්චි දුවන්න බැහැ" යි ජාතික ලැයිස්තු මන්ත්‍රි බිමල් රත්නායක (ජ.වි.පෙ.) පැවැසීය.
දුම්රිය ඇතුළු ප්‍රවාහනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර තිබෙනවා. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලට වඩා ආයතනවල නිලධාරීන්ගේ ප්‍රශ්න නිසා තමයි මෙවැනි දේ සිදු වෙන්නේ. දුම්රිය වර්ජනයට හේතුව දුම්රිය සේවකයන්ගේ වැටුප් තල පිළිබඳව ගැටලුවක්.

වෘත්තීය සමිති සමඟ නොව නන්දිකාඩල් කළපුවේ සිදුකරන ආකාරයට ප්‍රවාහන ඇමැතිවරයා ප්‍රශ්න විස¼දා ගන්න යන බව පේනවා. වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕනෑ. එම වර්ජනයකට යන්නේ පරිපාලනයේ නොසැලකිල්ල හෝ කඹ ඇදිල්ලේ ප්‍රතිඵලයක් ලෙසයි. වෘත්තීය සමිති සම්බන්ධයෙන් ඇමැතිවරයාගේ ප්‍රවේශයේ ප්‍රශ්න තිබෙනවා.
අත්‍යවශ්‍ය සේවා ආඥාව නිසා ප්‍රවාහනයේ සියලු සේවක නිවාඩු අවලංගු වෙලා. වර්ජනයට සම්බන්ධ නොවන සේවකයන් ලබා ගත් නිවාඩු පවා මේ නිසා අවලංගු වෙනවා. දරුවන් හෙට සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින නිසා ඒ කටයුතුවලට නිවාඩු ලබාගත් මවුපියෝ ඉන්නවා. ඒ නිසා දරුවන්ගේ සාමාන්‍ය පෙළ විභාගය ගැන හිතලා සේවය අත්හැර ගියා සේ සලකා ලියුම් ගහන එක නවත්වන්න. හමුදාව දාලා කෝච්චි දුවන්න බැහැ."

මහ බැංකුව හොරට බැඳුම්කර නිකුත් කර ඇත්නම්
ලංකාව හොර රටක් ලෙස ලෝකයා සලකාවි

පසුගිය රජය රහසිගත ලෙස ණය ගත් බවට අගමැතිවරයා සිදුකර ඇති ප්‍රකාශය වහා නිවැරැදි කළ යුතු බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි බන්දුල ගුණවර්ධන පැවැසීය.
අය -වැය ලේඛනය මඟින් පාර්ලිමේන්තුව නොමඟ යවා තිබෙනවා. රාජ්‍ය අය-වැය ලේඛනයේ මූල්‍ය
කළමනාකරණය දේශපාලනීකරණය වෙලා. ලෝකයේම මූල්‍ය වෙළෙඳපොළ තුළ දැවැන්ත අර්බුදයක් නිර්මාණය කර තිබෙනවා. ලංකා ආණ්ඩුව ණය "හංගලා" තිබෙන බව අගමැතිතුමා ප්‍රකාශ කර තිබෙනවා. මේ ප්‍රකාශය වහා නිවැරැදි කළ යුතුයි. මෙහෙම බොරු කිව්වම විදේශිකයන් ආයෝජනය කරන්නේ නැහැ.

බැඳුම්කර වංචා පිරමීඩ ගනුදෙනුවකට සමානයි. ශ්‍රී ලංකා මහ බැංකුව හොරට බැඳුම්කර නිකුත් කර තිබේ නම් මේක හොර රටක් ලෙස තමයි ලෝකෙට ලේබල් වෙන්නේ.
අපේ රට කිසිම අවස්ථාවක ණය ගෙවීම් ප්‍රමාද නොකළ රටක් ලෙස කීර්තියක් දිනාගෙන තිබෙනවා. අනුමත කළ නොහැකි ණය තිබෙනවායි කීවම විදේශිකයන්ට රට ගැන විශ්වාසය නැති වෙනවා. රටේ මුදල් ක්‍රමය ගැන විශ්වාසය කඩා වට්ටා තිබෙනවා. හොරෙන් අරන් තිබෙනවාද කියා දැන ගත යුතුයි. ඒ නිසා මුළු පාර්ලිමේන්තුවම රැස්වී විපක්‍ෂ මන්ත්‍රිවරයකුගේ ප්‍රධානත්වයෙන් තේරීම් කාරක සභාවක් පත් කර මේ ගැන පරීක්‍ෂණ කරන්න කියා යෝජනා කරනවා.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon