රතන හිමියෝ මහින්දගේ නිවෙසේ රහස් කතාවක

  👤  7637 readers have read this article !
2017-12-10

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය අඟහරුවාදා පැවැත්විණි. එහිදී ජීවන වියදම පිළිබඳ අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමුවිය. අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ ජීවන වියදමට බලපාන අමාත්‍යාංශ අතර අවබෝධයක් තිබිය යුතු බවයි. එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ උඩරට සහ පහතරට එළවළු නිෂ්පාදන මෙන්ම සහල්
නිෂ්පාදනයද සියයට 30කින් විනාශ වී ඇති බවයි.

"ගංවතුර සහ නියඟය නිසා එය විනාශ වී තිබෙනවා. නිලධාරීන් නිසි පරිදි වාර්තා කළේ නැහැ. නිෂ්පාදනය සහ බෙදාහැරීම කඩා වැටිලා. සතොස මඟින් ජනතාව මිලදී ගන්නේ සියයට 35ක් පමණයි. සියයට 65ක්ම භාණ්ඩ මිලදී ගන්නේ වෙනත් තැන්වලින්. එම නිසා සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයටත් අවසරය ලබාදිය යුතුයි" යැයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

"අපි සහල් ගෙන ඒමට පෞද්ගලික අංශයටත් අවසර ලබාදී තියෙනවා" රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා පැවැසීය. ජීවන වියදම ඉහළ යෑම ගැන නිරන්තර චෝදනාවට ලක්වන්නේ රිෂාඩ්ය. "ඔය අවසර දී ඇත්තේ සතොස බලපත්‍ර මඟින් සහල් පෞද්ගලික අංශයට ආනයනය කිරීමට විතරයි. විවෘත වෙළෙඳපොළේ සහල් ආනයනය කිරීමට පෞද්ගලික අංශයට අවසර පත් දෙන්න ඕන" යැයි රාජිත සේනාරත්න පැවැසීය.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයාද රාජිතගේ කතාව අනුමත කළේය. ඉන්පසු පොල් මිල ඉහළ යෑම පිළිබඳව සාකච්ඡා කෙරිණි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ ජීවන වියදමට පොල් මිල ඉහළ යෑම සියයට 33ක්ද, සහල් මිල ඉහළ යෑම ජීවන වියදමට සියයට 27ක් ද බලපා ඇති බවය.
"ජීවන වියදම පහත හෙළීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගත යුතුය. වගාකරුවන්ට සහන ලබාදිය යුතුයි. ජීවන වියදම පිළිබඳව වාර්තා කිරීම සඳහා රජය විසින් නිලධාරියෙක් පත්කළ යුතුයි. පසුගිය එක්සත් ජාතික පක්ෂ රජය යටතේ කේ.එච්.ජේ. විජයදාස මහතා එම වාර්තාකරණය සිදුකළා" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය. "පසුගිය රජය සමයේද ජානකී කුරුප්පු මහත්මිය පත්කරලා තිබුණා. ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යෑම පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදුන්නා. එමඟින් තමයි ජීවන වියදම පහත හෙළීමට අපි තීන්දු තීරණ ගත්තේ" යැයි රාජිත සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා පැවැසුවේ මෙම තීන්දු තීරණ බිම් මට්ටමට යෑමේ ගැටලුවක් ඇති බවයි. "පසුගිය රජය සමයේද එවැනි තීන්දු තීරණ බිම් මට්ටමට ගියේ නැහැ. වෙනම ක්‍රමවේද ක්‍රියාත්මක කළා." යැයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මලික් සමරවික්‍රමගෙන් විමසා සිටියේ "ජීවන වියදම් කමිටුව මසකට කී වතාවක් රැස් වෙනවාද" යන්නයි. "සති පතා රැස්වෙලා අපි තීන්දු තීරණ ගන්නවා" යැයි මලික් පැවැසීය. "පෞද්ගලික අංශයද සහභාගි කර ගනිමින් මේ පිළිබඳ රැස්වීමක් පවත්වන්න" යැයි ජනාධිපතිවරයා යෝජනා කළේය. ඉන්පසු අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ඇතැම් වෙළෙඳ ව්‍යාපාරිකයන්ද සහල් මාෆියාවක් නිර්මාණය කරන බවයි. "ඒ වැඩි ලාභ අපේක්ෂාවෙන්. සහල් හිඟය මඟහැරවීම සඳහා සතොස මඟින් සහල්
ආනයනය කර වෙළෙඳපොළට ලබාදිය යුතුයි. සහල් හිඟය මඟහැරවීමට
පියවර ගත යුතුයි" යැයි අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

පළාත් පාලන ආයතනවල නාමයෝජනා කැඳවීමේදී ක්ෂේත්‍ර නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත්වීමේ නොහැකියාව පිළිබඳ සාකච්ඡා කරන අතර කරුණු පැහැදිලි කළ සුසිල් ප්‍රේමජයන්ත සඳහන් කළේ නීතියට අනුව කෘෂිකර්ම හා ග්‍රාම නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බවයි. මැතිවරණ පනතට අනුව සමෘද්ධි නිලධාරීන්ටත් මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ඉන්පසු අදහස් දැක්වූ චම්පික රණවක සඳහන් කළේ "මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සමෘද්ධි නිලධාරීන්ට මැතිවරණයට ඉදිරිපත් විය හැකි බව ප්‍රකාශ කර තිබෙනවා. එයා නීතිය අර්ථකථනය කරනවා. ඒ ඒකාබද්ධයට වාසි විදියට" යි කියාය.

කෙසේ වෙතත් අමාත්‍ය චම්පික කැබිනට් රැස්වීම අවසන් වීමෙන් පසු පිටතට පැමිණෙන විටම මැතිවරණ කොමිසමේ සභාපතිවරයා අමාත්‍යවරයාට දුරකතන ඇමතුමක් ලබාදුන්නේය.
"ඔබතුමා කැබිනට් මණ්ඩල රැස්වීමේදී මාව විවේචනය කළා නේද..?" යැයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විමසීය. එවිට චම්පික රණවක අමාත්‍යවරයා පැවැසුවේ "ඔව් මම විවේචනය කළා තමයි. වැරැදි ප්‍රකාශ නිකුත් කරන්න එපා. වැරැදි අර්ථකථන දෙන්න එපා" යැයි අමාත්‍යවරයා
සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවෙසේදී පසුගිය බ්‍රහස්පතින්දා විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමක් පැවැත්විණි. එහිදී වරාය ගිවිසුම පිළිබඳ සාකච්ඡාවට බඳුන් විය.

පක්ෂ එකතු කිරීමේ කපුකම එක් පැත්තකින් අසාර්ථක වෙද්දී විරසකව සිටින නායකයන් දෙදෙනකු අනපේක්ෂිතව හමුවිය. ඒ හමුව දේශපාලන ක්ෂේත්‍රයේ කවරදාටත් වඩා උණුසුම් මාතෘකාවක් බවට පත්විය.

කොළඹ ෂැංගි්‍රලා හෝටලය ආරම්භ කරන්නේ මහින්ද රාජපක්ෂ
යුගයේදීය. එය විවෘත කෙරෙන්නේ මෛත්‍රි යුගයේදීය. ඒ අනුව
දෙදෙනාම වැඩේට සම්බන්ධය. ෂැන්ගි්‍රලා හෝටලයේ පැවැති පළමු
විවාහ උත්සවයද විශේෂ එකක් බවට පත්විය. ඒ කලක් තිස්සේ එකිනෙකාට හරිහැටි හමුනොවූ නායකයන් දෙදෙනකු සමීපව 'සම්බන්ධ' කිරීමට ඒ විවාහ උත්සවයට හැකි වූ නිසාවෙනි.

ඇමැති ලක්ෂ්මන් යාපාගේ පුත් දකුණු පළාත් සභා මන්ත්‍රි පසඳ යාපාගේ විවාහය බ්‍රහස්පතින්දා පැවැත්වුණේ ෂැන්ගි්‍රලා හිදීය. පසඳගේ මනාලිය වූයේ එක්සත් ජාතික පක්ෂයේ හිටපු ප්‍රබල ඇමැතිවරයකු වූ වීරසිංහ
මල්ලිමාරච්චිගේ පුත්‍රයා වන ජනක මල්ලිමාරච්චිගේ දියණියකි.

විවාහයට අස්සන් තැබීමට මනාලයාගේ පාර්ශ්වයෙන් ජනාධිපතිවරයාට ආරාධනා කර තිබුණු අතර මනාලියගේ පාර්ශ්වයෙන් ආරාධනා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයාටය. සාමාන්‍යයෙන් මෙතෙක් සිදුවූයේ දෙදෙනාට එකට ආරාධනා කළ උත්සව සඳහා දෙදෙනා එකිනෙකාට හමුනොවන සේ පැමිණීමය.
මෙවර එය එසේ වූයේ නැත. එදිරිවාදිකම් වෙනුවට දෙදෙනා අතර වූයේ ඊට වඩා මැදිහත් ස්වරූපයක්ය.
ෂැංගි්‍රලා හෝටලයේ පැවැති පසඳගේ විවාහයට පැමිණීමට පෙර මහින්ද සිටියේ හිල්ටන් හෝටලයේය. ඒ තවත් විවාහයකට සහභාගි වෙමිනි. මහින්ද පසඳගේ විවාහයට පැමිණියේ ධනසිරි අමරතුංග සමඟය.

හිල්ටන් හෝටලයේ විවාහය නිමා වූ පසු ධනසිරි හෙමින් සැරේ මහින්දව හෝටලයේම පැත්තකට රැගෙන ගොස් නවතාගෙන සිටියේ ඒ වන විටත් මෛත්‍රි ෂැංගි්‍රලා හෝටලයට පැමිණ සිටියේ නැති නිසාය. මහින්ද හිල්ටන් හෝටලයේ තේ පානය කරමින් සිටින අතරතුර මෛත්‍රි ෂැංගි්‍රලා හෝටලයට ආවේය.
"සර් අපේ පැත්තෙන් විවාහය අස්සන් කරන්නේ මහින්ද මහත්තයා. නැකැතටත් තව විනාඩි 10ක් විතර තියෙනවානේ. අපි එතුමා එනකම් ඉමු" මෛත්‍රි ළඟට කිට්ටු වූ ජනක මල්ලිමාරච්චි කීවේය.
"හරි ප්‍රශ්නයක් නැහැ. අපි එතුමා එනකම් ඉමු" මෛත්‍රි පිළිතුරු දුන්නේය.
මහින්ද උත්සව ශාලාවට ඇතුළු වෙත්ම මෛත්‍රි දුටුවේය. මහින්ද පැමිණියේ දෑත් එක්කොට ආයුබෝවන් කියමිනි. මෛත්‍රිද පෙරළා ආයුබෝවන් කීවේය. මහින්ද ඉඳගත්තේ මෛත්‍රි අසුන්ගෙන සිටි මේසයේය.
"කොහොමද මෛත්‍රි?" මහින්ද ඇසුවේය.
"හොඳින් ඉන්නවා සර්" මෛත්‍රි පිළිතුරු දුන්නේය.
"හොඳින් ඉන්නවා නම් කමක් නැහැ" මහින්ද සිනාසෙමින් කීවේය.

"අද වෙඩින් දහයකට ආරාධනා තියෙනවා."
මෛත්‍රි කීවේය.
"මටත් 10ක් තියෙනවා, අද නැකැත් දවසක්."
මහින්ද උත්තර දුන්නේය.
විවාහ උත්සවයේ සියලු දෙනාගේම ඇස් යොමුව තිබුණේ මෛත්‍රි මහින්ද දෙසටය. මෙරට දේශපාලන ඉතිහාසයේ බිහිවූ තරගකාරීම ප්‍රතිමල්ලවයන් දෙදෙනා එකම මේසයක සිනාසෙමින් සිටී. ඒ දසුන අමුතු අත්දැකීමක් විය. දෙදෙනාගේ ඉඟි පවා මේ මොහොතේ සුවිශේෂ බව ඇත්තය.

වරක් මෛත්‍රි මහින්දගේ කනට කර යම් රහසක් කියනු දකින්නට ලැබිණි. රහස අසා සිටි මහින්ද මහ හ¾ඩින් සිනාසුණේය. මේ අතර නැකැත් වේලාව උදා වූ බැවින් දෙදෙනා විවාහය ලියාපදිංචි කිරීමට සූදානම් කර තිබුණු මේසය වෙත ගොස් අසුන් ගත්හ. ඉහළ මාලයේ සිටි කැමරාකරුවකු ඒ දසුන කාචයේ සටහන් කර ගත්තේය. එතැනට පැමිණ සිටි ආරාධිතයෝ දෙදෙනා අසලට පැමිණ ඡායාරූප ගැනීමටත් සෙල්ෆි ගැනීමටත් උත්සාහ ගැනීම නිසා යම්කිසි තදබදයක් ඇති විය. අස්සන් කර අවසන් වූ වහාම මෛත්‍රි පිටත්ව යෑමට සැරසුණේය.

"ඉතින්, මං ආපු වැඩේ හරිනෙ. එහෙනම් මම යන්නම්."
මෛත්‍රි කීවේය.
"ඉන්න සර් කපල් එකත් එක්ක ෆොටෝ එකක් ගහලම යමු" ලක්ෂ්මන් යාපා ඉල්ලා සිටියේය. මෛත්‍රි මහින්ද ද සමඟ මනාල යුවළ සමඟ ඡායාරූපවලට පෙනී සිටියේය.
මෛත්‍රි ජනක මල්ලිමාරච්චිගේ පවුලේ අය සමඟ මඳ වේලාවක් කතා කරමින් සිටියේය. පසුව ජනකලාගෙන් සමුගත් මෛත්‍රි මහින්ද අසලට ගියේය.
"එහෙනම් මම යන්නම්" මෛත්‍රි කීවේය.

"හා හො½දයි එහෙනම්" මහින්ද ද කීවේය. සියලු දෙනා සමඟම ඡායාරූපවලට පෙනී සිටි මහින්ද පිටත්ව යන විට ධනසිරි සහ ජනක හෝටලයේ ඔහුත් සමඟ මෝටර් රථය අසලටම ගියහ.

ඒ අතර අසල සිටි දයාසිරි ජයසේකර මහින්ද දුටුවේය.
"මොකද මේ දයාසිරි, නාමල් පක්ෂ සමඟියට බාධා කරනවා කියන්නේ?"
මහින්ද සැහැල්ලු ස්වරයෙන් ඇසුවේය.
"නෑ සර්, මම කීවේ නාමල් හැමතැනම එහෙම කිය කිය යන නිසා."

දයාසිරි කීවේය.
"බොරුවට එහෙම කියන්න එපා. මතක තියාගන්න, නාමල්ව හිරේ දැම්මා. එයාගේ මල්ලී දැම්මා. අම්මව ප්‍රශ්න කළා. මාව ප්‍රශ්න කරන්න කැඳෙව්වා. ඉතින් දරුවෙක්ට ඇති වෙන වේදනාව නාමල්ට තියෙනවා. එයා, රහත් වෙලා නෑනේ. අනික ඔය සාකච්ඡා මේසවල නාමල් හිටියෙත් නෑ."
මහින්ද කියනවිට දයාසිරි නිහඬ විය.
මහින්ද පිටත්ව ගොස් සුළු මොහොතකින් රනිල් සහ සාගල ද එහි ආහ. ධනසිරි දුටු සාගල "කොහොමද ධනසිරි?" යැයි ඇසුවේය.
"ඉන්නවා වරදක් නැහැ සර්" ධනසිරි උත්තර දුන්නේය.
"මොකද දැන් කරන්නේ" රනිල් ඇසුවේ පළාත් පාලන ඡන්දය ගැනය.

"මම නම් ඉතින් මැරුවත් මහින්දනේ" ධනසිරි කීවේය.
"මොකද අර පොඩි පක්ෂවල ප්‍රශ්නෙට වුණේ? රනිල් යළි ඇසුවේය.
"පොඩි පොඩි ප්‍රශ්න වගයක් තිබුණා. දැන් ඒවා විසඳගෙන යනවා" ධනසිරි කීවේය.
"මොනවා කිව්වත් වැඩක් නැහැ. මිනිස්සු කැමැති මහින්දටනේ. මහින්ද අයින් වුණොත් පොඩි පක්ෂ ඔක්කොම ඉවරයි." රනිල් පැවැසීය.
අනතුරුව රනිල් ධනසිරි සමඟ විනාඩි දහයක් පමණ කතා කරමින් සිටියේය.

රනිල් පිටත්ව ගිය පසු ධනසිරි සිය හිතවතකුට කීවේ "මම යූ. ඇන්. පී.යේ අවුරුදු දහයක් හිටියා. අද තමයි ලොක්කා එක්ක විනාඩි දහයක් කතා කරන්න ලැබුණේ. ඒකත් මම මේ පැත්තට ආපු නිසා" කියාය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon