විමල්ගේ පංචායුධය

  👤  6881 readers have read this article !
2017-12-08

විමල් ජ.වි.පෙ. ඉන්න කාලේ 'ස්ටාර්' විමල්ය. ජ.වි.පෙ. වේදිකාව ඉදිරියේ ඉන්නා සාමාජිකයන්, පක්‍ෂය කෙරෙහි අසීමිත ආදරයෙන් නැඹුරු කරගන්නට විමල්ගේ වාග් විලාසයට පුළුවන්කම තිබ්බේය. ඇතැම් විට ඔහු දෙපැයක් පමණ කතා කළේය. විරුද්ධ පාක්‍ෂිකයන් පවා ඒ වාග් විලාසයට අවනත විය. ඔහුගේ තර්කානුකූල ප්‍රවේශයන් ජ.වි.පෙ. ඔසවා තැබීමට බෙහෙවින් ඉවහල් විය. ප්‍රචාරක ලේකම් නමැති භූමිකාවට සාතිශය සාධාරණය ඉටුකළ ප්‍රමුඛතමයා විමල් බවට තර්කයක් නැත.
'කවදා හරි විමල් පක්‍ෂයෙන් ගියොත්?'

විමල් 'හිට්' එක දවස්වල අයෙක් තවත් ජ.වි.පෙ. ක්‍රියාකාරියකුගෙන් ඇසුවේය.
'පිස්සුද, විමල් කියන්නේ පක්‍ෂය නෙවේ. පිටට විමල් පෙනුණට පක්‍ෂය මහමේරුව නම් විමල් වැලි කැටයක්' ක්‍රියාකාරිකයා එහෙම කීවේය.
'ඒක පිළිගන්න බෑ. ජ.වි.පෙ. ගැන කතා වෙනවට වඩා මිනිස්සු විමල් ගැන කතා වෙනවා' ඒ කතාව අහපු ජ.වි.පෙ. ක්‍රියාකාරිකයා කට කොනකින් උපහාසාත්මක හිනාවක් නංවා ගත්තේය.

'ඉස්සර ඔසී අබේගුණසේකර මතකද?' ක්‍රියාකාරිකයා අසයි.
'ඔව් 'ප්‍රා' කළා කීවේ මැතිනියයි. ප්‍රේමදාසයි එක්ක ජනාධිපතිවරණෙට ආවේ.'
'ඔව්. ඒ විතරක් නෙවේ. විජයගෙන් පස්සේ විජයගේ පක්ෂෙ නායකයත් මිනිහා තමයි. මිනිහාගේ කතා අහන්න මිනිස්සු හෝ ගාලා ආවා. ඒ තරම් සුපර්. හැබැයි අන්තිමට මිනිහා ප්‍රේමදාසගේ ඉත්තෙක් වුණා. එතැනින් පස්සේ ඔසී ඉවරයි.'

'ඒ කියන්නේ විමල් ඔසී වගේද?'
'ගොඩක් දුරට. විමල්ට ඔසීට වඩා තර්කානුකූල බවක් තිබ්බා. ඔසීට විමල්ට තරම් තර්කානුකූල බවක් නෑ. හැබැයි දෙන්නම දක්‍ෂ කථිකයෝ. ඔසී ප්‍රේමදාසට කිට්ටු වුණාම තර්කානුකූල ඔසී නැතිවෙලා වාචාල ඔසී කෙනෙක් මතු වුණා. විමල්ට වුණෙත් ඒකමයි. මහින්දට කිට්ටු වුණා. තර්කානුකූලකම නැතිවෙලා වාචාල විමල් කෙනෙක් බිහිවුණා. 'ඒ විමල් හැන්දෑවට බී ගත්ත කෙනෙක් වගේ ඔහේ කෑගැහුවා.' බලාගෙන ගියාම ක්‍රියාකාරිකයාගේ කතාව වැරැදිම නැත.
ජ.වි.පෙ. හිටපු විමල්ට මිනිස්සු පිස්සුවෙන් වගේ ආදරේ කළේය. ජ.වි.පෙ. 'සීනුව' වූයේ විමල්ය. හැබැයි විමල් ජ.වි.පෙ.න් යන්න ගියේය. ජ.වි.පෙ.න් යන්න කලින් විමල් කළ කතාව පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් පක්‍ෂ මාරුවට කලින් කරපු ජනප්‍රියම කතාව විය. එහෙම කතාවක් කරපු විමල් ජ.වි.පෙ. පළුවක්ම ගලවාගෙන ගිහින් පක්‍ෂයක් පිහිටුවා ගත්තේය. විමල් හදාගත්ත පක්‍ෂය ජාතික නිදහස් පෙරමුණය.

'ජ.වි.පෙ. ඉවරයි' සමහරු කීහ.
'ආයේ ජ.වි.පෙ. නැඟිටිනවා බොරු' තවත් අය කීහ.
හැබැයි කෙටි කාලීන පසුබෑමකට පස්සේ ජ.වි.පෙ. නැඟිට්ටේය. විමල් මහින්දට කිට්ටු වෙද්දී ජ.වි.පෙ. මහින්දට එරෙහි සටන් මඟට පිවිසියේය. අන්තිමට ජ.වි.පෙ.ම මුල්වෙලා මහින්දගේ ආණ්ඩුව පෙරළා දැම්මේය.

විමල්ට සහ ඔහුගේ පක්‍ෂයට වරක් අභියෝගයක් කළේ කඩුවෙල නගරාධිපති බුද්ධදාසය. ඒ ඔහුව පරාජය කරන ලෙසය. බලය උපරිමව තියෙද්දීත් කඩුවෙලට දැමූ විමල්ගේ නියෝජිතයා 'සැට විය ඉක්මවූ බුද්ධදාසට' පරාජය විය. පළාත් සභා මැතිවරණවලදී විමල්ගේ පක්‍ෂය නෙළා ගත්තේම පරාජයන් මිස ජයග්‍රහණ නොවේය. ඔහුට ඉතිරිව තිබුණේ මහින්දගේ ජයග්‍රහණවල 'රැස්වලට වහන්වී' කතා පැවැත්වීමය. ඔහුට නොපෙනී මහා ගිනි ජාලාවක් පක්‍ෂයේ යට ඇවිළෙමින් තිබ්බේය.
'රනිල්ගේ පක්‍ෂයේ මහ ලේකමුත් ආවා' කියා එදා විමල් වේදිකාවල කෑ ගැසුවේය. මෙදා විමල්ගේ ලේකම් විතරක් නොවේ ජාතික සංවිධායක, නියෝජ්‍ය නායක පවා ඔහු දමා ගිහින්ය. දෛවය පුදුමාකාරය.

'ගිය ජනාධිපතිවරණයේදී මහින්ද පැරැදුණ සාධක කිහිපය අතර විමලුත් කෙනෙක්' සමහරු එහෙම කියන තරමට විමල්ව 'නරක' අඩියකට වැටී සිටියේය. විමල් අනෙකාට පහර දෙන්නේ ඔහුගේ දුර්වලම තැන කොනිත්තමින්ය. ඒ විතරක් නොවේ. ඔහු ඒ සඳහා අතිශය පහත් පෙළේ උපක්‍රම භාවිත කරන්නේය.
'සිරිසේන, සිරිසේන කෝ මේ සිරිසේන' යනාදී ලෙස කළ විමල්ගේ කතා ශෛලිය ඔහුට සමීප අයකුවත් අනුමත කරන්නේ නැත. අවසන් විග්‍රහය වූයේ විමල් නැතිවෙමින් යෑමය.
විමල් ඊළඟට කළ ප්‍රකාශය වූයේ 'පාර්ලිමේන්තුවට බෝම්බ ගසනවා' කියන කතාවය. ශිෂ්ට තබා අශිෂ්ට මිනිසකුවත් ප්‍රසිද්ධියේ එහෙම කතා කියන්නේ නැත. එහෙත් විමල් කීවේය.

වරක් ඔහු එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරියේ කළ උපවාසය එකල මෙකල සිදුවූ 'දේශපාලන විහිළු රඟපෑම්' අතර මුල් තැනක් ගත්තේය. අනෙක් පක්‍ෂ කැඩී බිඳී යන හැටි බලමින් විමල් ආස්වාදය ලැබුවේය. ජ.වි.පෙ. සාමාජිකයන් හා ක්‍රියාකාරීන් එම පක්‍ෂයෙන් නික්ම යන විට ඔහු 'ආස්වාදයක්' ලැබුවේය.

'පක්‍ෂය වේගයෙන් පරාජයේ ආගාධය කරා රැගෙන යනවා' කියා ඔහු ජ.වි.පෙ.ට පහර පිට පහර දුන්නේය. අන්තිමට පාරාවළල්ල කැරකෙන්නට පටන් ගත්තේය.
දැන් විමල්ගේ පක්‍ෂයේ උප නායකයා ඔහු දමා ගොස්ය. ජාතික සංවිධායකවරයා ඔහු දමා ගොස්ය. ප්‍රධාන ලේකම්වරයා ඔහු දමා ගොස්ය. ජාතික බලවේගවල ශක්තිය ක්‍රියාකාරීව පෙන්නමින් ත්‍රිකුණාමලයේ ජාතික කොඩිය එසවූ ජයන්ත විජේසේකර පවා ඔහු දමා ගොස්ය. දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය දැන් ඔහුට සමීප නැත.
'දෙකයි පනහේ' කෑලි ගොදුරු කර ගනිමින් ගෙන යන මෙහෙයුම දෙස බලන විට එක අතකින් අප සතුටු වෙනවා. ඒ ජාතික නිදහස් පෙරමුණත්, එහි නායක විමල් වීරවංශත් විනාශ කිරීමෙන් තොරව තමන්ට පවතින්න බැහැ කියන එක මේ සතුරු කඳවුර තේරුම් ගෙන සිටීම ගැනයි' කියා දැන් විමල්ගේ පක්‍ෂයෙන් මාධ්‍ය නිවේදන එයි. ඔවුන් කියන්නේ පක්‍ෂය විනාශ කරන්නේ කුමන්ත්‍රණකරුවන් කියාය. සිරිකොතින් හා ඩාර්ලි පාරෙන් 'රෝ' සම්බන්ධ වී පක්‍ෂය වනසන බව ඔවුන් කියාවි. කුමන්ත්‍රණ යන්න ඔවුන්ගේ 'ඒකාන්ත' වචනයය. වචන දහයකට එකක් 'කුමන්ත්‍රණ' තිබීම අනිවාර්ය අංගයක් වෙලාය.

'2015 ජනවාරි 08 වැනිදායින් පස්සේ යහපාලන කල්ලිය කල්පනා කළා සැබෑ විපක්‍ෂ බලවේග බිමට සමතලා කරලා වසර 20ක පමණ පාලනයක් එක දිගට ගෙන යන්න. ඒත් 2015 පෙබරවාරි 18 වන විට ඒ දේශද්‍රෝහි න්‍යාය පත්‍රය ආපසු හැරවීමට සමත් දැවැන්ත ජන බලයක් අපි නුගේගොඩදී ඒකරාශි කළා. ඒ ක්‍රියාවලියේ මහ මොළකරු වූයේ අපේ පක්‍ෂයේ නායක විමල් වීරවංශ මහතාය. ඔහු 2015 ජනවාරි 09 වැනිදාම කීවා 'අපිට මේ ද්‍රෝහි හවුල පරද්දන්න පුළුවන්. ඒ සඳහා අපි යළි නැඟිටින්න ඕනෙ මහින්ද සමඟයි' කියා. ඔහු කීවා වගේම එදා මහින්ද වටා නුගේගොඩදී ලක්‍ෂ සංඛ්‍යාත ජනකායක් එකතු වුණා. මේ යහපාලන නඩයට එරෙහිව සටන් වදින බව ඒ ජනතාව සපථ කළා'.
විමල්ගේ පක්‍ෂයෙන් එහෙම නිවේදනයක් එයි. ඒ කියන්නේ මහින්දව නැඟිට්ටවීමේ මහ මොළකරු විමල්ය. 'එතකොට අපි සියඹලා ගෙනත්ම නැද්ද?' කියලා මහින්දලා, නාමල්ලා, ඩලස්ලා, දිනේෂ්ලා, බන්දුලලා, කෙහෙලියලා, බැසිල්ලාට හිතෙන්නේ නැද්ද දන්නේ නැත.

විමල්ගේ පක්‍ෂය සහ එහි සලකුණ ගැන අපූරු සටහනක් සමාජ ජාල අතරේ තිබුණේය.
'හරියටම ගැළපෙන පක්‍ෂ ලකුණ විමල්ට තිබ්බේය. ඒ පංචායුධයය. පංචායුධය කියන්නේ කුඩා කල ගෙල පැලැඳ ලොකු වූ විට ගලවා වීසි කරන එකක්ය.'
ඒක වුණේ විමල්ටද, ඔහුගේ පක්‍ෂයටද කියා කියන්න තව කල් වැඩිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්