කොළඹ ක්‍රිකට් පැංචන්ගේ වැඩ

  👤  5393 readers have read this article !
2017-12-08

'කොළඹ පැංචා හරි හපනෙක්' සිරස්තලය 80 දශකයේ මුල් භාගයේ එංගලන්තයේ පුවත්පත්වල පළවූයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් කුලුඳුල් ටෙස්ට් තරගයේදී එංගලන්තයට එරෙහිව ළාබාල අර්ජුන රණතුංග අර්ධ ශතකයක් වාර්තා කිරීම නිසාය. අපේ ක්‍රිකට් කණ්ඩායමේ දක්‍ෂතා නිසා ශ්‍රී ලංකාවට ලෝකයේ අවධානය යොමුවෙමින් පැවැති අතර 1996දී සුපිරි ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලෝක ක්‍රිකට් කුසලානය අපේ කණ්ඩායම දිනා ගැනීමෙන් 'ශ්‍රී ්‍ර ලංකා' නාමයට ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රමුඛස්ථානයක් හිමිවිය.

'ක්‍රිකට්'වලටත් පෙර ශ්‍රී ලංකාව ගැන ලෝකයා දැනගත්තේ 'සිලෝන් ටී' හෙවත් ප්‍රණීත තේ නිසාය. ලෝකයේ ප්‍රථම අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායකගේ 'රට' වශයෙන්ද ලංකාවට ලෝකයේ යම් ජනප්‍රියත්වයක් ලැබී තිබිණි. ලෝකයේ අංක එකේ ත්‍රස්තවාදී සංවිධානය වූ එල්.ටී.ටී.ඊ.ය නිසාද පසු කලෙක ලංකාවට (අප)කීර්තියක් හිමිවිය.

ඒ සියල්ල අබිබවා ක්‍රිකට් පෙරට ආවේය. ක්‍රිකට් හා ශ්‍රී ලංකාව අතර නොබිඳිය හැකි සබඳතාවක් ක්‍රමානුකූලව ගොඩනැඟුණේය. 2014 විස්සයි - 20 ලෝක ශූරයන් බවට පත්වූයේද ලංකාවය. තවත් තරගාවලි කිහිපයකම අනුශූරතාව හිමි කරගත්තේය. ක්‍රිකට් ශේ්‍රණිගත කිරීම්වල මුල් රටවල් අතර අඛණ්ඩව රැඳී සිටීමට ශ්‍රී ලංකාවට හැකිවිය.
එහෙත් මේ වන විට 'ක්‍රිකට්' නිසා ශ්‍රී ලංකාවට හිමිව තිබූ කීර්තිනාමය හා සාඩම්බරය විනාශ වී ඇත. ඊට වගකිවයුත්තේ ක්‍රිකට් ක්‍රීඩකයන් නොව ක්‍රිකට් පරිපාලකයන්ය. ක්‍රිකට් පරිපාලනය හා පක්‍ෂ දේශපාලනය කලවම් වීමත්, ක්‍රිකට් පරිපාලනයේ මුල් පුටුවල සිටි හා සිටින ප්‍රධානීන්ට ක්‍රිකට් නැංවීමට වඩා වෙනත් අරමුණු තිබීමත් මේ විනාශයට මුල්විය.
ක්‍රිකට් කණ්ඩායමක් නොව ඕනෑම ක්‍රීඩා කණ්ඩායමක පසුබැසීම් සිදුවීම නොවැළැක්විය හැක්කකි. අවශ්‍ය වන්නේ වෘත්තීයමය කණ්ඩායමක් විදියට සටනක් දී පරාජය වීමය. එහෙත් පසුගිය කාලයේ ක්‍රිකට් කණ්ඩායම එවැනි පරිණත ක්‍රීඩා විලාසයක් විදහා දැක්වූයේ නැත. ඒ වෙනුවට ඔවුන් තුළින් දිස්වූයේ කණ්ඩායම් හැඟීමක් නැති අයාලේ ගිය කණ්ඩායමක ස්වරූපයකි.

ක්‍රීඩා ඇමැතිවරයා සහ ක්‍රිකට් පරිපාලනය අතර 'හොඳ' සම්බන්ධතාවක් නැති බව ඉකුත් දිනෙක වූ සිදුවීමෙන් පැහැදිලිය. නොඑසේ නම් ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම ඉන්දියාව බලා යෑමට ගුවන්යානයට ගොඩවී සිටියදී යළි කැඳවීමට ඇමැතිවරයා පියවර ගන්නේ නැත. ක්‍රීඩා ඇමැතිවරයාගේ අවසරය නොගෙන අදාළ කණ්ඩායම තරග සංචාරය සඳහා පිටත්ව යෑමට සැරැසීම නිසා මේ අලකලංචිය සිදුවිය.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකරට අනුව අදාළ අවසරය ඉල්ලා ඇත්තේ නියමිත කාලයට පසුවය. දැන ගැනීමට ඇති පරිදි ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායම තෝරා ගත් බවක් හෝ තෝරාගත් ක්‍රීඩකයන්ගේ නාම ලේඛනයක් හෝ ක්‍රීඩා ඇමැතිවරයාගේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර නැත.
නීතියට පිටුපා වැඩ කර ඇත්තේ ක්‍රිකට් බලධාරීන් මිස ක්‍රිකට් ක්‍රීඩකයන් නොවේ. එහෙත් ඊට වන්දි ගෙවන්නේ ක්‍රීඩකයන්ය. යහපත් මානසිකත්වයක් නොමැතිවීමෙන් ක්‍රීඩකයන්ට හොඳ තරගයක් දීමට හැකිවන්නේ නැත. ක්‍රිකට් බලධාරීන් දැන් කුමක් පැවැසුවද වරද ඇත්තේ ඔවුන් අතේය.

ක්‍රීඩා ඇමැතිවරයා පමණක් නොව, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ප්‍රධානියා පවා ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා ඉන්දියාවට යන බව දැන සිට නැත. ක්‍රිකට් ආයතන ප්‍රධානියාද ඒ බව දැන නොසිටියා නම් දැන සිටියේ කවුද? වරද ඇත්තේ කා අතේද? ඇඟ බේරා ගැනීමේ කලාව මිස මේ ප්‍රධානීන් අන් යමක් නොදන්නා ගාණය.
මෙවැනි ක්‍රිකට් බලධාරීන් ඉන්නා රටක 'ක්‍රිකට්' මේ ආකාරයට විනාශ මුඛයට යෑම පුදුමයක්ද? ලක්‍ෂ ගණනින් මුදල් ගැවසෙන 'ක්‍රිකට්' ආයතනයට බොහෝ දෙනා එන්නේ ක්‍රීඩාව නැංවීමට නොව සුඛවිහරණයටය. මලට බඹරුන් සේ එන මේ පිරිස පෙරළා යන්නේ මලද වනසා දමාය. අද අපි භුක්ති විඳින 'ක්‍රිකට්' ඒ ඊනියා මහත්වරුන්ගේ කෙරුවාවේ තරම පෙන්වයි.

ක්‍රිකට් කණ්ඩායම ආපසු ගෙන්වීම වැනි වැඩවලින් නොනැවතී 'ක්‍රිකට්' වැටී ඇති වළෙන් ගොඩ ගැනීමට පියවර ගැනීම ක්‍රීඩා ඇමැතිවරයාගේ වගකීමය. ක්‍රිකට් ආයතනය විසුරුවා හැරීමෙන් පමණක් ප්‍රශ්නය විසඳෙන්නේ නැත. පුටු මාරු කිරීමෙන් 'ක්‍රිකට්' තබා කිසිදු ප්‍රශ්නයක් විසඳිය නොහැකිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්