රජු මීමුරේට පසුබසින බවට ඔත්තුවක්

  👤  3680 readers have read this article !
2017-12-03

1815 පෙබරවාරි 16
හක්කෙටුවෙගල
ප්‍රිය මහත්මයාණෙනි,

මම අද උදේ කන්දේ නුවරින් පිටත්ව ආවෙමි. දැනට හිස්ව ඇති රජුගේ ධාන්‍යාගාරයද බලාගෙන 10.30ට පමණ මෙහි ළඟා වුණෙමි. මෙයට පැයකට පමණ පෙර අපට ඉදිරියෙන් වෙඩි හඬ කිහිපයක් ඇසිණි. අප පැමිණීමත් සමඟ මිලිසිස් සේනාංකය මලබාර් සිරකරුවන් 7 දෙනකුද, රජුගේ නෑයින්ද යැපෙන්නන්ද, තුවාලකරුවන් එක් අයෙක්ද මළ සිරුරු තුනක්ද අත්පත්කරගත් බව ප්‍රීතියෙන් දන්වමි. අපගේ හේවා කණ්ඩායම නුවරට ඇතුළු වනවිට මැලේවරුන් කිහිප දෙනෙක් හා මිනිසුන් 50ක ගෙන් පමණ යුතු කණ්ඩායමක් වෙඩි 10ත් 12ත් පමණ තැබුවේය. පසුව ඔවුන්ගෙන් වැඩි පිරිසක් සිරභාරයට ගන්නට අපිට හැකි විය.

මුත්තල් සාමි අකමැත්තෙන් ගැලවිල්ලක් නැතිව ශ්‍රී වික්‍රම රාජසිංහ රජු යටතේ සේවය කර ඇත. ඔහු නිදහස් කොට අපට විරුද්ධව සටන් කිරීමට එවා ඇත. ඔහු අපට එකතුවන අදහසින් අද ගඟේ තොටුපොළට පැමිණි බවත් කුඩා ඔරුවක් නැතිකමින් එගොඩ වන්නට නොහැකි වූ බවත් කියයි.

රජු දැනට මැද මහනුවර සිටින බව දැනගන්නට ඇත. රජුගේ පසුබැසීම ගැන අපට තොරතුරු ලබාදීමට රටේ මිනිසුන් උදවු කරනු ඇතැයි සිතමි. මා එනවිට බොහෝ දුම්බර වැසියන් මුණ ගැසිණි. අසල ගම්වලින් තවත් අය පැමිණෙති. රටේ මිනිසුන් තවත් මලබාර්වරු 7 දෙනකු අල්ලා බාර දුනි. ඔවුන් සෑම දෙනාම අද කන්දේ නුවරට යවන්නෙමි. අපි මේ අසලම අද රාත්‍රිය ගත කරන්නට තීරණය කළෙමු.

පෙබරවාරි 17
කලින් සිටි රජුගේ වැන්දඹුවන් තිදෙනකු මාතලේ ඊතන්වල නම් විශාල ගමට අයත් මගුලොළුව නම් කුඩා ගමේ සැඟවී සිටින බව සැලකිය හැකිය. ඊයේ සන්ධ්‍යා භාගයේ තවත් මලබාර්වරු හතරදෙනෙක් වනයේ සිට ගෙනෙනු ලැබූහ. දලව සාමි නම් එක් අයෙක් තමා රජුගේ ඥාතියකු බව ප්‍රකාශ කළේය. කුමාර සාමි නම් තවත් අයෙක් සැඟවී සිටින බව ආරංචි වූයෙන් ඔහු අල්ලා ගෙන එනු පිණිස මිනිසුන් යැව්වෙමි. තවත් මලබාර්වරු 25 දෙනකු සහ අශ්වයන් දෙදෙනකු රඹුක්කැලේට සැතපුම් 2ක් දුරින් සිටින බව අද මධ්‍යාහ්නයේ දැනගන්ට ලැබිණි. ඔවුන් එම ගමේ සිරකර සිටින බව විශ්වාස කරමි.

හාරිස්පත්තුවේ ප්‍රධානියාගේ සහෝදරයා වන මිල්ලෑව නිලමේගෙන් පණිවුඩයක් ලැබී ඇති බව ඔබතුමාට දන්වන මෙන් මගෙන් ඉල්ලා ඇත. ඔහු විශ්වාස කළ නොහැකි බව පැවැසූ අධිකාරම ඔහු ආණ්ඩුකාරතුමා ඉදිරියට ඉදිරිපත් නොකළ යුතු බව කීවේය.

රජුගේ ග්‍රාමයක විදානේ වන දම්බරාවේ මේ වනතෙක් ඔහුට භාර දී නැති රාජකීය දේපළ ගැන ගණන් දී ඇත. ඉන් තුවක්කු 32ක් ලෙප්ටිනන් මිලියස්ට දීමට නියම කළෙමි. තවද පැරැණි තුවක්කු කඳන් 62ක් වළක දමා තිබියදී හමුවිය. තවද රෙදි පෙට්ටි 22 විය. ඉන් 7ක පිත්තල භාණ්ඩ තිබිණි. ඒවා සියල්ල දැන්ම ගැනීම නුවණට හුරු නැත. මන්ද ඉන් අදිකාරමගේ ජනයා අපගේ ප්‍රධාන අරමුණ වෙනත් පැත්තකට හරවන්නට ඉඩ තිබෙන නිසාය. එමෙන්ම ඒවා භයානක ලෙස කොල්ලකෑමට ඔවුන්ගේ අවධානය යොමු වීමට ඉඩ ඇත.

මැද මහනුවර සිට සැතපුම් 3ක් අෑත පොද්දල්ගොඩ නමැති ස්ථානයේ රජු සිටින බව ආරංචි වේ. නමුත් හෙතෙම එක් ස්ථානයක වැඩි දිනක් නොසිටිනු ඇතැයි මම සිතමි. එම කොටසේ කිසිම වැසියකු තවම අපට එකතු වී නැත. අපි හෙට තවත් සැතැපුම් 3ක් හෝ 4ක් ඉදිරියට යෑමට සිතා සිටිමු. තවද රජුගේ මිනිසුන් සොයා ගැනීමේ රහස් කාර්යය සඳහා යොදවන මිනිසුන්ට දීමට පගෝදි කීපයක් එවන ලෙසද දන්වමි.

තවත් මලබාර්වරු 12 දෙනකු අද සවස ගෙනෙන ලදී. ඔවුන් ආරක්ෂා කිරීමට නුවරින් මුරකරුවන් යැවීම සුදුසුය. හමුදාව රඹුක්කැලේට පැමිණීම වළක්වන්නට ගම්වාසීහු උත්සාහ දරා ඇත. ගම්වාසීහු අදිකාරමගේ නාමයෙන් ආයුධ ඉල්ලූහ. හදිසියේම 8 දෙනකු වෙන් වූ අතර ඉතිරි අය කඩුවලින් තුවාල කර ගත්හ. ඔවුන් ඇල්ලීමට වීරිය කළ දෙදෙනකු අශ්වයන්ද රැගෙන පලා ගියේය. අපේ හමුදාව එහි පැමිණිවිට බුද්ධසාමිගේ නෑදෑයන් තිදෙනෙක් අපිට එකතු වූහ.

මැද මහනුවරට සැතැපුම් 8ක් පමණ දුර ගමක රජු සිටින බව මේ දැන් ආරංචි විය. ඔහු දුම්බර නැඟෙනහිර කෙළවරේ මීමුරේ නමැති ගමට පසුබසින බව සත්‍ය ලෙසම වටහා ගත හැකිය. මෙයින් ඔහුට කඳුරටට පලා යෑමට මඟ පෑදෙනු ඇත. එවිට රජු අල්ලා ගැනීම බොහෝ දුෂ්කර වනු ඇත.
උදේනි සමන් කුමාර

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්