මහරහතුන් වැඩ සිටි හත්තිකුච්ඡි විහාරය ඵෙතිහාසික අතිකුච්ය වෙහෙරද?

  👤  3569 readers have read this article !
2017-12-03

රාජාංගණේ හත්ථිකුච්ජි විහාරය හෙවත් ඇත්කුස් වෙහෙර ලංකාවට බුද්ධාගම ගෙන ආ ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ දේවානම්පියතිස්ස රාජ යුගයේ සිටම පැවත එන පුදබිමකි.
කුරුණෑගල - අනුරාධපුර මාර්ගයේ ගල්ගමුව පසුකර යන විට 43 වැනි සැතපුම් කණුව අසලින් බටහිර දෙසට පිහිටි මාර්ගයෙන් හැරී සැතපුම් තුනක් පමණ ගමන් කළ පසු මේ පුදබිමට ළඟාවිය හැකිය. ඉතාමත් පහසුවෙන් වාහනවලින් ළඟා විය හැකි මේ ස්ථානය භාවනානුයෝගී භික්ෂුන් වහන්සේ අතර පැරැණි යුගයේ ඉතා ප්‍රසිද්ධියට පත්ව තිබූ ස්ථානයක් බව ඒ අවට ඇති රමණීය දර්ශන හා ගල්ලෙන් අනුවද පැහැදිලි වෙයි.

ක්‍රිස්තු වර්ෂ දෙවැනි සියවසට අයත් මේ ස්ථානයේ ඇති සෙල්ලිපියක අතිකු (චි) ය විහාරය යැයි මෙම පුදබිම හඳුන්වා ඇත. ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට ක්‍රිස්තු වර්ෂ නව වන සියවස දක්වා වූ කාලයට අයත් වන සෙල්ලිපි මේ ස්ථානයෙන් හමුවේ. සාමාන්‍ය සෙල්ලිපි 6ක්ද, වහරළ ලිපි රැසක් ද දක්නට ලැබේ.

අක්කර 300ක පමණ ප්‍රදේශයක් පුරා විසිරී ඇති මෙම පුදබිමෙහි විවිධ කාලවලදී ඉදිකරන ලද පැරැණි ආගමික ගොඩනැඟිලිවල නටබුන් ද දැකගත හැකිය.
ඇතැම් පැරැණි ගොඩනැඟිලි දකින විට අනුරාධපුරයේ ඇති පැරැණි නටබුන් අපගේ මතකයට නැඟේ. දැනට මෙම පුදබිමේ සොයා ගෙන ඇති පැරැණි නටබුන් අතරේ බුදු මැඳුරක්, තෙමහල් ධාතු මන්දිරයක්, උස්මාලකයක් මත ඉදිකරන ලද වටදා ගෙයක්, චෛත්‍ය 8ක්, දාන ශාලාවක් හා ඕවලාකාර හැඩයෙන් යුක්ත වූ ශාලාවක නටබුන්ද ඇත. මේ පුදබිමෙහි පැරැණි ලෙන් 38ක්ද, පොකුණු 16ක් හා පධානඝර ද දක්නට ලැබේ. මෙතෙක් පුරාවිද්‍යාඥයන් විසින් හඳුනා නොගත් ගොඩනැඟිලිද මෙහි දක්නට ලැබේ.

ක්‍රිස්තු පූර්ව තුන්වැනි සියවසේ සිට මෙම ඇත්කුස් වෙහෙර කොතරම් දියුණු තත්ත්වයක තිබුණේ දැයි පැහැදිලි වන කරුණකි. අද වුවද සංචාරකයන් බොහෝ දෙනෙක් දිනපතා මෙය ස්ථානය නැරැඹීමට පැමිණෙති. කිස්තු පූර්ව යුගයේ සිට ලියැවුණු ලෙන් ලිපි ඇතුළු ශිලා ලිපි රැසක්ම මෙහි දක්නට ඇතත් මනා තත්ත්වයකින් රැකුණු අඛණ්ඩව ලියැවුණු එකම ශිලා ලිපියක් හෝ රජකුගේ නමක් සඳහන් සෙල් ලිපියක් හෝ තවම අපට ලැබී නැත. ඉදිරි කාලයේදී එවැනි ශිලා ලිපි හමුවිය හැකිය.

දක්ඛිණගිරි විහාරය, චේතිය ගිරිය (මිහින්තලේ), චිත්තල පබ්බතය (සිතුල්පව්ව), මෙන්ම හත්ථිකුච්ඡි නම්වූ මෙම පුදබිමෙහිද රහතන් වහන්සේලා වැඩ විසූ ස්ථානයක් සේ පැරැණි යුගයේ රටවැසියන් විසින් සලකන ලද බව විසුද්ධිමග්ග නම් ග්‍රන්ථය සම්පාදනය කළ පැරැණි යුගයේ අටුවාචාරීන් වහන්සේ නමක් වූ බුද්ධඝෝෂ හිමියෝ සඳහන් කරති.
සිරිසඟබෝ රජතුමා (ක්‍රිස්තු වර්ෂ 250 - 253) අනුරාධපුර රාජ්‍යය හැර දමා සාමාන්‍ය පුරවැසියකු සේ ඇඳුම් ඇඳගෙන දිය පෙරහන්කඩය පමණක් රැගෙන අනුරාධපුර රාජධානියේ දකුණු ‍ෙදාරටුවෙන් පිටවී දකුණු දිසාවට ගමන් කළ බව සඳහන් වී ඇත. මේ පිළිබඳ විස්තර කරන මහාවංසටීකාව අනුව ඉසුරුමුණිය විහාරය දකුණු දිසාවේ පිහිටි ස්ථානයක සිරිසඟබෝ රජතුමා හිස දන්දුන් බවත්, එහි ගෝඨාභය රජතුමා (ක්‍රි.ව. 253-266) විසින් ඔහුගේ නමින් විහාරයක් කර වූ බවත් සඳහන් වේ.

සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ මෙම හත්ථිකුච්ඡි නම් ස්ථානයේදී බව සමහර විද්වත්හු ප්‍රකාශ කරති. සිරිසඟබෝ රජතුමා තවුස් වෙස් ගෙන මෙහි ඇති ලෙනක තවුස් දම් රකිමින් සිටින අවස්ථාවේදී මිනිසෙකුට හිස දන්දුන් පැරැණි කතා පුවත ඉතා ප්‍රසිද්ධ එකකි. හත්ථවනගල්ල විහාර වංසයේ හා පූජාවලිය, රාජාවලිය හා රාජරත්නාකාරය යන පැරැණි ග්‍රන්ථවල සිරිසඟබෝ හිස දන්දීම පිළිබඳ සඳහන් වන්නේ මූලාශ්‍ර අනුව නොවන ජනප්‍රවාද අනුව බව පෙනේ. බුද්ධඝෝෂ හිමි විසුද්ධි මාර්ගය නම් ග්‍රන්ථයෙහි හත්ථිකුච්ඡි විහාරය ජනාකීර්ණ වූ ස්ථානයක් ලෙසින් සඳහන් කරයි.
අනුරාධපුරයේ සිට රාජාංගණයේ හත්ථිකුච්ඡි විහාරයට දුර සැතපුම් 13කි. මේ මාර්ගය අනුරාධපුරයේ දකුණු ‍ෙදාරටුවෙන් පිටතට අංගමුවෙන් නිලිපාලම හරහා කලාඔයෙන් එතෙර වී තඹුත්ත හරහා රාජාංගණ හත්ථිකුච්ඡි විහාරය සමීපයට පැමිණීමට මාර්ගයක් ද ඇත. ජනප්‍රවාදය අනුව අනුරාධපුරයේ සිට රාජාංගණය දක්වා වැටී ඇති මාර්ගය හඳුන්වන්නේ "රජාගිය පාර" යනුවෙනි.
එසේ ප්‍රකාශ කරන්නේ සිරිසඟබෝ රජතුමා ගමන් කළ මාර්ගය නිසා බැව් මේ ප්‍රදේශයේ ජනතාව අතරේ විශ්වාසයක් හා ජනප්‍රවාදයක් පවතී. මීට අමතරව සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ මෙහි නොව අත්තනගල්ලේ යැයි මතයක්ද පවතී.

සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ මෙම පුදබිමේදී බව සමහර විද්වත්හු ප්‍රකාශ කරති. අපි ඒවා කිහිපයක් විමසා බලමු.
"නොයෙක් ආකාරයේ දාගැබ් නිර්මාණයට උදාහරණ සත්කෝරලය ප්‍රදේශයෙන් පෙන්විය හැකිය. වන්නිහත්පත්තුවේ එගොඩ කෝරලයේ ගල්කඩවල නම් ගමට නුදුරු රාජාංගණයේ උස් මාලකයක බැඳි පෙර වටදාගෙයකින් වසා තිබුණු දාගැබක් ඇත. මෙම දාගැබ අමුතු නිර්මාණයකින් කැපූ ගලින් වටේට බැඳ තිබුණු එකකි.
මේ වටදාගෙය සිරිසඟබෝ රජු හිස දන් දුන් තැන ගොළු අබා රජ විසින් කළ දාගේ යැයි සිතීමට වංස කතා අටුවාවෙන් සාක්ෂි ලැබේ"

(ශාස්ත්‍රීය කතා ලිපි - හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයකු වූ ආචාර්ය චාල්ස් ගොඩකුඹුර - 1971 පිටුව 114)
සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් ස්ථානය පිළිබඳව සී.ඩබ්. නිකලස් මහතා මෙසේ ප්‍රකාශ කර ඇත. හත්ථවනගල්ල වර්තමාන අත්තනගල්ල සිරිසඟබෝ රජතුමා හිස දන් දුන් තැන හැටියට ප්‍රසිද්ධය. මීට ඓතිහාසික සාධක නැත. මේ කතාව වෙනස්කම් සහිතව සෑම වංසකතාවකම වාගේ දක්වා තිබේ.
ගෝඨාභය රජ විසින් සිරිසඟබෝ රජුගේ සිරුර දැවූ තැන වටදාගෙයක් තනවන ලදී. දෙවැනි උපතිස්ස රජ

(ක්‍රි.ව. 517-518) මේ ස්ථානයෙහි පස් මහල් පහයක් කරවා රන් ආලේප කර උළු සෙවිලි කරවීය. දෙවැනි පරාක්‍රමබාහු (ක්‍රි.ව. 1236-1271) වටදාගෙය පිළිසකර කරවා, තුන්මහල් කරවා විහාර භූමියෙහි තම පියා දැවූ බව දැක්වීමට සාදන ලද්දක්ය යන විශ්වාසය බොහෝ මෑතකදී ඇති වූවකි. කලින් සිට රැස් කරන ලද තොරතුරු අනුව එකොළොස්වැනි සියවසේදී රචනා කරන ලද මහාවංසටීකාව අනුව සිරිසඟබෝ රජතුමා දැවූ තැන සාදවන ලද විහාරය තිබුණේ අනුරාධපුරයේ ඉස්සර සමන විහාරයට දකුණිනි.
(පුරාතන හා මධ්‍යතන ලංකාවේ ඓතිහාසික විස්තරය ඩී. ඩබ්. නිකල්ස් 1979 පරිවර්තනය - ආචාර්ය සෝමපාල ජයවර්ධන. පිටුව (142)
හත්ථිකුච්ඡි විහාර වංසය නමින් ග්‍රන්ථයක් ලියූ පූජ්‍ය පණ්ඩිත ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමියෝ එම ග්‍රන්ථයෙහි මෙසේ ප්‍රකාශ කරති.
ශ්‍රී ලංකාවේ රාජාවලියේ ඇති ශේ්‍රෂ්ඨ වීරයකු වශයෙන් ගෞරව කරනු ලබන බෝධිසත්ව ගුණෝපේත ශ්‍රී සංඝබෝධි මහ රජතුමා හිස දන් දුන් ස්ථානය කොතැනද යන ප්‍රශ්නය කාලාන්තරයක් තිස්සේ පුරාවිද්‍යාඥයන් හා උගතුන් අතර සාකච්ඡාවටත්, විමර්ශනයටත් භාජන වී පවතින කරුණකි.

ඒ පිළිබඳ මත දෙකක් පවතී. ගම්පහ දිස්ත්‍රික්කයේ සියනෑ කෝරලයේ පිහිටි අත්තනගලු විහාරය බැව් එක් මතයකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වන්නි හත්පත්තුවේ මී ඔයෙන් එගොඩ කෝරලයේ ගල්ගමුව ආසන්නයේ පිහිටි රාජාංගණ හත්ථිකුච්ඡි විහාරය බැව් අනෙක් මතයයි.

(හත්ථිකුච්ඡි විහාර වංසය, පූජ්‍ය පණ්ඩිත ශාස්ත්‍රපති නොච්චියේ සෝමානන්ද හිමි - දෙවැනි මුද්‍රණය. 1996 පිටුව 21)
මේ පිළිබඳ හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරුන් වන ආචාර්ය රාජා ද සිල්වා හා ආචාර්ය සද්ධාමංගල කරුණාරත්න යන විද්වතුන් විසින් ද ප්‍රකාශ කර ඇති අතර පූජ්‍ය නොච්චියේ සෝමානන්ද හිමි මේ සියලු මත විග්‍රහයට භාජන කරමින් සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ රාජාංගණේ පිහිටි මෙම හත්ථිකුච්ඡි විහාර පුදබිමෙහි බව ඉහත සඳහන් ග්‍රන්ථයේ ප්‍රකාශ කර ඇත.

සහස්සවත්ථුප්පකරණය නමැති ග්‍රන්ථයද හත්ථිකුච්ඡි පුද බිම ඉතා අලංකාර වනසෙනසුනක් බව සඳහන් කරයි. හත්ථිකුච්ඡි විහාරයේ භාවනා කිරීමට යෝග්‍ය වූ ලෙනක් තිබූ බවද බුද්ධඝෝෂ හිමියන් විසින් විසුද්ධි මාර්ගය නම් පැරැණි ග්‍රන්ථයෙහි සඳහන් කරන ලදී. එසේ සඳහන් කරන ලද එම ලෙන දකුණු කන්ද මුදුනේ ඇති ලෙන විය යුතුය. එම ලෙන තුළ දිය පිරි පොකුණක්ද ඇත. සිරිසඟබෝ රජතුමා හිස දන් දුන්නේ මේ ලෙන තුළදී බව මෙහි ජනප්‍රවාදයේ එන කතා පුවතකි.


පැරැණි රජවරුන් මෙම පුදබිම ප්‍රතිසංස්කරණය කිරීමෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාදුන් බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. ඒ අනුව පළමුවැනි අග්‍රබෝධි රජ (ක්‍රි.ව. 575-608) මෙම විහාරයේ ප්‍රාසාදයක් ඉදිකරවා ඇත. නව වැනි අග්‍රබෝධි රජ (ක්‍රි.ව. 831 - 833) විනාශ වී තිබුණු ප්‍රාසාදයක් යළි ප්‍රතිසංස්කරණය කරවා ඇත.

මෙහි ඇති විහාර සලාක පිළිබඳ සෙල්ලිපි රැසක්ම පර්වතයක කොටා ඇත. ඒවා වහරළ ලිපි නමින් හැඳින්වේ. ඒවා අපැහැදිලි තත්ත්වයක පවතී. පැරැණි මුරගල්, සඳකඩපහණ, කොරවක් ගල් හා සිරිපතුල් ගල් ආදී නටබුන් ද මෙහි දක්නට ලැබේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම පුදබිම ආරක්ෂා කරන අතර පුරාවිද්‍යා කෞතුකාගාරයක්ද මෙහි පිහිටුවා තිබේ. මෙම රචකයා විසින් රාජාංගණේ හත්ථිකුච්ඡි විහාරය නමින් ලියූ ග්‍රන්ථයක් 2002 වර්ෂයේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පළකර ඇත.
එස්. රණසිංහ

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්