හුදෙකලාව තිබුණු කැරිබියන් දූපතකින් ක්‍රිස්තු පූර්ව යුගයට අයත් දුර්ලභ සිතුවම් රැසක් මතුවෙයි

  👤  3656 readers have read this article !
2017-12-03

ඉතා දුරස්ථව පිහිටි කැරිබියානු දූපතක මින් අවුරුදු 800කට පමණ පෙර විසූ ජනතාවක් විසින් අඳින ලද චිත්‍ර සමූහයක් එම දූපතේ ගන අඳුරෙන් පිරී ගිය ගල් ගුහා තුළ තිබී මෑතදී සොයා ගන්නට පර්යේෂකයන් පිරිසකට හැකිවී තිබේ. ගල් ගුහාවල බිත්ති මත අඳින ලද චිත්‍ර දහස් ගණනක් තමන්ට හමුවිණැයි පර්යේෂකයෝ කියති. මෙම චිත්‍රවල හැඩතල අනුව පෙනී යන්නේ ඒවා ඇන්ද පුද්ගලයන්, මනසෙහි කිසියම් ව්‍යාකූලතාවක් ඇති කරන මත්ද්‍රව්‍යයක් භාවිත කර ඇති බව යැයිද මෙම පර්යේෂකයෝ කියති. මෙම චිත්‍රවලින් පිළිබිඹුවන මිනිස් රූප කෙමෙන් ශාක බවට හෝ සතුන් බවට වෙනස් වේගෙන යන ආකාරයක් දැක්වෙන හෙයින්, අමතකව ගිය අතීත සංස්කෘතියක් පිළිබඳ යම් දෘෂ්ටියක් විශේෂඥයන් තුළ එයින් ජනිත වනු ඇතැයිද පර්යේෂකයෝ සඳහන් කරති. මෙහි ඇතැම් චිත්‍රවලට ප්‍රස්තුත වී ඇත්තේ වර්ගයා බෝ කිරීමට මිනිසාට ඇති ශක්තිය හෙවත් සරුබව හා උප්පත්තිය යැයිද විශේෂඥයෝ විශ්වාස කරති.

මෙම චිත්‍රවලින් සමහරක් වර්ණ ගැන්වී හෝ රේඛාවලින් පමණක් නිර්මාණය වී තිබෙන අතර, ඇතැම් චිත්‍ර මෘදු බිත්තිවල ඇඟිලි තුඩුවලින් ඇඳ තිබෙන බව පෙනේ යැයිද වඩාත් විස්තරාත්මක එම චිත්‍ර පූර්ව ශිලා යුගයට අයත් පාෂාණ කලා අතර බහුල යැයිද විශේෂඥයෝ ප්‍රකාශ කරති.

එය පූර්ව ශිලා යුගයේ සිටම දකුණු යුරෝපයෙහි ප්‍රචලිතව තිබුණු තාක්ෂණයකට අයත් කලාවක් බවද කියැවේ. මනුෂ්‍යත්වය ආරෝපිත හෙවත් මිනිස් රූ පිළිබිඹු කරන මෙම චිත්‍රවලින් බොහෝමයක් ශාක හෝ සතුන් බවට හැරෙන ආකාරයක් දැක්වෙන සේ නිර්මාණය වීමේ හේතුව, මෙම නිර්මාණකරුවන් "කොජෝබානා, නමැති ගසේ බීජවලින් නිපදවන ලද කොහොබා නම් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම විය හැකි යැයිද මේ පිළිබඳ ගැඹුරු අධ්‍යයනයක යෙදුණු විශේෂඥයෝ විශ්වාස කරති.

ලීසෙස්ටර් විශ්වවිද්‍යාලයේ සහ බි්‍රතාන්‍ය කෞතුකාගාරයේ පර්යේෂකයන් කණ්ඩායමක්, දැන් මිනිස් වාසයක් නැති මෝනා නමැති කැරිබියන් දූපතෙහි කළ ගවේෂණයේදී හැත්තෑ ගණනකින් සැදි ගල්ගුහා සංකීර්ණයක් ඔවුනට හමුවිය. 2013 ආරම්භ වී වසර තුනක් තිස්සේ පැවැත්වුණු ගවේෂණයේදී එම ගල් ගුහා තුළින් පර්යේෂකයනට හමුවුණු චිත්‍ර ක්‍රි.පූ. 1200 සිට 1590 දක්වා කාලය තුළ අඳින ලද සිතුවම් යැයි විශ්වාස කැරෙයි. ප්‍රාග් කොළොම්බියානු යුගයට අයත් සේ සැලැකෙන මේ චිත්‍රවලින්, මෙම දූපතේ වාසය කළ ජනතාවගේ කිසියම් ආධ්‍යාත්මික විශ්වාස සමුච්චයක් පිළිබිඹු වන බව පෙනේ යැයිද පර්යේෂණ කණ්ඩායමේ නායක ආචාර්ය ජාගෝ කූපර් "මේල් ඔන්ලයින්" පුවත් සේවයට පැවැසීය.

මෙම චිත්‍රවලින් වැඩිම ගණනක් ඇඳ තිබෙන්නේ ගල් බිත්ති දෙකක් අතර ඉතාම පටු පරතරයක් පමණ තිබෙන තැන්වල එම බිත්ති මතය. එහෙයින් ඒවාට ළඟාවීම සඳහා එම පටු ඉඩ ඔස්සේ බඩගාගෙන රිංගා යන්නට පර්යේෂකයන්ට සිදුවී ඇත. මෙම පර්යේෂකයන් ඔවුන්ගේ විශේෂ හිමිකමක් අත්පත් කර ගැනීමට යන ගමනක් සේ සලකා ගෙන එහි පිවිසෙන්නට ඇතැයිද සමහර විට ඔවුන් ඒ තැන්වල තතු දන්නා කෙනකු කැටුව යන්නට ඇතැයිද තමා විශ්වාස කරන බව ආචාර්ය කූපර් පැවැසීය. ගුහා තුළ ස්වාභාවික ආලෝකයක් පවා නැති දුරකට යන පර්යේෂකයනට සිත් බෙහෙවින් සසල කරන අද්භූත අමුතුම පරිසරයකට පිවිසෙන බවක් දැනෙන්නට ඇතැයිද ආචාර්යවරයා ප්‍රකාශ කරයි.
ගෙවී යන කාලයත් සමඟ විනාශවීමේ තර්ජනයට ලක්වූ ලෝකයේ නොයෙක් තැන්වලින් මෙතෙක් හමුවී ඇති මෙවැනි "පාෂාණ කලා" (අධජඬ-චපබ) සම්බන්ධයෙන් පැවැත්වුණු අධ්‍යයනවලදී අනාවරණය වුණු තොරතුරු මෙම ගුහා සොයා ගැනුණායින් පසු උඩු යටිකුරු වී යැයි මෙම අධ්‍යයනයේ ප්‍රතිඵල ඇතුළත් කොට සැකැසුණු ලේඛනයේ සහාය කතුවර ඇලිස් සැම්සන් ප්‍රකාශ කරයි. ඔහු ලීසෙස්ටර් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව හා පැරැණි ඉතිහාසය පිළිබඳ ආචාර්යවරයෙකි. ස්වාභාවික ලෝකය හා අතිශය අද්භූත ලෝකයක්ද අතර දේශ සීමාව මෙම චිත්‍රවලින් පිළිබිඹු වෙතැයිද ඔහු සඳහන් කරයි.

මෙම චිත්‍ර නිර්මාණය කළ කලාකරුවන් ගල්ගුහා තුළට ගොස් ඇත්තේ ඒ අරමුණ ඇතිවම බවත් ඔවුනටම ආවේණික චිත්‍ර රටාවක් ඔවුන් අනුගමනය කර ඇති බව මෙන්ම එම නිර්මාණවල අර්ථ ගැබ්ව ඇති බවද තම පර්යේෂණවලින් පැහැදිලි වූ බවද පර්යේෂකයෝ කියති. චිත්‍ර ඇඳීමේදී ඔවුන් කොහොබා නමැති මත්ද්‍රව්‍යය පාවිච්චි කර ඇති නමුත් ඔවුන් ඊට ඇබ්බැහි වීමේ හේතුව මෙම ගුහා තුළ නිරන්තරයෙන් පවත්නා දැඩි ආර්ද්‍රතාව විය හැකිය. එකිනෙකට වෙනස් නිර්මාණවලින් යුත් මෙම ගුහා චිත්‍ර සමූහයෙන් ඒ යුගයේ සමාජ ජාලයක් පිළිබිඹු වෙතැයි ලීසෙස්ටර් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා පෞරාණික ඉතිහාස පීඨයේ ආචාර්ය උපාධි අපේක්ෂක වික්ටර් සෙරානෝ ප්‍රකාශ කරයි. පෝටෝරිකන් වැසියකු වශයෙන් මේ අනාවරණය තමාට ඉතා වැදගත් යැයි පැවැසූ සෙරානෝ මෝනා දූපතට ගොස් පදිංචි වූවන් තමාගේ මුතුන් මිත්තන් විය හැකි යැයිද කීවේය.

මෙම ගුහා චිත්‍රවලින් දැක්වෙන වඩාත් පුළුල් අර්ථ ඉදිරි අවුරුදු පහ තුළදී තමන්ට අවබෝධ කර ගන්නට හැකි වනු ඇතැයි මෙම පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.
පරිවර්තනය
ප්‍රේමචන්ද්‍ර අල්විස්

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්