රහස් කතා

  👤  3634 readers have read this article !
2017-12-01

'කොළේ ඉරාගෙන ඇඟේ හලාගෙන පස්සේ අඬන්න එපා'
සීමාව පැන්න එජාප මන්ත්‍රින්ට මෛත්‍රි 'තරවටු' කළේ එහෙමය.
'ජනපතිට බැනලා වැඩ වරද්දා ගන්න එපා' මෛත්‍රිට බැන්න එජාප මන්ත්‍රින්ට රනිල් කීවේ එහෙමය.
'යකෝ, වෙන් වෙලා යනවා කීව දෙන්නා වෙන් වෙන පාටක් නෑනේ.'
වෙන් වෙනකම් බලන් හිටිය සමහරු කියන්නේ එහෙමය.

දේශපාලන 'අ' 'ආ' තේරෙන ඕන කෙනෙක් දන්නා එක දෙයක් තිබේ. ඒ රනිල් - මෛත්‍රි වෙන්වීම කෙසේ වෙතත් මහින්ද - මෛත්‍රි එක්වීමක් නම් නැති බවය.
'මොකද නැත්තේ, මහින්දයි - මෛත්‍රියි දෙන්නා රහසේම සාකච්ඡා කරලා'
දේශපාලන ගොසිප් කියවන ඇතැමෙක් එහෙම කියන්නේ තලුමරමින් රස කරලාය.
'අපේ ජනාධිපති අපි බලාගන්නම්'

කියා එකපාරටම මහින්ද කියනකොට අර රහසේ හමුවුණා කියන කතාව නැඟලාම ගියේය. එතෙක් මෛත්‍රිට පළු හැලෙන්න බැන්න මහින්දවාදීන් මෛත්‍රිත් වීරයෙක් කරගෙන මොහොතක ආස්වාදයක් වින්දේය. ඕකම ගිය මහ මැතිවරණයට මහින්දට මෛත්‍රි නාමයෝජනා දෙන්න තීන්දු කරනකොට මහින්දවාදීන් අතර දකින්නට පුළුවන් විය. මෛත්‍රි ජනාධිපති ලෙස පෙනී ඉන්නකොට ඔවුන්ට මෛත්‍රි අපුලය. මෛත්‍රි - රනිල් එකට ඉන්න කොට ඔවුන්ට මෛත්‍රි නයාට අඳුකොළ ගානය. හැබැයි මහින්ද හමුවෙනකොට 'ෂෝක් ජනාධිපති'ය.

රනිල් ඉන්දියාවේ ගිහින් මෝඩි හමුවෙන වෙලාවේ රනිල්ට මෝඩි අපූරු කතාවක් කීවේය.
'මෛත්‍රි එක්ක එකතු වෙලා රට ගොඩනඟන්න. එතුමටත් ඒක කියන්න'

කොරියන් ගිය මෛත්‍රි කියන්නේ යහපාලන ආණ්ඩුව රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන්න බවය.
මේ රටට එරෙහිව ලොව පුරා ක්‍රියාත්මක 'දෙමළ ඩයස්පෝරා' බලය වෙනස් කළේ මේ ආණ්ඩුවය. ඒ දවස්වල දඹදිව යන හාමුදුරුනමකටවත් නිදහසේ වන්දනා කරන්න ඉඩක් ලැබුණේ නැත. එහෙම වැඩිය භික්ෂුන්ට පහර දුන් අවස්ථා එමට විය. වරක් ෆොන්සේකා ඇමෙරිකාවට ගිය අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගන්නට ජාත්‍යන්තරය කටයුතු කළේය. මහින්දට රටින් යන්න බැරි තැනට පත්විය. අරාජික රටවල් කිහිපයක් හැරුණුකොට අනෙක් සියලු රටවල් ශ්‍රී ලංකාවට එරෙහි විය. සම්බාධකවලට අදාළ පිඹුරුපත් දිනෙන් දින උග්‍රව සැකසිණි. ලෝකය පුරා 'කොන් වූ' රටක් බවට ලංකාව පත්විය.

ඒ කාලයේ මේ රටේ තිබ්බ 'චෝගම්' එක එදා මෙදාතුර මෙහෙ තිබ්බ 'ලොකුම ජාත්‍යන්තර සමුළුව' ලෙස පම්පෝරි ගැහුවත් ඒකට ආව ජාත්‍යන්තරයේ 'නායකයෝ' අපිව දමා තිබ්බේ 'දෙකේ කොළේට'ය. කැමරන්ලා මෙහෙට ඇවිත් 'කිණ්ඩි' දමා යන්න ගියේය. එවක ජිනීවා යෝජනාවලට පක්ෂව ඉන්දියාව පවා හිට ගත්තේය. එහෙව් රටේ අගමැති මේ ආණ්ඩුව යටතේ ලංකාවට ඇවිත් 'අපි ඔබේ රටට උදවු කරනවා' කියද්දී මහින්දවාදීන් ඒක විවේචනය කරන්නේ ලංකාව ඉන්දියාවේ කොලනියක් කරගන්න යනවා කියලාය. මෝඩි යහපාලන ආණ්ඩුවේ නායකයන් දෙදෙනාගේ දෑත් අල්ලාගෙන ළෙන්ගතුකම පෙන්වද්දී මහින්දවාදීන් කීවේ 'මේ ලංකාව අල්ලගත්ත සතුට සමරනවා' කියලාය.
ඒත් මහින්දවාදීන් එජාපයට කියන්නේ 'අපි එකතු වෙලා උඹලට පාඩමක් උගන්වනවා' කියලාය. ඒ කතා දුකට කියන කවි සීපද වර්ගයේ ඒවාය.

ශ්‍රී ලනිපය 'එකතු වුණාම දිනන්න පුළුවන්' කියන තර්කය නිකමට අරගෙන බැලුවොත් ඒත් එන උත්තරය 'පරාජය' කියන එකය. මෛත්‍රි 2015 දිනන්නේ ශ්‍රී ලනිපයෙන් මිනිස්සු අරගෙන ඇවිත් නොවේ. හිටිය සියලු දෙනාම එජාප සහ අනෙක් පක්ෂවල පාක්ෂිකයන්ය. එහෙම වෙලත් එදා මෛත්‍රි දිනුවේය.

දැන් දේශපාලනයේ චරිත කල් ඉකුත් වෙලාය. එහෙම බැලුවම මහින්ද හිටිය පමණින් ඡන්දයක් දිනන්නේ නැත. පුද්ගල සාධක මත පක්ෂයක පැවැත්ම තීරණය කිරීම මෛත්‍රි ඉවර කළේය. මහින්දගෙන් තොරව දිනන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට කොහෙත්ම බැරි බව 'මහින්දවාදීන්ගේ' ඒකායන අදහසය. හැබැයි මහින්ද හිටපු පක්ෂය දෙවරක් පරාද බව ඒ අයට අමතකය. මහ ලේකම් ලෙස ඉන්නකම් පක්ෂය දිනවූ මෛත්‍රි මහ ලේකම් කමෙන් ගියවිට පක්ෂය පරාජය විය.

ලලිත්ලා ගාමිණීලා ගියවිට එක්සත් ජාතික පක්ෂය පරාජය විය. මෛත්‍රි ගියවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පරාජය විය. මහින්ද 'අනුහස් සහිත නායකයෙක් නම්' දෙවරක් පරදින්නේ කොහොමද කියා කවුරුවත් අහන්නේ නැත. මැතිවරණයෙන් විතරක් නොවේ, ඔහු මහ මැතිවරණයට ඉල්ලූ දිස්ත්‍රික්කයෙන්ද අත්වූයේ නූලක ජයක්ය. ඒ නිසා ඔහුගේ එක්වීම අමුතු ජයග්‍රහණයකට පාර කැපීමක් වන්නේ නැත.

මේ ආණ්ඩුව හදන්න එක් වෙන්නේ එකකට එකක් වෙනස් අරමුණු තිබ්බ බලවේග රැසක් එකට එකතු වෙලාය. සිවිල් සංවිධානවල අරමුණු වෙනස්ය. හෙළ උරුමයේ අරමුණු වෙනස්ය. ජවිපෙ අරමුණු වෙනස්ය. එජාප අරමුණු වෙනස්ය. දෙමළ සන්ධාන අරමුණු වෙනස්ය. ශ්‍රී ලනිප අරමුණු වෙනස්ය. මුස්ලිම් කොංග්‍රස් අරමුණු වෙනස්ය. හැබැයි ඔවුන් හැමෝටම ප්‍රධාන එක අරමුණක් තිබුණි. ඒ 'මහින්ද ආණ්ඩුව' පෙරළීමේ අරමුණය. ඒක ඔවුන් කළේය. ඉතින් නොගැළපෙන අරමුණු සිය ගාණක් අතරේ ගැළපුණු එකම අරමුණ රාජපක්ෂ පාලනය පෙරළීම නම්, ඒ අරමුණ මෛත්‍රි පාවා දෙතැයි කියා සිහිනෙකින්වත් කෙනකුට හිතන්න බැරිය.

වරක් (2015 මැයි 06) සන්න අරගලය නමින් උපුල් ශාන්ත සන්නස්ගලයන් රචිත පොත් 15ක් එළිදැක්වීමේ උත්සවයකදී මෛත්‍රි සන්නස්ගලගේ කෘතියක සඳහන් වූ කාරණයක් මෙසේ උපුටා දැක්වූයේය.

'ලෝකයේ ලිහන්න බැරි ගැට දෙකක් තියෙනවා. එකක් ජේ.ආර්.ගේ ව්‍යවස්ථා ගැටය. අනෙක හෝටල්වලදී හොදි දාන ගේ‍රාසරි බෑග් ගැටය. එක්කෝ කඩා දැමිය යුතුය. නැත්නම් දත් ඇඳි දෙකට මැදි කොට ඉරා දැමිය යුතුය. මේ කාරණා දෙකේදීම හොඳි ඇඟේ හලා ගැනීමට ඉඩ තිබේ. ජේ.ආර්ගේ ගැටය ලිහා ගැනීමට ගොස් උගුලට හසුවූ දේශපාලකයෝද, ගෙල සිරකර ගත් දේශපාලකයෝද, හොදි ඇඟේ හලා ගත් දේශපාලකයෝද, උගුරු දණ්ඩ කඩාගත් දේශපාලකයෝද බොහෝය.'
මේ උපුටනයට පස්සේ මෛත්‍රි මෙහෙම කීවේය. 'හැබැයි මමයි අගමැතිතුමයි හොදි ඇඟේ හලා ගන්නේ නැතිවම ජේ.ආර්.ගේ ගැටය ලිහාගත්තා'
ඒ කතාව මහින්දවාදීන් සේම ආණ්ඩුවේ අයත් මතක තියා ගන්න එක හොඳය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්