කොලොන්නාව, කඩුවෙල ගංවතුරෙන් විපතට පත් පවුල් 40,000කට තවමත් වන්දි ගෙවා නෑ

  👤  2812 readers have read this article !
2017-12-01

"කොළඹ දිස්ත්‍රික්කයේ කොලොන්නාව සහ කඩුවෙල ප්‍රදේශවල ගංවතුරෙන් විපතට පත් පවුල් හතළිස් දහසකට අධික පිරිසකට වන්දි ගෙවලා නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පැවැසීය.

රක්ෂණ භාර අරමුදලෙන් වන්දි ලබා දෙන බව කීවත් වන්දි ලබාදීම නිසි පරිදි සිදුවෙලා නැහැ. වන්දි ලබාදීමේදී අක්‍රමිකතා, දූෂණ ආදිය සිදුවෙලා."
"ගංවතුරට යටවූ එකම ඉඩමේ ඉදිකර තිබුණු නිවාස දෙකකට වන්දි මුදල් ගෙවා තිබෙන්නේ, දෙවිදිහකට. කොලොන්නාව ප්‍රදේශයේ තක්සේරු කටයුතු
කළේ ගොඩනැඟිලි
පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්. කඩුවෙල කටයුතු කළේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, සංවර්ධන නිලධාරීන්, ග්‍රාම නිලධාරීන් හා කාර්මික නිලධාරීන්."
ආපදා කළමනාකරණ ඇමැති - කොලොන්නාව ගොඩනැඟිලි පරීයේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදවා ගත්තේ කාර්මික නිලධාරීන්ගේ හිඟකම නිසයි. මේ දෙපැත්තෙන්ම ලබාගන්නා තොරතුරු වන්දි මුදල් ලබාදීම සඳහා
රක්ෂණ භාර අරමුදලට යොමු කරනවා.

සුනිල් හඳුන්නෙත්ති - එකම ගඟෙන් තමයි ගංවතුර ගැලුවේ. නමුත් වන්දි ලබාදීමේදී එකම අලාභයට දෙවිදිහකට වන්දි ලබාදීම ගැටලුවක්. අලාභහානි නොවුණු තැන්වලටත් වන්දි ගෙවලා තියෙනවා. මෙතැන ජනතාවට ගැටලුවක් ඇතිවී තියෙනවා. වන්දි මුදල් නොලැබුණු අයත් ඉන්නවා.
අනුර ප්‍රියදර්ශන යාපා - එවැනි සිද්ධීන් තිබේ නම් අපිට
පරීක්ෂණයක් කරන්න පුළුවන්. අපිට අභියාචනා ඉදිරිපත් කරන්න.

සුනිල් හඳුන්නෙත්ති බොහොම හොඳයි. ඇමැතිතුමා. හම්බන්තොට වරාය විකුණනවට අපි කැමැති නෑ. වරාය සඳහා ගිවිසුම අස්සන් කළාට පස්සෙත් ණය වාරිකයක් ගෙවලා."

මෙගා පොලිස් ඇමැතිගේ
ප්‍රගතිය අන්තිමයි

"මහ නගර හා බස්නාහිර සංවර්ධන (මෙගා පොලිස්) ඇමැතිතුමාගේ ප්‍රගති වාර්තාව අන්තිම සවුත්තුයි. ලබා දුන් මුදලින් භාගයක්වත් වැඩ කර නැහැ. ඉතිරි වැඩිපුර මුදල් දෙන්න මුදල් ඇමැතිතුමාට මොළේ අමාරුවක් තියෙනවාද" කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රි උදය ප්‍රභාත් ගම්මන්පිල (එජනිප) පැවැසීය.
මෙගා පොලිස් - වඩාත් නිවැරැදිව කියනවා නම් මෙගලෝ පොලිස්. එකට ගැට ගැසුණු නාගරික ප්‍රදේශ කිහිපයක්. මෙය මීට වසර 100කට වඩා පැරැණි සංකල්පයක්. නාගරිකයේ ඇතිවන ගැටලුවලට විසඳුම් ලබාදීමේ අරමුණින් තමා මෙගා පොලිස් ඇතිවුණේ.

ශ්‍රී ලංකාවේ මේ මොහොතේ ගස්වැල් කඩා වැටිලා. පාරවල් යටවෙලා. විදුලිය නැහැ. විදුලි රැහැන් කැඩිලා ජනතාව දැවැන්ත අපහසුවකට ලක්වෙලා. නාගරික ජනතාව දැවැන්ත දුෂ්කරතාවකට මුහුණදී තිබෙන්නෙ. 2010 දී මහා වර්ෂාවකින් ගංවතුරක් ඇතිවුණා. කොළඹ පමණක් නොව පාර්ලිමේන්තුවත් යටවුණා. එදා නාගරික සංවර්ධන අධිකාරිය තිබුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාටයි. ලේකම් වුණේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. එතුමා අද වගේ මාධ්‍ය සන්දර්ශන දැම්මේ නැහැ. අද වගෙ පත්තරවල පිටු ගණන් දැන්වීම් දැම්මෙ නැහැ. ඇළ මාර්ග අවහිරතා නැති කළා. අනවසර ඉදිකිරීම් ඉවත් කළා. කොළඹ නගරය පුරා, පහත් බිම්වල වැව් පද්ධතිය ඉදිකර ජලය රඳවා ගත්තා. කසළ බැහැර කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළා. ගඳ ගහපු කොළඹ නගරය සංචාරකයන් ප්‍රිය කරන නගරයක් බවට පත් කළා.

සල්ලි දෙන්නෙ නැහැ කියා ඇමැතිතුමා මාධ්‍ය සන්දර්ශන පවත්වමින් හඬා වැටෙනවා. එතුමාට මේ මට්ටමට හෝ සල්ලි ලබාදීම ගැන සතුටු විය යුතුයි. මොකද එතුමාගෙ ප්‍රගති වාර්තාව අන්තිම සවුත්තුයි. 2016 දී පුනරාවර්තන වියදම 72.4%යි. ප්‍රාග්ධන වියදම 40% යි. ඒ කියන්නෙ ලැබුණු මුදලින් භාගයකට අඩුයි. මුදලින් භාගයක්වත් වැඩ කර නැහැ. ඉතින් වැඩිපුර මුදල් දෙන්න මුදල් ඇමැතිතුමාට මොළේ අමාරුවක් තියෙනවායැ. ඒ නිසා ගිය වසරට වඩා මේ වසරේ සොච්චමක් හරි වැඩි කළා නම් සතුටු විය යුතුයි.
දෙන දේ හරියට වියදම් කළ හැකි නිශ්චිත ක්‍රමවේදයක් භාවිත කළොත් අගමැතිතුමාත් ජනාධිපතිතුමාත් වැඩිපුර මුදල් ලබාදෙයි.
වැඩ බැරි ඇමැතිවරු තමයි, නටන්න බැහැ පොළොව ඇදයි කියලා අඬා වැටෙන්නෙ. දක්ෂ නිලධාරීන්ට වැඩ බැරි ඇමැතිවරු යටතේ ඉන්න සිදුවීම නිසා එම දක්ෂ නිලධාරීන්ට අසාධාරණයක් සිදු වෙනවා.

මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක,
කොන්ත්‍රාත්තුවක් ඉෂ්ට කිරීමට කතා කළ නිසා පැහැදිලි කළ යුතුයි. අපි සංවර්ධනය කරන්නේ යකඩ සපත්තුවට පාගා ගෙන නොවේ. ලේක්ඩ්‍රයිව් ඉඩම ගැන කැබිනට් අනුමැතිය ලබාගත්තා. අපි මේ අය ගැන හොඳට දන්නවා. හිටියේ කොහෙද කියා දන්නවා. ඒ නිසා ගෝඨාභය මේ වගේ අයගෙන් පරිස්සම් විය යුතුයි. එක එක අයගේ කොන්ත්‍රාත් ඉටු කරන්න අපට මඩ ගහන්න එපා.

අවිධිමත් ලෙස පොල් ඉඩම් කට්ටි කර විකිණීමෙන් පොල් වගාව විනාශ වෙනවා

'විධිමත් ක්‍රමයකට පමණක් පොල් ඉඩම් කට්ටි කිරීම සිදුකරන ලෙස ඉල්ලනවා' යැයි පුත්තලම දිස්ත්‍රික් එජාප මන්ත්‍රි අශෝක ප්‍රියන්ත පැවැසීය.
'පළාත් සභා සහ ප්‍රාදේශීය සභාව එක්ව කටයුතු කරනවා නම් සංවර්ධන කටයුතුවලට පහසුවක් ඇති වෙනවා. ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යාංශයෙන් වැඩ ගන්න අපි දැනගන්න ඕනෑ.

ඉඩම් කැබලි කිරීම සඳහා නිසි අවසරයක් දෙනවා දැයි බොහෝ දෙනා අපෙන් අහනවා. මේ කටයුත්ත අවිධිමත් විධියටයි සිදුවෙන්නේ. ඒ නිසා වටිනා පොල් ඉඩම් විශාල ප්‍රමාණයක් විනාශ වෙනවා. විධිමත් ක්‍රමයකට පමණක් මේ ඉඩම් කට්ටි කිරීම සිදුකරන්නැයි මා ඉල්ලනවා.'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්