බිබිලේ පාඩම

  👤  4255 readers have read this article !
2017-11-30

ජේ. ආර්.ගේත් ප්‍රේමදාසගේත් ආණ්ඩුව මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම ආණ්ඩුව බව රහසක් නොවේය.
'ඇයි මහින්දගේ ආණ්ඩුව ශක්තිමත් නැද්ද?'

කෙනෙක් එහෙම අහන්න බැරිකමක් නැත. එකසිය හැටක් ඉක්මවපු බහුතර බලයක් තිබ්බ මහින්දගේ ආණ්ඩුව ගැන එහෙම හිතෙනවාට පුදුම නැත. හැබැයි, මහින්ද ඒ හයිය හදාගත්තේ බුරුතු පිටින් වෙන පක්ෂවලින් මන්ත්‍රිවරුන් ගලවාගෙනය. එහෙම බැලුවම මහින්දගේ ආණ්ඩුව කෘත්‍රිමව ශක්තිමත් වූ එකක්ය. එහි ආනුභාව ශක්තිය තිබුණේ 'මහින්ද' සාධකය වටාය. එහෙම බැලුවම ජේ. ආර්. හෝ ප්‍රේමදාස ආණ්ඩු කළේ එජාපය ශක්තිමත්ව බිහිවූ නියෝජනයක් එක්කය.

එහෙම බැලුවම ශ්‍රී ලනිපය කියන්නේ බෙදුණොත් 'නැත්තටම' නැති වෙන පක්ෂයක්ය.
"ඔයිට වඩා මේ පක්ෂය බෙදිලා තියෙනවා, ඉතිහාසයේ අපේ නායකයාට වෙඩි තියලා මරලා තියෙනවා, නායිකාවගේ ප්‍රජා අයිතිය අහෝසි කරලා තියෙනවා, ඒත් අපි නැඟිටලා තියෙනවා."

සංවේදී ශ්‍රී ලංකාකාරයෝ එහෙම කියති. හැබැයි, ඔය කියන අලකලංචි කොයි පක්ෂයටත් වෙලා තිබේ.
එජාපයේ එහෙම අකාලයේ අහිමි වූ නායකයන් ශ්‍රී ලනිපයට වඩා වැඩිය. ප්‍රේමදාස ඝාතනය කළේය. ලලිත් ඝාතනය කළේය. ගාමිණී ඝාතනය කළේය. ප්‍රේමචන්ද්‍ර ඝාතනය කළේය. ජානක පෙරේරා ඝාතනය කළේය. රන්ජන් විජේරත්න ඝාතනය කළේය. එහෙම බැලුවම එජාපයේ ලිස්ට් එක දිගය. ඒ නිසා පක්ෂයට පැමිණ තිබෙන තර්ජන බැලුවම ශ්‍රී ලනිපයට වඩා එජාපයට තර්ජන වැඩිය.

කතාව ඒක නොවේ. දැන් තිබෙන දේශපාලන අලකලංචිය ය.
'එකතු වෙයිද?'
කෙනෙක් අසයි.
'එකතු වුණොත් හොඳයි.'

තව කෙනෙක් කියයි.
'අපේ පක්ෂය දාලා ගිහින් ආණ්ඩුව පෙරළපු මිනිහා එක්ක එකතු වෙන්න හිතන්නවත් පුළුවන්ද?'
තවත් කෙනෙක් අසයි.

එහෙම අයට හරි අපූරු උත්තරයක් සමාජ ජාලයක පළවී තිබුණේය. එය ලියා තිබුණේ 2006ත් 2011ත් අතර මොනරාගල, බිබිල ප්‍රාදේශීය සභා ශ්‍රී ලනිපයට දිනා දුන් මන්ත්‍රිවරුන් තිදෙනෙක්ය. උපුටනයක්ව එය පළ කරන්නේ 'වෙන්වීමේ රඟ' ගැන රහට ලියා තිබූ නිසාය.
"ශ්‍රී ලනිපය එක්ව තරග කළ යුත්තේ ඇයි?"

බිබිලේ සහ මොනරාගල ශ්‍රී ලනිප මන්ත්‍රිවරු පක්ෂ මධ්‍යම කාරක සභාවට ලියති. මොනරාගල හා බිබිල ප්‍රාදේශීය සභාවට තරග වදින්නට බලන් ඉන්න කැපුවත් නිල් පාක්ෂිකයන්ගේ අ‍ෙ¼දා්නාව සරල ශුද්ධ සිංහලෙන් මෙසේ ලියා පක්ෂයට මෙසේ තේරුම් කර දෙමු.
හයවන ජනාධිපතිතුමනි, පස්වන ජනාධිපතිතුමනි, අපි ඔබ දෙදෙනාට ජීවිත කාලය පුරා ඇති තරම් කඩේ ගොස් ඇත. හුරේ දමා ඇත. ඔබලා වෙනුවෙන් ගුටි කා, බැනුම් අසා ඇත. ඔබලා දෙන්නා මේ මැතිවරණයට ඉල්ලන්නේ නැත.

2015දී විජිතමුණි සොයිසා අපේ මන්ත්‍රිතුමා මහින්ද ජනාධිපතිතුමාට උදවු කළේය. ෂශීින්ද්‍ර රාජපක්ෂ ගේන්නට කපා දැමූ සොයිසාට කළ හැකි වෙන දෙයක් තිබුණේ නැත. අපිද, පක්ෂය නිසා අප්පච්චිට උදවු කළෙමු.
ජනවාරි 8 අප්පච්චි මළේය. ගමරාල ජනාධිපති විය. ඒ අපේ පක්ෂයේ ලේකම්ය. අපිත් එක්ක එකට පෙළපාළි ගිය, අපිට නාම යෝජනා අස්සන් කළ අපේ සිරිසේන මහත්තයාය. වෙනදා වගේ අපේ ගෙවල් ගිනිගත්තේ නැත. දවස් දෙකක් තුනක් ලැජ්ජාවෙන් සිටිය ද, අලුත් ජනාධිපතිතුමාද අපේ නම, ගම දන්නා, අපේ අම්මාගේ මළ ගෙදරත් ආ, දැක්ක තැන කොහොමද කියා කතාකරන අපේ සිරිසේන මහත්තයාය.

සොයිසා මන්ත්‍රිතුමා සිරිසේන මහත්තයා හා එකතු විය. එතුමාට අපේ මද්දුම බණ්ඩාර මන්ත්‍රිතුමාට වැඩිය හොඳ ඇමැතිකමක් ලැබිණි. ආණ්ඩුව වෙනස් වන විට අපි හිතුවේ මැදගම අපේ රංජිත් මද්දුම බණ්ඩාර මන්ත්‍රිතුමාට අගමැතිකමට දෙවැනි නැති ඇමැතිකමක් ලැබේ යැයි කියාය. එහෙම වුණේ නැත. අපේ සොයිසා ඇමැතිතුමාත්, සුමේධා නෝනාත් පුළුවන් දෙයක් කරයි. එජාපයේ වුණත් මද්දුම බණ්ඩාර මහත්තයාත් පුළුවන් දෙයක් කරයි. ඒත් බිබිල, මොනරාගල, කතරගම තබා සියඹලාණ්ඩුවේ ජීවිත නම් තවම වෙනස් වී නැත. මේ මැතිවරණයට මහින්ද මහත්තයා ඉල්ලන්නේ නැත. සිරිසේන මහත්තයා ඉල්ලන්නේ ද නැත. සොයිසා ඇමැතිතුමා, සුමේධා ඇමැතිතුමී තබා දේශපාලනය පැත්තක තිබ්බත් හොඳ මිනිහෙක් වන මද්දුම බණ්ඩාර ඇමැතිතුමා ඉල්ලන්නේද නැත.

අපි කැපුවත් නිල් පාක්ෂිකයෝ වෙමු. දැන් ඔය දෙගොල්ලෝ අපිට වෙන වෙනම තරග කරන්නට කියා කියයි. ඔය කවුරුත් තරග කරන්නේ නැති මැතිවරණයකට හැමදාම ශ්‍රී ලංකාකාරයෝ වුණු අපට බෙදෙන්නට කියයි. මේක මහ කුණුහරුපයකි. බිබිලේ කැපුවත් කොළ ශ්‍රී ලනිපයේ 10,000 සිටින අතර කැපුවත් කොළ එජාපයට 8,500ක් ඇත. පොහොට්ටුව 7,500ක්, බුලත් කොළේ 2,500ක් ගත්තොත් අත උඩින් අලියා දිනුම්ය. ඒ බව දැන දැන ඔය දෙගොල්ල අපිට මැතිවරණයට තරග කරන්න කියයි. මේක මහ කුණුහරුපයකි.

ජීවිත කාලයම ශ්‍රී ලනිපයට කඩේ ගිය අපි බිබිලේ බෙදී තරග කර පැරැදී විපක්ෂයේ සිටිය යුතුද?
ලංකාවේ දුප්පත්ම ප්‍රාදේශීය සභාව වන සියඹලාණ්ඩුවේ තත්ත්වය එයට වෙනස් නැත. කැපුවත් නිල් 10,000ක් ඇති නම් එජාපයේ ඉන්නේ 6,000කි. අපි මහින්ද - මෛත්‍රි ලෙස දෙකට බෙදාගත්තාම ඉතිහාසයේ නැතිව එජාපයට සියඹලාණ්ඩුව දිනාගත හැකිය. එජාපයට අද දිනන්නට බැරි කතරගම එජාපයට දෙන්නට නම් අපි දෙපැත්තකට බෙදිය යුතුමය. මොනරාගල ප්‍රා. සභාවේ නිල් 10,000කට කොළ 7,000ක් නැත. එකට ඉල්ලුවොත් දිනන්නේ උඩිනි. වෙන්ව ඉල්ලා පරදින්නට පුළුවනි.
මේ කුණුහරුපයට අපේ පක්ෂය බිලි වෙන්නේ ඇයි?
මහින්ද - සිරිසේන _ බැසිල් මහත්වරුන්ට ඕනෑකම තියෙන්නේ බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුව, කතරගම එජාපයට දෙන්නට නම් ඒකට අප බිල්ලට යා යුතු නැත. අනික ගමේ ශ්‍රී ලනිපයේ කට්ටිය ස්වාධීන කණ්ඩායමක් දැම්මත් දිනන්නේ එජාපය නොව අපිය. ඒ බව අපේ පක්ෂයේ ජනාධිපති පුටුව දක්වා ඉහළට නැග්ග නායකයන් දෙන්නාට. තේරෙන්නේ නැතිනම් ඒ අපේ විතරක් නොව රටේද කරුමය ය. පක්ෂයේ කරුමය ය. එජාපයේ කාර්, රබර්, කොම්පියුටර් ෆැක්ටරි සංවර්ධනය කවදාවත් මොනරාගලට එන්නේ ද නැත.

අපේ ජනාධිපතිතුමා නැත්නම් එජාපයට ජනාධිපතිතුමෙක් නැත. අපේ ජනාධිපතිතුමා නැති නම් උෟව පළාත් සභාවේ එජාප මන්ත්‍රිවරු ඇමැතිවරු වන්නේද නැත. (තනිකරම ශ්‍රී ලනිප පළාත් සභාව අපේය) අපේ ජනාධිපතිතුමා නැති නම් පාර්ලිමේන්තුවේ එජාපයට බහුතරයක්ද නැත.

මේ බව එජාපය හොඳින් දන්නා අතර ඒ නිසාම ඔවුන්ට අවශ්‍ය බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුවේදී ශ්‍රී ලනිප බෙදා මැතිවරණයට යෑමටය.
මහින්ද - මෛත්‍රි මහත්වරු ඉල්ලන්නේ නැතිනම්, විජිතමුණි - සුමේධා - රංජිත් මද්දුම බණ්ඩාර ඉල්ලන්නෙත් නැත්නම් බිබිල, මොනරාගල, සියඹලාණ්ඩුවේ කැපුවත් නිල් ශ්‍රී ලංකාකාරයෝ වන අපි ඔබලාගේ බල තණ්හාවට, ඩීල්වලට, එක එකාට විරුද්ධව එක්සත් ජාතික පක්ෂයට ප්‍රාදේශීය සභාවේ බලය අරගෙන දෙන්නේ ඇයි කියා ඔය දෙගොල්ලන්ගේ පුරෝහිතයන් අපට කියා දිය යුතුව ඇත. එවිට අපිට හිත හදාගෙන ස්වාධීන කණ්ඩායමකින් දිනන්නට බැරි නම්, එජාපයට ජයග්‍රහණය දී නිදාගන්නට හැකිය.
කොහොම වෙතත්, එකතුවීමක් ගැන ඒ හැටි බලාපොරොත්තුවක් තියාගන්නට පුළුවන් වටපිටාවක් නම් පෙනෙන්නට නැත. දෙගොල්ල විසින් එකිනෙකාට එල්ල කරගන්නා අවලාද 'එක්වීම' පිළිබඳ බලාපොරොත්තුව අෑතට විසි කරලාය. තීරණාත්මක මැතිවරණ ආශි්‍රතව වෙන්වී යෑමේ ආදීනව ශ්‍රී ලනිපය බොහෝ අවස්ථාවල නෙළාගෙන තිබේ. පළමු ජනාධිපතිවරණයේදී හෙක්ටර් කොබ්බෑකඩුව පරදින්නේත්, ඊට පසු මැතිනිය පරදින්නේත් ඒ බෙදී යෑමේ ආදීනව නිසාය. 17 වසරක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පෙරළෙන්නේ ශ්‍රී ලනිපය හින්දාම නොවේ. ඒක වුණේ ආණ්ඩුවේම අභ්‍යන්තර පිපිරීමක් එක්කය. ලලිත්, ගාමිණී ඇතුළු පිරිසක් ආණ්ඩුවෙන් පිටමංව 'ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ' හදාගෙන ගහපු ආණ්ඩු විරෝධී කැරැල්ල නොවන්නට තාමත් ආණ්ඩුව එජාපය ය. 2011 පොදු පෙරමුණ පෙරළන්නේ එජාපය නොව, පොදු පෙරමුණේ දෙදරා යෑමය. එස්. බී., ජී. ඇල්., බන්දුල ඇතුළු පිරිස ආණ්ඩුවෙන් නොයන්නට තාමත් ආණ්ඩුව පොදු පෙරමුණය. 2015 මහින්දගේ ආණ්ඩුව පෙරළන්නේ එජාපයම නොවේ. මහින්දගේ ආණ්ඩුවෙන් පිටමං වූ මෛත්‍රිය.

එහෙම බැලුවම පිපුරුම වෙන්නේ 'අභ්‍යන්තරයේම'ය. ප්‍රතිඵලය වෙන්නේ ආණ්ඩු පෙරළිය ය. හැබැයි ඒ පුපුරන මොහොත වනවිට අනෙක් පාර්ශ්වය ශක්තිමත්ව සිටිය යුතුය. දෙකට බෙදෙන ශ්‍රී ලංකා එක එකට එක්වන තුරු එජාපය කොහොම පිපුරුණත් වැඩක් නැත. ඒක තේරුම්ගන්න බිබිලේ සහ මොනරාගල ශ්‍රී ලනිප මන්ත්‍රිලා ලියන ලියවිල්ලම ඇතිය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්