දැන් කොළේ ඉරාගෙන තියෙන්නේ : මැතිවරණය කල් දාන්න ගහපු ගේමට අයිතිකාරයෙක් නෑ

  👤  3578 readers have read this article !
2017-11-28

කවුරුහරි ගේමක් ගැහුවනම්, ගහල කියනවා හැප්පිලා බලමු කියලා. ගේමක් ගහලා හැංගෙන්න එපා. දැන් කොළේ ඉරාගෙන තියෙන්නේ. මේ මැතිවරණය වෙනුවෙන් ගහපු ගේමක් මේක කියල කවුරුත් දන්නවා. අද මේ ගේමට අයිතිකාරයෙක් නැහැ. ගේම ගහපු සමහර අය නිදි. ගේම ගැහුවෙ අපි කියල කියන්න පිටකොන්දක් නැහැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක පැවැසීය.

අසෝක පීරිස් වාර්තාව පදනම් කරගෙන පළකළ ගැසට් නිවේදනයේ පවතින දෝෂයත් මාස නවයකට පස්සෙ අද නඩු නිමිත්තක් බවට පත්වෙලා තිබෙනවා.
මේ ගැසට් නිවේදනයේ ඇතුළත් පළාත් පාලන ආයතන 133කින් 93ක ඡන්දය පවත්වන්න පුළුවන්. ඒ සඳහා නාමයෝජනා භාරගැනීමට යනවා. තවත් 40ක මුද්‍රණ දෝෂ පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. ඒ හතළිහ සම්බන්ධ ගැසට් නිවේදනය ජනාධිපතිතුමාගේ මේසය මත තිබෙනවා. එතුමා කොරියාවෙ යන්න ඉස්සරවෙලා මේක අස්සන් කරාවි කියලා හිතනවා.

ෆයිසර් මුස්තාපා: අධිකරණයේ ගැසට් පත්‍රයට අදාළව
නඩුවක් විභාග වෙමින් තිබියදී ඡන්දය පවත්වන්න පුළුවන්ද කියල මගේ අමාත්‍යාංශයේ ලේකම්වරයා නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා තිබෙනවා. ඒ බව ලේකම්තුමා මාවෙත දැනුම්දීල තියෙනවා.

මම ජනපති අවසරය ඇතිව මෝල්ටා ගියා : මාව 'බිලි බෝයි' කරන්න කාටවත් බෑ

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැතිවරයකු වන මම ජනාධිපතිවරයාගේ අවසරය ඇතිව මෝල්ටාවේ සංචාරයක යෙදුණා. මම රටින් පැනගියේ නැහැ"යි පළාත් සභා සහ පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවේදී පැවැසීය.

"මෝල්ටාවේ පොදු රාජ්‍ය සංසදය පැවැත්වූවා. එය 2019 වසරේ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා අයැදුම් කිරීමේ කාර්යය එහිදී සිදුකෙරුණා. මම එහි ගියේ ජනාධිපතිතුමාගේ අවසරය ඇතිව. මම රටින් පැනල ගියේ නැහැ. මෙය මගේ පෞද්ගලික සංචාරයක් නොවේ. අගමැතිවරයාගේ අවසරයක් මට ලැබී නොතිබුණු බවට අද මාධ්‍යවල පළවී තිබෙනවා. මම මෝල්ටා යන බව කැබිනට් එකේදීත් සඳහන් වුණා"

සිසිර ජයකොඩි - රීති ප්‍රශ්නයක්. ඔබතුමා මෝල්ටාවේ පළාත් පාලන ඡන්දය තියන්න කලින් මෙහේ පළාත් පාලන ඡන්දය තියන්න.
ෆයිසර් මුස්තාපා - මම ජනාධිපති නීතිඥවරයෙක්. මම මන්ත්‍රි ධුරයට වැඩිය නීති වෘත්තියට ගරු කරනවා. මාව පාර්ශ්වකරුවකු හැටියට නම්කර නඩුවක් පවරලා තියෙනවා. මගේ ගෞරවය වගේම තනතුර කිසිසේත් පාවා දෙන්නේ නැහැ. මම වගකීමෙන් කියනවා. ඇමැතිවරයකු හැටියට මම සද්භාවයෙන් කටයුතු කළේ. මාව බිලිබෝයි කෙනෙක් කරන්න කාටවත් බැහැ. මේවා පෙර වැරැදි.

පාර්ලිමේන්තු සේවකයන්ට
උසස්වීම් සඳහා තිබෙන අවකාශයන් ඇහිරිලා

"පාර්ලිමේන්තුවේ කටයුතුවලින් ඉතිරි කර ගන්නා මුදල්වලින් මෙහි සේවකයන්ගේ දරුවන්ට පොත්පත් ලබාදීමේ කාලයක් තිස්සේ කරගෙන ගිය වැඩසටහන දැන් අත්හිටුවා තිබෙනවා" යැයි ඒකාබද්ධ විපක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන පැවැසීය.
"කිසිම කෙනකුගේ සතුට වෙනුවෙන් නොවෙයි මම කතා කරන්නේ. පාර්ලිමේන්තුවේ ඇතිකර තිබුණු යම්කිසි තත්ත්වයක් කඩාකප්පල් කිරීම තුළින් ලබන මානසික තෘප්තියකින් පාර්ලිමේන්තුව ගෙනයන්න බැහැ".

"පාර්ලිමේන්තු සේවකයන්ට යම් යම් උසස්වීම් ආදිය සඳහා තිබෙන අවකාශයන් දවසින් දවස ඇහිරී යනවා. සේවකයන් අතර කොයි කාලයේ ආවාද, කොයි කාලයේ ගෙදර යනවද කියන ප්‍රශ්නය නොවෙයි තිබිය යුත්තේ. ඒ ඒ කාල පරිච්ඡේදවල සේවයට බැඳුණු මේ අයට ඔවුන්ගේ සුදුසුකම් මත ඊළඟ පුරප්පාඩුවලට පැමිණීමේ අවස්ථාව සැලසෙන පරිදි හොඳ වාතාවරණයක් ඇති කළොත් එය ඉතා වැදගත්".

"කතානායක තුමාට ඒ තත්ත්වය ඇතිකර ගැනීමට බැරිවී තිබෙන කනගාටුදායක තත්ත්වය ඒ නිලධාරි ක්‍රමය විසින් ඇතිකර තිබෙන බව කනගාටුවෙන් වුවත් ප්‍රකාශ කරනවා. මේවා වෙනස් වෙන්න ඕන. අපි පාර්ලිමේන්තුවේ කටයුතු පිළිබඳ මීට වැඩිය හිතන්න ඕන"

කතානායක - "මන්ත්‍රිතුමා පාසල් පොත් සම්බන්ධයෙන් සඳහන් කළා. විගණකාධිපතිතුමා දුන්න වාර්තාවක් අනුව ඒ ක්‍රමවේදය වෙනස් කරන්න සිදුවුණා. අපි මේ අවුරුද්දේ පාර්ලිමේන්තුවේ වැඩ කරන සියලුම සේවකයන්ගේ දරුවන් 620 දෙනකුට පමණ, එක් අයෙකුට රුපියල් පන්දහසක් පමණ වටිනා පාසල් පොත් සහ උපකරණ ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා."

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon