දිලීපන් මරණය අබියස

  👤  1782 readers have read this article !
2017-11-26

'දිලීපන් මේ ආරාධනා කරන්නේ මරණයටද?'
මේ තරුණ වියේදී ඔහු එසේ මිය යා යුතුද?

කාන්තා කටහඬකින් ගායනා කෙරෙනු මම උපවාස භූමියේ පසෙකට වී අසා සිටියෙමි. සෑම කවියකින්ම ගීතයකින්ම ඉදිරිපත් වූයේ එකම මතයකි.
දිලීපන්ගේ මේ වෑයම ඉන්දියානු සාම හමුදාව පරාජය කිරීමටයි. එහෙත් අපේ ඇස් ඉදිරිපිටදීම දිලීපන් ආහාර හෝ ජලය නොමැතිව මලානික වී යමින් සිටියේය. වටපිටාවේ ජනතාව අතරින් මතු වූයේ බොහෝ සේ හැඟුම්බර ආවේගයන්ය. බොහෝ සංවේදී කතා හා ගීතවලට සවන් දෙමින් ළමයි සහ කාන්තාවෝ කඳුළු සැලූහ. මෝසම් වැසි වලාකුළු යාපනයට ඉහළ අහසේ රොද බැඳෙමින් තිබිණි. මහා අන්ධකාරයකින් මසිතද පිරී යමින් පැවැතිණි.

දිලීපන්ගේ උපවාස බිමේ තවත් ගිනි ගහන දවාලක මම රාජකාරියෙහි නිරතව සිටියෙමි. ලොරියකින් බැසගත් ගැහැනු ළමයින් කණ්ඩායමක් හදිසියේ මගේ නෙත ගැටිණි. වේදිකාව ඉදිරියේ අසුන් ගනු පිණිස පැමිණෙමින් සිටි තරුණියක් මගේ නම කියමින් මවෙතට දිව ආවාය. ඒ අජන්තිය. ඇය පසුපසින් දිව ආවේ අකිලා හා කාංචනාය. අපි එකිනෙකා වැලඳ ගනිමින් සතුටු කඳුළු හෙළුවෙමු. අප එලෙස මුණ ගැසුණේ මාසයකට පසුවය.

'අපි අෑත් වුණා.'
අජන්ති හඬා වැටුණාය.
'ඇයි ඔයා ගෙදර ගියේ?'
'ඔයා අපිත් එක්ක ආපහු කඳවුරට යන්ඩ එන්ඩ ඕන.'
අකිලා බල කළාය.

රැස්ව සිටි පිරිස අප දෙසම බලා සිටියහ. දිලීපන් පවා අප දෙස බලා සිටියේය. ඔහු වෙත යොමු විය යුතු අවධානය මා මොහොතකට සොරකම් කොටගෙනය. මම ආපසු මට නියමිත ස්ථානයට පැමිණියෙමි. ගැහැනු ළමෝ ඔවුනට අදාළ ස්ථානයෙහි වාඩි වූහ. ප්‍රභාකරන් වෙතින් කැඳවීමක් ලද විගස ආපසු කඳවුරට පැමිණෙන බවට මම ඔවුනට තරයේම පොරොන්දු වූයෙමි.

එදින ආපසු ගෙදර යමින් සිටියදී මම මගේ මිතුරියන් පිළිබඳව කල්පනා කළෙමි. සියලු දෑ සමෝසම බෙදා ගත්, අජන්ති හා මා එලෙස දුරස්ව සිටීම මට මහත් ශෝකයක් දැනවූයේය. තවත් සති දෙකකින් ඔවුන් හා එක්විය යුතු යැයි මම තීරණය කළෙමි.

උපවාසයට සතියක් ගත වී තිබිණි. ඒ වනවිට දිලීපන් සිටියේ වේදිකාව මත වූ ඇඳක වැතිරගෙනය. වාඩි වී සිටින්නට පවා ඔහුට සවියක් තිබුණේ නැත. බොහෝවිට ඔහුගේ දෑස වැසී තිබිණි. නිමක් නැති සෙනඟ අතරේ පැය විසිහතර පුරා සංගීතයත්, විදුලි බල්බ ආලෝකයත් මැදින් ඔහු මේ ළඟා වන්නේ අතිශය පීඩාකාරී ශෝකාන්තයකට නොවන්නේද?
මුරලි මගේ ඉල්ලීම ඉවත නොදමා මා දිලීපන් අසලට කැඳවාගෙන යන්නට එකඟ විය. නැවත කිසිදාක මට ඔහු මුහුණට මුහුණ මුණ නොගැසෙනු ඇතැයි මට මගේ සිත වධ දුන්නේය. මට වුවමනා වූයේ දිලීපන් උනන්දු කරවමින් යමක් පවසන්නටය.

'වේදිකාවට ගියාම දුර්වල වෙන්ඩ බෑ හොඳද?
මුරලි අනතුරු ඇඟවූයේය.
'දවසක් ඔයා මෙතැන යාළුවොත් එක්ක අඬා වැලපුණු හැටි මං දැක්කා. සටන්කාමියකුට කඳුළක් හෙළන්ඩ ඕන වුණාම ඒක තනියම රහසින් කරන්ඩ ඕන දෙයක්. ජනතාවට පෙන්නන්නට ඕන අපි ශක්තිමත් බව. අනෙක් අතට සෙබළියක් වුණාට ඔයා තාමත් පුංචි ළමයෙක්නේ.'

අපි වේදිකාවට යමින් සිටියෙමු. මට තවත් ගීතයක් ඇසිණි.
'ඒ මිහිරි සුව¼දැති මල
සෙමෙන් මිලිනව යන්නේ...
දිලීපන් අයියේ,

ඔබේ පැතුම් ඉටු වී
පලා යාවිද විදෙස් හමුදා සොල්දාදුවන්?'
මා ඉදිරියේ වැතිර සිටියේ ඉතා දුර්වල අසරණ සිරුරකි. මගේ හදවත කැබලි දහසකට කැඩී බිඳී ගියා වැන්න. ඇටත්, සමත් පමණක් සහිත වූ ඒ කෙසඟම කෙසඟ සිරුර ඇට සැකිල්ලක් සිහි ගැන්වීය. කහ පැහැ වූ දෑස ගිලී ගොස් තිබූ අතර දත් ඉදිරියට නෙරා තිබිණි. වියළී ගිය දෙතොල් පලින් පල පැළී තිබුණා මෙන්ම මුව දෙපස වියළී ගිය කෙළ නිසා සුදු පැල්ලම් සෑදී තිබිණි.

මේ නම් දිලීපන් නොවේ යැයි කෑ ගසා හඬන්නට මට වුවමනා විය. කොටි සංවිධානයට මගේ නම ඇතුළත් කළ, රයිෆලයත්, සයිනයිඩ් කරලත් මගේ අතට පත් කළ, දිවා රෑ වෙහෙසව සංවිධානය වෙනුවෙන් කැප වී ක්‍රියා කළ දිලීපන් සහමුලින්ම වෙනස් වී සිටියේය. මගේ දෑසින් කඳුළු උතුරා ගියේය. කතා කරන්නට මට එකදු වචනයක් හෝ ගලා ආවේ නැත.

ඉතා සෙමෙන් ඇරුණු ඔහුගේ දෑස මා වෙතට යොමු විය.
'ඔයා ආපහු ඉස්කෝලෙ ගියාද?'

පෘථිවිය පත්ලේම සිට ඔහුගේ වචන ගලා ආවා සේය මට දැනුණේ. දත්වලට ඇලී තිබූ ඔහුගේ තොල් සඟළ චලනය වූයේ බොහෝ අසීරුවෙනි.
මා දැන සිටි සියලුම භාෂාවන් මට අමතකව ගියේය. කඳුළු කඩා හැලෙද්දී මම ඔහු දෙසම බලා සිටියෙමි.
'හැම තිස්සෙම මෙතැන ඉන්න එපා. ඉස්කෝලෙ වැඩ කරන්න.'

කෙඳිරිලි හ¾ඩින් ඔහු නැවත කීවේය.
මගේ උගුර පත්ලෙන් විලාපයක් පිටවන්නට ආසන්නව තිබියදී මුරලි මවෙත ආවේය. වහා ගෙදර යන්නැයි ඔහු මට අණ කළේය.
මම නිවෙසට යන අතරමඟදී දිලීපන් පිළිබඳව නැවත නැවතත් කල්පනා කළෙමි. ප්‍රභාකරන් උපවාසය සඳහා දිලීපන් තෝරාගත්තේ මන්ද? කරුණු සිදුවන සැටියෙන් නිසැකවම ඔහු මිය යනු ඇත. දිලීපන්ගේ මරණය තුළින් තමාගේ ජීවත්වීම පිළිබඳව ඔහු තුළ විශ්වාසයක් පැවැතියාද? ඉතා සෙමෙන් වේදනා විඳිමින් දිලීපන් මරණයට පත් කරන වෙනත් මඟක් ඔහුට නොතිබුණු බැවින් මෙවැන්නක් සිදු වීද?

පෙර දින මගේ අසල්වැසි කාන්තාවන් දේශපාලනය ගැන කතා කරනු මම අසා සිටියෙමි.
'කොටි සංවිධානෙ බලාපොරොත්තු සුන්වේගෙන යද්දි අර දුප්පතා දිලීපන්ව ඉත්තෙක් කරගෙන. පව්!'

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්