ඉන්දීය දෛවඥයා ඔලිවර් ගුණතිලකට කියූ අනාවැකිය

  👤  1939 readers have read this article !
2017-11-26

සර් ජෝන් කොතලාවල මහතා අගමැති ධුරය දරන කාලයේ මෙරට අග්‍රාණ්ඩුකාර තනතුරට පත් කෙරුණේ සර් ඔලිවර් ගුණතිලක මහතාය. ඒ 1954 වසරේදීය. 1958 දී මෙරට ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ සිත්තම්පලම් නමැති මහතෙකි. ගුණතිලක මහතාත් සිත්තම්පලම් මහතාත් දිගු කාලීන මිතුරෝ වූහ.
ඒ හිතවත්කම නිසාම දිනක් සිත්තම්පලම් මහතා ඉන්දියාවේ සිට පැමිණි ජේ‍යාතිෂවේදියකු සමඟ කොළඹ රජගෙදරට ගොස් අග්‍රාණ්ඩුකාර ගුණතිලක මහතා හමුවූයේ ඔහු හඳුන්වා දීම සඳහාය.

සුහද කතාබහකින් පසු ගුණතිලක මහතාගේ අත පරීක්ෂා කළ ඉන්දීය ජේ‍යාතිෂවේදියා පවසා ඇත්තේ වසර අවසන් වීමට මත්තෙන් අග්‍රාණ්ඩුකාරතුමාට පන්සලක් සෑදීමට සිදුවන බවය.

එය ඇසූ ගුණතිලක මහතාගේ මුවගට සෝපහාස සිනහවක් නැඟුණේය. ඒ ඔහු කිතුනුවකු බැවින් එවැන්නක් සිදු විය නොහැකි බව සිතූ නිසාය.
ලංකාව බෞද්ධ රටක් නිසා තමන්ද බෞද්ධයකු යැයි සිතා ජේ‍යාතිෂවේදියා එසේ කියන්නට ඇතැයි ඔහු පසුව සිත්තම්පලම් මහතාට පැවැසුවේය.
එහෙත් ජේ‍යාතිෂවේදියාගේ අනාවැකිය සැබෑවක් විය හැකි බව ඒ අවස්ථාවේ සිත්තම්පලම් මහතා පවසා නැත්තේ අග්‍රාණ්ඩුකාරයා එය විශ්වාස නොකළ බැවිනි. එම සිදුවීමෙන් මාස දෙක තුනකට පසු ජාතිවාදී කෝලාහලයක් ඇති විය.

1958 වසරේ මැයි 25 වැනිදා වවුනියාවේ පැවැති ෆෙඩරල් පක්ෂයේ 5 වැනි සමුළුවට සහභාගි වී ආපසු මඩකළපුව බලා යන දෙමළ නියෝජිතයන් රැගත් දුම්රියට පොළොන්නරුවේදී ප්‍රහාරයක් එල්ල කරන බවට රාවයක් පැතිර ගියේය.
එය ආරංචි වූ දුම්රිය ආරක්ෂක නිලධාරීන් දුම්රියේ සිටි දෙමළ මගීන් වැලිකන්ද දුම්රිය පොළේදී බස්සවා තිබේ. දුම්රිය පොළොන්නරුවට එන විට විශාල පිරිසක් එහි රැස්ව සිට ඇතත් දුම්රියේ සිට ඇත්තේ එක දෙමළ මගියකු පමණි.

එදින පොළොන්නරුව සහ හිඟුරක්ගොඩ රජයේ ගොවිපළ දෙකකට කඩා පැන්න මැරවර පිරිසක් එහි සිටි දෙමළ කම්කරුවන්ට පහරදී ඇති බව මාසි විට්ටච්චි ලේක්හවුස් පුවත්පතකට ලියූ ලිපියකින් අනාවරණය කර තිබිණි.
මේ අතර රටපුරා ජාතිවාදී කෝලාහල පැතිර ගියේය.

මෙම කෝලාහලය සංසිඳුවීමේ පූර්ණ බලතල පැවැරුණේ අග්‍රාණ්ඩුකාර ගුණතිලක මහතාටය. ඒ දින කිහිපය තුළදී රජයට වාර්තා වූ සුවිශේෂම සිද්ධිය වූයේ යාපනයේ නාගදීප විහාරයට කිසියම් පිරිසක් පහරදී එහි තැන්පත් කර තිබූ බුදු පිළිමය රැගෙන ගොස් මුහුදට දමා ඇති බවයි. නාගදීප විහාරයටත්, බුදු මැඳුරටත් බලවත් ලෙස හානි කර තිබිණි.
මෙම සිද්ධිය රට පුරා පැතිර ගියහොත් සිදුවන්නේ විශාල විනාශයක් බව තේරුම් ගත් ගුණතිලක මහතා කළේ ඉතා රහසිගතව අද්මිරාල් රොයිස් ද මැල් යටතේ හමුදා භට පිරිසක් යාපනයට යැවීය.

අග්‍රාණ්ඩුකාර උපදෙස් මත හමුදාවේ මෙහෙයවීමෙන් නාගදීප විහාරය නැවත පිළිසකර කිරීම ඇරැඹිණි. මුහුදට දමා තිබුණු බුදු පිළිමයද ගොඩ ගන්නා ලද නමුත් එය යථා පරිදි සකස් කිරීමට නොහැකි අන්දමින් විනාශව තිබිණි.

කරුණු සොයා බැලූ අග්‍රාණ්ඩුකාර ගුණතිලක මහතාට දැන ගන්නට ලැබුණේ නාගදීප විහාරයේ තිබූ බුදු පිළිමයට සමාන බුදු රුවක් බුරුම විහාරයකද තිබෙන බවයි.
ඒ අනුව බුරුම අගමැති යූ නූ මහතා ඇමැතූ ගුණතිලක මහතා එම බුදු පිළිමයේ විස්තර එරටට යවා රාජ්‍ය අනුග්‍රහයෙන්ම එය ලංකාවට වැඩමවීමට කටයුතු සැලැස්වූයේය. බුරුමයෙන් ලද ප්‍රදානයක් ලෙස ලංකාවට නැවකින් ගෙන්වා ගත් එම බුදු පිළිමය යාපනයට යවා නාගදීප විහාරයේ තැන්පත් කෙරුණේ රහසිගතවය. මාස කිහිපයක් තුළදී නාගදීප විහාරය තිබූ පරිද්දෙන්ම යථා තත්ත්වයට පත් කර අවසන් කෙරිණි.

1958 කෝලාහල සමයේ නාගදීප විහාරය විනාශ කළ ආරංචිය රටටම රහසක් ලෙස තබා ගන්නට අග්‍රාණ්ඩුකාර ඔලිවර් ගුණතිලක මහතාට හැකි වූයේ ඔහුගේ උපායශීලී පරිපාලනමය මෙහෙයුම නිසාය. නාගදීප මෙහෙයුම නිමා වූ පසු ආදායම් බදු කොමසාරිස් සිත්තම්පලම් මහතා එම වසරේ මුලදී ඉන්දියානු ජේ‍යාතිෂවේදියා අග්‍රාණ්ඩුකාර ගුණතිලක මහතාගේ අත බලා කියූ අනාවැකිය සැබෑ වූ බව මතක් කර දුන්නේ ඔහු විස්මයට පත් කරවමිනි.

බන්ධුල ගුණරත්න

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්