ප්‍රතිමාව පිටුපස හෝටලයක් හැදුවොත් අගමැති හෝටලේ ඉඳලා එනවා වගේ පෙනෙයි

  👤  1804 readers have read this article !
2017-11-26

ෂැන්ග්‍රි - ලා කොළඹ (ඉඩචදඨපඪ-ඹ්ච

ඛ්ධතධථඡධ) හෝටලය පසුගිය සති අන්තයේ විවෘත විය. ගාලුමුව‍ෙදාර පිටිය ඉදිරිපිට ඉන්දීය සයුරට මුහුණලා මෙම දැවැන්ත සුපිරි හෝටලය නැඟී සිටී. ෂැන්ග්‍රි- ලා වසර 30කට පසු කොළඹ නගරයේ ඉදිවූ තරු 5 හෝටලයකි. නූතන ලෝකයේ සියලු සුඛෝපභෝගි අංග ෂැන්ග්‍රිලා කොළඹ නගරයට ගෙනැවිත් තිබේ. රෙස්ටොරන් සහ බාර් 6ක්, කාමර 500ක් විවිධ මාදිලියේ බොජුන් හල් ගණනාවක්, උත්සව ශාලා, සම්මන්ත්‍රණ ශාලා, පිහිනුම් තටාක, ශාරීරික සෞඛ්‍ය වර්ධනය කෙරෙන 'ජිම්' ඇතුළු මෙකී නොකී බොහෝ ජාත්‍යන්තර මට්ටමේ දේ ෂැන්ග්‍රිලා කොළඹට එක්කර තිබේ.

මේ කියන්නට හදන්නේ කොළඹ අහස අරා නැඟුණු ෂැන්ග්‍රිලා ගැන නොවේ. දැවැන්තයකු සේ අහසට නැඟුණු ෂැන්ග්‍රිලා හෝටලය අබියස එක්වරම අඟුටුමිට්ටකු බවට පත්වූ කොළඹ නගරයේ තිබූ සුවිශාල ප්‍රතිමාව වූ අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක ප්‍රතිමාව ගැන කියන්නටයි. ඒ ගැන මොනවා කියන්නද ඒක තිබුණා. දැනුත් තියෙනවා. ඒකට මොනවත් වෙලා නැහැනෙ. ඔබ එක්වරම එසේ කියාවි. ඔබ හරි එය ඇත්ත. එහෙත් ඔබ නොදන්නා අපූරු කතාවක් මෙතැන සැඟවී තියෙන බව ඔබ දන්නේ නැහැ. මේ හදන්නේ ඒ අපූරු කතාව ඔබට කියන්නයි.

මහාචාර්ය ලෙව් ඉෆ්මොවිච් කර්බෙල් සෝවියට් රුසියානු සමූහාණ්ඩුවේ සිටි අග්‍රගණ්‍ය මහා ප්‍රතිමා ශිල්පියා. ඔහු රුසියාවේ මොස්කව් නගරයේ ස්ටේට් ඇකඩමික් ආර්ට් (ඉබචබඥ ඒජචඤඥථඪජ චපබ) විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙක්. ජර්මනියේ කාල් මාක්ස් ප්‍රතිමාව, කියුබාවේ හවානා නුවර වී.අයි. ලෙනින් ප්‍රතිමාව ඇතුළු ලෙව් කර්බෙල් නිර්මාණය කළ සුවිසල් ප්‍රතිමා රුසියාවේ සහ ලෝකයේ නගර ගණනාවක අහස් කුස අරා වැජඹෙනවා. ගාලු මුව‍ෙදාර තිබෙන අගමැති බණ්ඩාරනායක ප්‍රතිමාවද ඔහු විසින් නිර්මාණය කරන ලද්දක්. එය ලංකාවේ තිබෙන කර්බෙල් අතින් නිමැවූ එකම ප්‍රතිමාවයි. එසේ නම් දැන් ඔබට ප්‍රශ්නයක් වන්නේ ෂැන්ග්‍රිලා තරු 5 හෝටලයේත් අගමැති බණ්ඩාරනායක ප්‍රතිමාවේත් ඇති සම්බන්ධය කුමක්ද යන්නය. හොඳයි අපි දැන් ඒ ගැන කතා කරමු.

අගමැති ඇස්. ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක අභාවය සිදු වුණේ 1959 සැප්තැම්බර් 26 දා. ඒ මහතාගේ අභාවයෙන් පසු 1960දීත් 1970දීත් බණ්ඩාරනායක මහතාගේ බිරිය සිරිමා බණ්ඩාරනායක මහත්මිය මෙරට අගමැති පුටුව හෙබවීය. සෝවියට් දේශය සහ ලංකාව අතර තානාපති සබඳතා ගොඩනඟා ගන්නේද 1957 වසරේදී බණ්ඩාරනායක අගමැති විසිනි. 1963 වසරේ ඔක්තෝබර් 21-31දින 10ක් සිරිමා බණ්ඩාරනායක අගමැතිනි රුසියාවේ නිල සංචාරයක යෙදුණි. බණ්ඩාරනායක අගමැතිවරයාට කෘතවේදීත්වය පළ කිරීම පිණිස ඔහුගේ ප්‍රතිමාවක් නිර්මාණය කරන්නට රුසියාව තීරණය කරන්නේ 1973 වසරේදීය. එය රුසියානු එරොප්ලොට් ගුවන් යානයක් මඟින් ලංකාවට ගෙන එන ලදුව ගොල්ෆේස් පිටියේ සවි කරන්නේ 1976 වසරේදීය.

ප්‍රතිමාව සවි කරන්නට මහාචාර්ය කර්බෙල් ලංකාවට පැමිණෙන්නේය. ප්‍රතිමාව විශාල හිස් අවකාශයකින් යුතු භූමියක මහ සයුරට මුහුණලා ප්‍රතිමාව සවිකරන්නට ලැබීම ගැන ඔහු මහත් සතුටට පත්ව තිබේ. එහෙත් පොඩි අවුලක් ඇති බව පමණක් ඔහු පවසා තිබේ.

'කවදා හරි ප්‍රතිමාව පිටුපස හෝටලයක් ඉදි වුවහොත් බණ්ඩාරනායක මහතා හෝටලෙන් කෑම ගෙන එළියට යනවා වගේ පේන්න පුළුවනි. "යැයි මහාචාර්ය කර්බල් පවසා තිබේ. එවැන්නක් කිසි දිනෙක සිදු නොවන බව එහි සිටි අය මහාචාර්යවරයාට කියා ඇත. එනමුදු වසර 41කට පසු ලෙව් කර්බල් පැවැසූ දෙය යථාර්ථයක් බවට පත්ව තිබේ. දැන් ගාලු මුව‍ෙදාර පසුකර යන ඔබට ෂැංග්‍රිලා හෝටලයෙන් එළියට එන්නක් බඳුව අගමැති බණ්ඩාරනායක පිළිරුව දැකිය හැකිය. මේ කතාව සනාථ කරන්නට ජීවමාන සාක්ෂියක් අපට තිබේ. ඒ අන් කවරකු හෝ නොව සෞන්දර්යය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය සරත් චන්ද්‍රජීව මහතාය. ඔහු මොස්කව් රාජ්‍ය ඇකඩමික් ආර්ට් විශ්වවිද්‍යාලයේද ඉගෙනුම ලැබූ කර්බෙල්ගේ ගෝලයෙකි. මහාචාර්ය සරත් චන්ද්‍රජීව මෙසේ පවසයි.

"මම 1973 අවුරුද්දේ රජයේ කලා හා කලාශිල්ප විද්‍යාලයට ශිෂ්‍යයකු ලෙස ඇතුළත් වුණා. එහි ‍ෙදාරක විශාල පෝස්ටරයක් අලවා තිබුණා. එහි තිබූ පින්තූරය තමයි කෙනෙක් පත්තක් වැනි යමකින් තළමින් ප්‍රතිමාවක් හැඩදා ගන්වනවා. අපේ මූර්ති පාඨමාලාව භාරව හිටියේ ඒ.කේ.ඩී. විජේසේකර කියන ගුරුවරයා. මම ඔහුගෙන් ඇසුවා කවුද ඒ පෝස්ටරේ ඉන්නේ කියා. ඔහු කිව්වා නම දන්නේ නැහැ ඕක රුසියන් පෝස්ටරයක්. කවුරුහරි රුසියන් මූර්ති ශිල්පියෙක් වෙන්න ඇති ඉන්නෙ කියලා. මම ඒ පෝස්ටරේ තිබුණු අකුරු මගේ සටහන් පොතේ ලියා ගත්තා.

දිනක් මම රුසියන් සෙන්ටර් එකේ රුසියානු භාෂාව උගන්වන රුසියානු කාන්තාවට එය පෙන්වා එහි සටහන්ව තිබෙන්නේ කුමක්ද ඇසුවා. ඇය පොතෙෂ්කෝවා. ඇය මට ලියාදුන්නා,

ලෙව් ඉෆ්මොවිච් කර්බෙල් කියන නම.
ඉන් වසර තුනකට පසුව දිනක් පුවත්පතක තිබුණා සෝවියට් රුසියාවේ නිර්මාණය කළ අගමැති බණ්ඩාරනායක ප්‍රතිමාව ගෝල්ෆේස් පිට්ටනියේ සවි කරන බව. එහිම සඳහන් වුණා ප්‍රතිමාව නිර්මාණය කළ ලෙව් කර්බෙල් මේ කටයුත්ත සඳහා ලංකාවට පැමිණ සිටින බව. එවිට මට මතක් වුණා මේ අර මම නම ලියාගත් මූර්ති ශිල්පියා බව. දිනක් මම ගියා ගාලු මුව‍ෙදාරට ඔහුව දකින්න. මා දුටුවේ මිනිසුන් පිරිසක් උස රූපයක් ගැසූ කාඩ්බෝඩ් එකක් සහිත කණුවක් ඔසවා ගෙන තැන් තැන්වලට යනවා. සුදු තොප්පියක් පැලඳ කොට කලිසමක් ඇඳ, පාවහන් දැමු කෙනෙක් ඔවුන්ට යම් යම් අණ කරනවා. ඔහු තමයි ඒ අසාමාන්‍ය මූර්ති ශිල්පියා කර්බෙල්. ඔහු ප්‍රතිමාව සවි කරන තැන නිශ්චය කරමින් හිටියේ.

ඒ කාලෙ අපේ ශිෂ්‍ය සංගමයෙ ලේකම් උපාලි එම්. හේරත්, සභාපති ඩී.ජේ. කුමාරසිංහ. මම එයාලටත් කියල අපේ අධ්‍යයන අංශ ප්‍රධානිට යෝජනා කළා අපි කර්බෙල් ගෙනත් වැඩමුළුවක් කරමු කියලා. ඒ අනුව ලෙව් කර්බෙල් අපේ සෞන්දර්යය ආයතනයට ඇවිත් වැඩමුළුවක් කළා. ඔහුත් සමඟ මාපලගම විපුලසාර හාමුදුරුවොත් ආවා. කර්බෙල් පැයකින් විපුලසාර හාමුදුරුවරුන්ගෙ මූර්තිය හැදුවා අප හැමදෙනාම ඉදිරියේ. මම චිත්‍ර අංශයේ හිටියේ. එදා මම තීරණය කළා මූර්ති අංශයට යන්න.

තවත් වසර ගණනාවකට පස්සෙ මම රුසියාවට ගිහින් කර්බෙල් යටතේම මගෙ ආචාර්ය උපාධිය කළා. 94දී මම ප්‍රදර්ශනයක් කළා. ඒකට පැමිණි කර්බෙල් මහතා පසුව මාව රුසියාවට ගෙන්වා ගත්තා. 1994 ලංකාවට ආපු වෙලාවෙ කර්බෙල් මාත් එක්ක ගෝල්ෆේස් ගියා බණ්ඩාරනායක ප්‍රතිමාව බලන්න. ඔහු දුක් වුණා 1976 සවි කළාට පසු කිසිම සංරක්ෂණයක් කර තිබුණේ නැහැ. ජරා වෙලා තිබුණෙ. මම බේ‍රාන්ස් මූර්ති (වාත්තු ශිල්පය) ඉගෙන ගෙන තිබූ නිසා ප්‍රතිමාව සංරක්ෂණය කරන්න මට පැවැරුවා. අන්න එදා එතැන ඉන්න ගමන් ඔහු විහිළුවට මෙහෙම කීවා.

'කවදහරි මෙතැන හෝටලයක් ගහල බණ්ඩාරනායක හෝටලය ඇතුළෙ ඉඳන් එළියට එනව වගේ පෙනේවිද දන්නෙ නැහැ' කියලා. මම කිව්වා "නෑ එහෙමනම් වෙන එකක් නැහැ. මෙතැන තියෙන්නෙ හමුදා කෑම්ප් එකක් කවද හරි පාර්ලිමේන්තුව මෙතැන හදාවිද දන්නැහැ" කියලා. කොහොම හරි අන්තිමට හැදුණෙ කර්බෙල් සැක කරපු හෝටලයමනෙ.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්