රාත්‍රි තැපැල් දුම්රියේ ඩබ්ලිව්. ඒ. සිල්වාගේ නින්දට බාධා කරමින් පොත් කියැවූ මුදලාලි

  👤  1765 readers have read this article !
2017-11-26

විජයබා කොල්ලය, දෛවයෝගය, කැලෑහඳ, හිඟන කොල්ලා ආදී සිංහල සාහිත්‍යයේ අනභිභවනීය ස්ථානයක් හිමිකරගත් නවකතා රැසක් ලියූ අග්‍රගණ්‍ය ලේඛකයා වන්නේ ඩබ්ලිව්. ඒ. සිල්වාය. 20 වැනි සියවස මුල පියදාස සිරිසේන සූරීන්ගෙන් පසු සිංහල නවකතා ලියන්නට ඉදිරිපත් වූ ප්‍රථම තැනැන්තා ඔහුය. හෙතෙම නමින් වැල්ලවත්ත ආරච්චිගේ ඒබ්‍රහම් සිල්වාය.

සිල්වා මහතා පදිංචිව සිටියේ දැනට ඩබ්ලිව්. ඒ. සිල්වා මාවත නමින් හඳුන්වන වැල්ලවත්තේ හයිස්ටී්‍රට් හිය. වැල්ලවත්ත හා පාමංකඩ යාකළ එම පාරේ සිල්වාගේ සිල්වමියර් නිවෙස පිහිටා තිබිණි. පියා හරමානිස් සිල්වා ව්‍යාපාරිකයකු වූ අතර මව මොරෝනෝනා නම් විය.

බාලවියේ වැල්ලවත්තේ වෙස්ලියන් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ ඩබ්ලිව්. ඒ. සිල්වා පසුව ඉංගී්‍රසි අධ්‍යාපනය ලබනු පිණිස මිලාගිරිය සෙන්ට් පෝල් විද්‍යාලයට ඇතුළත්ව තිබේ. වරක් පොල් ගස ගැන රචනයක් ලියන්නට දුන් විට ඔහු රචනය ලියා අවසන් කළේ "පොල් ගසින් තවත් ගසක් හැදේ ඒ මෝල් ගස" කියාය.

හොඳින් ලියන්නටත් කියවන්නටත් ඉංගී්‍රි්‍රසි භාෂාව ප්‍රගුණ කළ ඔහු 1905 දෙසැම්බරයේ පියාට දැනුම් දුන්නේ
'මට දැන් කොම්පැණියක වැඩ කරන්නට තරම් ඉංගී්‍රසි දැනුම තිබෙනවා. මම පාසලින් අස්වී තනිවම ඉගෙන ගන්නම්' කියාය.
ඊට ඉඩ ලැබුණු තැන් සිට ඔහු තනිවම අධ්‍යාපනික දැනුම ප්‍රගුණ කර ගනිමින් ඉංගී්‍රි්‍රසි සාහිත්‍යය ගැන පුළුල් දැනුමක් ලබාගෙන ඇත. ඉංගී්‍රි්‍රසි වියරණය ඉගෙන ඒ ඔස්සේ යමින් සිංහල වියරණයද උගත් සිල්වා සිදත් සඟරාව ඇතුළු සිංහල පොත් පත්ද තමා විසින්ම හැදෑරීය. ඔහුගේ ප්‍රථම නවකතාව ලිවීම ආරම්භ කළේ 1906 කොළඹ කාර්සන් කම්බබැච් කොම්පැණියේ සේවය කරද්දීය. ඩබ්ලිව්. ඒ. සිල්වා සිය ප්‍රථම නවකතාව වූ සිරියලතා තමා විසින්ම මුද්‍රණය කොට ප්‍රසිද්ධ කළේය. එවකට කොළඹ ප්‍රකට පොත් සමාගම වූ ජේ. ඩී. ප්‍රනාන්දු සමාගම එය ප්‍රතික්ෂේප කළේය.

"ඕව විකුණන්න බැහැ මහත්තයා අපි විකුණන්නේ පියදාස සිරිසේන මහත්තයාගේ නවකතා විතරයි."
"විකුණුනොත් කොමිස් අඩු කරගෙන මුදල් දෙන්න. නොවිකුණොත් මං ආපසු ගෙනියන්නම්."
"බෑ බෑ. නිකමටවත් ඕවා භාරගන්න අපි සතුටු නෑ."
පොතක් අච්චු ගසා අමාරුවේ වැටුණු ඩබ්ලිව්. ඒ. සිල්වා පොත විකුණා ගැනීමේ වෙනත් ක්‍රමයක් නොවූයෙන් එවකට කොළඹ නොරිස් වීදියේත්, කෙළින් වීදියේත් තිබූ සෑම සුරුට්ටු කඩයකම පොත් දහය බැගින් විකිණීමට තිබ්බේය. තබා පෝස්ටරයක්ද එල්ලුවේය. සති පහක් හයක් යනතෙක් පොත් එකක්වත් හෙලවුණේ නැත. එහෙත් මාසයක් යද්දී සිරියලතා කොළඹ සොයා ගන්නටවත් නොවීය.

ඩබ්ලිව්. ඒ. සිල්වා එකල පවුලේ සහෝදරයන් සමඟ එක්ව බේලි වීදියේ සපත්තු කඩයක් පටන් ගත්තේය. එය දියුණු වෙද්දී නවකතා ලියන්නට ද වැඩි කාලයක් යොදවන්නට හැකිවිය.

මෙකල සිල්වා නොයෙකුත් ව්‍යාපාරික කටයුතුවලටද අතහිත යෙදවීය. දිනක් ඔහු මන්නාරම බලා දුම්රියේ ගමන් කළේය. මන්නාරම වෙරළට ගොඩගසා තිබූ ලී ක¼දන් තොගයක් මිලට ගැනීමට ඔහු ඒ ගමන යායුතුව තිබිණි. රාත්‍රි මන්නාරම් දුම්රියේ පළමු පන්තියේ මැදිරියක් වෙන්කරවාගත් ඔහු සුවබර නින්දකින් පසු මන්නාරමේදී උදෑසන අවදි වන්නට සිතා සිටියේය. මැදිරියේ තට්ටු දෙකක් සහිත නිදන ඇඳක් විය. උඩ ඇඳ මැදවියේ තරබාරු මුදලාලි කෙනෙක් වෙන් කරවාගෙන තිබිණි. දෙන්නට දෙන්නා නොහඳුනන බැවින් කතා බහ නැතිව නින්දට සූදානම් වූහ. සිල්වා සයනය මත සැනසිල්ලේ දිගා වී නින්ද අපේක්‍ෂාවෙන් සිටියේය. එහෙත් නින්ද නාවේ උඩ සයනයේ දැල්වෙන විදුලි පහන නිසාය. නොකැමැත්තෙන් හිස ඔසවා බැලූ විට දුටුයේ මුදලාලි ධ්‍යානයකට සම වැදුණු යෝගියකු මෙන් පොතක් කියවන බවය.

වැඩි පමාවක් නොගෙන මුදලාලි නින්දට යනු ඇතැයි සිතුවද එය එසේ නොවීය. දුම්රිය රාගම ද පසු කළේය.
"මොකද උන්නැහේ නිදාගන්නේ නැද්ද වැඩියෙන් සල්ලි ගෙවා "ස්ලීපින් බර්ත්" එකක් වෙන්කර ගත්තේ ලයිට් දමාගෙන පොත් කියවන්නද?" සිල්වා උස් හ¾ඩින් ඇසුවේය.
"ආ... මහත්තයට කරදරයිද? මම මේ හොඳ පොතක් අහුවෙලා කියවනවා. තව ටිකයි තියෙන්නේ" මුදලාලි කීවේය.
ඉන්පසු දෙදෙනාම නිසොල්මන් වූහ.

දුම්රිය කුරුණෑගල පනිනතුරුත් ලයිට් එක නිවුණේ නැත. නින්ද ගියෙත් නැත. රෑ මැදියම ද පසුවිය.
"නිවා දානවා ඕයි ලයිට් එක. ඔය උලව් පොත විසිකරනවා"
"මහත්තයා මේක විසිකර දාන්න පුළුවන් පොතක් නෙවෙයි. හොඳ සිංහල පොතක්. මහත්තයලා ඉංගී්‍රසි ටිකක් කට ගාගෙන කලිසන් දමා ගත්තාට මේ පොත්වල අගේ දන්නේ නැහැ."

"මොකක්ද තමුසෙගේ ඔය වැදගත් පොත"
"හිඟන කොල්ලා"
ඩබ්ලිව්. ඒ. සිල්වා එතැනින් එහාට තවත් කතා කළේ නැත දෙනෙත් පියා ගත්තේය.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්