පුංචි ඡන්දය ‘අද නොවේ-හෙට’

  👤  2784 readers have read this article !
2017-11-24

පුංචි ඡන්දය ලබන ජනවාරියේ පැවැත්වීමට හැකිවේ යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය කියා කට ගැනීමටත් පෙර ඡන්දය යළි කල් යන ලකුණු පළ වී ඇත. පළාත් පාලන ආයතනවල ඡන්ද කොට්ඨාස සහ සභිකයන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට අදාළව පළාත් පාලන ඇමැතිවරයා 2017 පෙබරවාරි 17 දාතමින් නිකුත් කරන ලද ගැසට් නිවේදනය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අභියාචනාධිකරණය ඉකුත් 22 වැනිදා නියෝග කිරීම ඊට හේතුවය.

2015දී පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම සියලු කටයුතු සූදානම් කර තිබියදී අදාළ ගැසට් නිවේදනය අත්හිටුවීමට පෙත්සම්කරුවන් හයදෙනකු කරන ඉල්ලීම නිසා, ඒ සැලසුම් අවුල් වී ඇත. නීතිපතිවරයා සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මේ පෙත්සම්කරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ යුතු යැයි අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ නිසා විය යුතුය. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා කැෆේ ඇතුළු සංවිධාන කිහිපයක් එක්වී පෙත්සම්කරුවන් කර ඇති ඉල්ලීම් සලකා මැතිවරණය කල් දැමීමට හේතුවන කිසිදු තීරණයක් මේ අවස්ථාවේ නොගත යුතු බවට කරුණු ඉදිරිපත් කිරීමට සිය නීතිඥවරුන් මඟින් ඉල්ලීමක් කර තිබිණි.

ජනතා විමුක්ති පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය හා පොදුජන පෙරමුණ චෝදනා කරන්නේ පුංචි ඡන්දය කල්දමා ගැනීමේ කුමන්ත්‍රණයක් ශ්‍රී ලනිපය විසින් අරඹා කර ඇති බවය. මේ පෙත්සම් 6, එහි ප්‍රතිඵලයක් බව ඔවුහු පවසති. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඉකුත් 22 වැනිදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ මෙම තක්කඩි නිර්ලජ්ජිත උත්සාහය සම්බන්ධයෙන් අධිකරණයෙන් නිසි විසඳුමක් නොලැබුණොත් ප්‍රශ්නය මහ පාරේදී විස¼දා ගැනීමට සූදානම් බවය. පුංචි ඡන්දය නොපැවැත්වීමේ වගකීම භාර ගත යුත්තේ ආණ්ඩුව බව කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කර තිබිණි. එක්සත් ජාතික පක්ෂයද පුංචි ඡන්දය කල් යෑම ගැන කනස්සල්ලෙන් පසුවන බව පෙනේ. මැච් එකට පිච් එක සූදානම් බව ප්‍රකාශ කළ මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද හදිසියේ වැටුණු 'යෝකරය' නිසා කනගාටුවට පත්ව සිටී. මේ සියලුදෙනාටම වඩා සබුද්ධික ජනතාව පුංචි ඡන්දයට බාලගිරි දෝෂය වැලඳීම ගැන සිටින්නේ කලකිරීමෙනි.

ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභා යනු ග්‍රාමීය පාලන ඒකකයන්වේ. ගමේ ප්‍රශ්න විසඳීමට 'ප්‍රාදේශීය සභාව' තිබෙන අතර නගරයේ ප්‍රශ්න විසඳීමට 'නගර හා මහ නගර සභා' තිබේ. බලය විමධ්‍යගත කිරීමේ යම් යම් ගැටලු තිබුණද 'ප්‍රාදේශීය සභා' ජනතා බලය ක්‍රියාත්මක කළ හැකි බලගතු ආයතනයකි. 2015 පළාත් පාලන මැතිවරණයේදී 'ගම ජවිපෙට' දෙන්නැයි ජවිපෙ ඉල්ලුවේ ඒ නිසාය. අවුරුදු තුනකට ආසන්න කාලයක් සිය නියෝජිතයන් තෝරා ගැනීමේ වරම ජනතාවට අහිමි කරමින් කල් දමමින් සිටින්නේ එවැනි වැදගත් ආයතනයක ඡන්ද විමසීමය.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිවරණ සිතියම අකුළන බව කීවේය. මැර බලය ජන බලය යොදා ගෙන ඡන්ද කළේය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලයේද මැතිවරණ පැවැත්වූ ක්‍රමයේ සැලකිය යුතු වෙනසක් වූයේ නැත. ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩු කාලයේ මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කාලයේද කඩින් කඩ මැතිවරණ තැබීමේ සූත්‍රය ක්‍රියාත්මක විය. මේ සියලු දේ විවේචනය කරමින් යහපාලනයක් ස්ථාපිත කිරීමට පැමිණි 'මෛත්‍රි - රනිල්' ආණ්ඩුව මැතිවරණ දිගින් දිගටම කල්දමමින් සිටී. විවිධාකාර මුහුණුවරින් පෙනී සිටියද සියලු දෙනා කරන්නේ එකමදේය. ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්නේ නම් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි වේ. එය ජනතා පරමාධිපත්‍යය කෙලෙසීමකි. මැර බලයෙන් ඡන්ද අයිතිය උදුරා ගත්තත්, පෙත්සම්වලින් ඡන්ද අයිතිය උදුරා ගත්තත් එය ප්‍රජාතන්ත්‍ර විරෝධීය. එවැනි වැඩ යහපාලනයක් පිහිටුවීමට කතා කළ ආණ්ඩුවට ගැළපෙන්නේම නැත.

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්