ඡන්දය කල් තැබුවේ ආණ්ඩුවයි: පළාත් ඡන්ද පැවැත්වීම ආණ්ඩුවේ වගකීමක්

  👤  3726 readers have read this article !
2017-11-23

ඡන්ද කල් තබන ලද්දේ ආණ්ඩුව බැවින් පළාත් පාලන ඡන්ද පැවැත්වීම ආණ්ඩුවේ සම්පූර්ණ වගකීම වන බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රි මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී ඊයේ (22දා) පෙන්වා දුන්නේය.

අය-වැය කාරක සභා අවස්ථාවේ විවාදය අතරතුර රීති ප්‍රශ්නයක් මතු කරමින් මහින්ද රාජපක්‍ෂ ඒ බැව් පෙන්වා දුන්නේය.
මහින්ද රාජපක්‍ෂ,

පළාත් පාලන ආයතන ගැසට් නිවේදනයට විරුද්ධව අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා. ඒ නිසා පළාත් පාලන මැතිවරණ කල් ගිහින් තිබෙනවා. මෙය ජනතාව බලාපොරොත්තු වූ මැතිවරණයක්. එය කල් යෑම ගැන අපේ විරුද්ධත්වය ප්‍රකාශ කරනවා. ඡන්දය ඉක්මනින් පැවැත්වීම රජයේ වගකීමක්.
සභානායක ලක්‍ෂ්මන් කිරිඇල්ල (සිනාසෙමින්)

අපි අධිකරණයේ හිටියේ නැහැනේ. අපි හිටියේ පාර්ලිමේන්තුවේනේ.
අපිත් විරුද්ධයි කල්දානවට. එ.ජා.ප. හා එක්සත් ජාතික පෙරමුණත් ඡන්දය කල් දානවට විරුද්ධයි. නාම යෝජනා ලැයිස්තු හදලා කට්ටිය තෝරාගෙන දැන් ඒ ගොල්ලෝ ඇවිදිනවා.

මහින්ද රාජපක්‍ෂ
ඡන්ද අවුරුදු 2 1/2ක් කල්ගියා. දැන් අවුරුදු තුනට ඇවිත් තියෙනවා. රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වී තිබෙනවා.
ප්‍රාදේශීය සභාවල ඡන්ද පැවැත්වීමේ සම්පූර්ණ වගකීම තියෙන්නේ ආණ්ඩුවට. ආණ්ඩුවනේ කල් දැම්මේ.

අනුර කුමාර දිසානායක
ආණ්ඩුවේ ඉන්න ඇමැතිවරුන්ගේ ලේකම්වරු සමීපතමයන් මේ නඩුව ඉදිරිපත් කළා. ශේ‍ර්ෂ්ඨාධිකරණයේ දැන් පුරප්පාඩුවක් තිබෙනවා. අනාගතයේ තව දෙකක් ඇති වෙන්න තිබෙනවා. ඒ සඳහා අභියාචනාධිකරණයෙන් තෝරා ගැනීමේ තරගයක් ලෙසයි මේ නඩුව අහන්නේ. මේක ආණ්ඩුව ඡන්දය කල් දමා ගැනීමට ගත් ක්‍රියාවක ප්‍රතිඵලයක්.

රබර්-ඔට්ටපාලු වගේ
පළාත් ඡන්දය ඇදෙනවා

"අද ගම්මිරිස් ගොවියාටත් යහපාලන ආණ්ඩුවට වගේ යන එන මං නැති වෙලා. මිලක් නැති රබර් ඔට්ටුපාලු වගේ පළාත් පාලන ඡන්දයත් ඇදෙනවා" යැයි රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රි රංජිත් සොයිසා (එජනිස) පැවැසීය.

රටේ මිනිස්සු කන්න නැතිව ඉන්න කොට පාවිච්චි නොකරන ගොඩනැඟිල්ලකට මාසයකට රුපියල් ලක්ෂ 247ක් ගෙවීමට වගකිව යුත්තේ මේ කෘෂිකර්ම ඇමැතිවරයා නොවේද?
ග්ලයිෆොසේට් නම් වල් නාශකය තහනම් කරන්න රජය නියෝග කළා. ඒ වෙනුවට ආදේශකයක් හඳුන්වා දෙන්න ඕනෑ. තහනමට පෙර ලීටර හතර රුපියල් 2000යි. තහනමට පසුව ලීටර හතර රුපියල් 12,000යි. මේවා විකුණා පෞද්ගලික සමාගම් අපේ ගොවියා සූරාකමින් අධි ලාභ ලබනවා.

අද මෙරට අපනයන භෝග සඳහා වෙනම අමාත්‍යාංශයක් තිබෙනවා. ගම්මිරිස් ඇමැතිකමට දයා ගමගේ අප හිතවතා පත්කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ කාලේ ගම්මිරිස් කිලෝව රුපියල් 1450කට වික්කා. අද මිල රුපියල් 630යි. සියයට 60කින් ගම්මිරිස් මිල අඩු වෙලා. යහපාලන ආණ්ඩුවේ කෘෂිකර්ම ප්‍රතිපත්තිය අනුව අද ගම්මිරිස් ගොවියා හිඟන්නෝ බවට පත්කර පාරට ඇද දාලා තිබෙනවා. වියට්නාමයෙන් ලාබෙට ගම්මිරිස් ගෙන්වීමෙන් මේ තත්ත්වය උදා කළා. හරියට යහපාලන ආණ්ඩුවට වෙච්ච දේ වෙලා. ගම්මිරිස් භෝගයට යන එන මං නැහැ. ඔට්ටපාලු විකුණන්න බැහැ. මිලක් නැහැ. හරියට පළාත් පාලන ඡන්දෙ වගේ ඔට්ටපාලු ඇදෙනවා. ඒ වගේ පළාත් පාලන ඡන්දෙත් ඇදෙනවා.
දයා ගමගේ

ගම්මිරිස් මිල මේ දිනවල රුපියල් 650යි.
රුපියල් 850ක ස්ථාවර මිලකට පවත්වාගෙන යෑමට උත්සාහ කළා. නමුත් එකතු කර ගන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඒ මිල දෙන්න වෙන්නේ ගොවියාට නොව වෙළෙන්දාටයි.

මොරගහකන්ද-කළුගඟ ව්‍යාපාරයට ඉඩම් ලබාදුන් ගොවීන්ට වන්දි ගෙවා නෑ

"ගොවි විශ්‍රාම වැටුප යාවත්කාලීන කරන්නැයි" එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කුමාරි කවිරත්න පැවැසුවාය.
"මොරගහකන්ද, කළුගඟ ව්‍යාපෘති සඳහා ඉඩම් පූජා කරපු ලග්ගල ජනතාවට අද ප්‍රශ්න ගැටලු රාශියක් ඇතිවී තිබෙනවා."
"කලින් ආණ්ඩුවත් මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළත් අවසානයේ ජනතාවට ප්‍රශ්න ඉතිරිවීම කනගාටුවට කරුණක්. පවරාගත් ඉඩම්වලට වන්දි ලබාදීම ප්‍රමාදවී තිබෙනවා."
"මේ ජලාශ සඳහා ඉඩම් අක්කර එකහමාරකට වඩා වැඩි ප්‍රමාණයක් ලබාදුන් අයට වන්දි ගෙවනවා. ඊට අඩු ඉඩම් අහිමිවූ අයට වන්දි ලැබෙන්නේ නැහැ."
"ඉඩම් පවරා ගැනීමේදී පවරාගත් කුඹුරු ඉඩම්වල අයිතිකරුවන්ට වන්දි ගෙවනකොට ඒවායේ අඳ ගොවියාට වෙන්නෙ කුමක්ද..?"
"අද ලග්ගල මිනිස්සු අසරණ වෙලා. ඔවුන් ගැන බලන්න අද කවුරුත් නැහැ.

නියෝජ්‍ය ඇමැති - අක්කර එකහමාරකට අඩු ඉඩම්වලටත් වන්දි ගෙවනවා.
රෝහිණී කුමාරි කවිරත්න - ලග්ගල ප්‍රදේශයේ තිබෙන වැව් ටික හදල දෙන්න. තරුණ ජවය ජාතික
ව්‍යාපාරයට එක්කර ගැනීම වැදගත් වෙනවා"

මව්බිම දැන්

තවදුරටත්

අද මව්‍බිමෙන්

තවදුරටත්